මට විවිධ තර්ජන එනවා: ඒ ආවත් මම රාජකාරිය හරියට කරනවා | දිනමිණ

මට විවිධ තර්ජන එනවා: ඒ ආවත් මම රාජකාරිය හරියට කරනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෑම හමුදා සාමාජිකයකුටම මොනතරම් හොඳින් සැළකුවාද යන්න දන්නේ එම හමුදා සාමාජිකයන් පමණයි. කවදාවත් අප ඔවුන්ට හිරිහැර කළේ නැහැ. අප දන්නවා. මේ සාමාජිකයන් යම් අපරාධයක් කළේ නම් ඒ එම හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතාවකට නොවන බවත් ඔවුන් එම අපරාධය සිදු කිරීමට යම් කෙනකු හෝ කණ්ඩායමක් පොළඹවා ඇති බවත් එම නිසා අප දැනගැනීමට උත්සාහ කරන්නේ එම අපරාධය සිදු කිරීමට ඔවුන් යොමු කළේ කවුද යන්නයි.

එහෙත් ඒ බව දැන ගැනීමට අප ඔවුන්ට හිරිහැර කර නැහැ. වෙනත් සැකකරුවන් හා සසදන විට මේ හමුදා රණවිරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ සැළකිල්ලක් දක්වන අතර පසුගිය දිනවල අත්අඩංගුවට පත්වු හමුදාවේ ඉහළ නිලධාරීන්ට පාවිච්චි කිරීමට දුන්නේ මගේ රාජකාරී කාමරයේ ඇති නාන කාමරයයි. එවැනි ආකාරයට ඔවුන්ට සැකකරුවන්ට මෙන් නොව රණවිරුවන්ට කරන සැළකීමක් කළා. එවැනි සැළකුම් ලැබු ඇතැම් ඉහළ නිලධාරීන් මේ ස්ථානයෙන් ඉවත්ව ගිය පසු මුලික අයිතිවාසිකම් කඩ කළ බවට මට විරුද්ධව පෙත්සම් හතළිහක් පමණ දමා තිබෙනවායැයි මෙසේ පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතායි.

පසුගිය සතියේ දිනක මාධ්‍යවේදීන් කණ්ඩායමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට අවස්ථාව සැළසුණි. එම අවස්ථාවේදී ලැබුණු සුවිශේෂිම අවස්ථාව වුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව ලබාදීමයි. මීට ඉහතදි මේ ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට මේ තරම් විවෘතව අවස්ථාවක් ලැබුණේ නැති තරම්. මේ අවස්ථාව සළසා දුන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතායි.

ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් නිතරම රහස් පොලීසිය හා සම්බන්ධයෙන් විවිධ ගැටලු ඉදිරිපත් කළත් ඒවාට පිළිතුරක් ලැබුණේ ඉතාමත් කලාතුරකින්. ශානි අබේසේකර මහතා නම් පවසා සිටියේ මෙවැනි මාධ්‍යවේදීන් කිහිප දෙනකුට මෙවැනි අවස්ථාවක් සළසා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.තවද රහස් පොලීසියට විශේෂයෙන් කිසිවකුටත් ඇතුළුවීමට අවස්ථාවක් නැති බව සෑම කෙනකුම දන්නා කරුණක්. මෙදින මේ මාධ්‍යවේදීන් කණ්ඩායමට එහි සෑම තැනක්ම දැක බලා ගන්න අවස්ථාව ලැබුණා වගේම බොහෝ තොරතුරු දැන ගන්නත් ලැබුණා. ඒ අනුව විශේෂයෙන් දෙපාර්තමේන්තු කෞතුකාගාරය පරීක්ෂණ වාර්තා ගබඩා කර ඇති කාමරය සැකකරුවන් රඳවා සිටින ප්‍රදේශ, ජාත්‍යන්තර පොලිස් ඒකකය , පරිගණක දත්ත ගබඩාව ඇතුළු වැදගත් ස්ථාන ගණනාවකට ගොස් ඒවායේ සිදුවන සෑම දෙයක් සම්බන්ධවම තොරතුරු දැන ගන්නට ලැබුණා.

අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාත් අප සමඟ ඒ සෑම අවස්ථාවකටම සහභාගි වුණා. පැය පහකට ආසන්න කාලයක් ඒ තුළ ගත කළ අපට අවසානයේදී ශ්‍රවණාගාරයේ සිට අප දැනට සිදුවන පරීක්ෂණ ඒවායේ නඩු කටයුතු සැකකරුවන් පවසන ලද දේ මේ වන විට සිදු වන විශේෂ පරීක්ෂණවල තොරතුරු පරීක්ෂණ සිදු වු ආකාරය සැකකරුවන් අත්අඩංගුවට ගත් ආකාරය සැකකරුවන් හා සම්බන්ධ වු වෙනත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සිදු වන ආකාරය එහි නිලධාරින් විසින් සිදු කරනු ලබන පරීක්ෂණවල තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එල්ලවන මඩ ප්‍රහාර විවේචන මානව හිමිකම් එෆ් ආර් නඩු ආදිය ඇතුළු බොහෝ දේ විමසීමට අවස්ථාව සැළසුණා .

හතරවෙනි තට්ටුව ගැන අප හිතන්නේ සැකකරුවන් රඳවා සිට ප්‍රශ්න කිරීම් කර ඔවුන් සිර කර තබන බවයි. ඒ අතර තවත් පැහැදිලි කරුණක් වුණේ සැකකරුවන්ගේ පහසුකම් වෙනුවෙන් බොහෝ දේ ලබාදී ඇති බ වයි. මේ වන විට මෑතක අත්අඩංගුවට පත් මාකදුරේ මධුෂ්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හැටකට වැඩි පිරිසක් එහි රඳවා ඇති බව අපට දැනගන්න ලැබුණා. මේ පිරිසට සතියේ සෙනසුරාදා දින ඥාතීන් දැක බලා ගැනීමට අවස්ථාව සළසා ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු සෑම දෙයක්ම ලබාදීම සිදුවෙයි. එපමණක් නොව පුවත්පත් බැලීමට පවා අවස්ථාව ලබාදී ඇත.

සැකකරුවන්ට කොයි තරම් සැළකුවත් එතැනින් ඉවත්ව යන වැඩි පිරිසක් මානව හිමිකම් කඩ කළ බවට පෙත්සම් ඉදිරිපත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

පසුගිය කාලයේ සිදුවු අභිරහස් මිනීමැරුම් කිහිපයක් ගැන මාධ්‍ය ප්‍රශ්න ඇසු විට ශානි අබේසේකර අධ්‍යක්ෂවරයා එම පරීක්ෂණ සිදු වු ආකාරය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සැකකරුවන්ගේ තොරතුරු , අැතුළු බොහෝ තොරතුරු ඉදිරිපත් කළා. මෙහිදී ඇතැම් පරීක්ෂණවල සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් ඉතාමත් අසීරු දේවල්. හරිම කටුකයි.එහෙත් නිලධාරින් මේ කටුක අවස්ථාවන්ට මුහුණ දෙමින් අප්‍රමාණ වු කැපවීමකින් යම්කිසි අපරාධයක සියලු තොරතුරු සෙවීමට විශාලවු කර්තව්‍යයක් සිදු කර ඇත. එය රාජකාරියට එහා ගිය කැපවීමකි.

මේවනවිට විහාග වීමට නියමිත පරීක්ෂණ වාර්තා දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් රහස් පොලීසියේ ගොඩ ගැසී ඇත. මිනීමැරුම් , ස්ත්‍රි දුෂණ , ලිංගික අපරාධ ,කොල්ල කෑම් , මුල්‍ය වංචා , සොරකම් පාතාල අපරාධ, පරිගණක අපරාධ ,ජාත්‍යන්තර අපරාධ , ත්‍රස්තවාදි ක්‍රියා ඇතුළු අපරාධ විශාල ප්‍රමාණයක් මේ වාර්තා අතර ගොඩ ගැසී ඇත. මෙරට විවිධ වු අපරාධ සිදු කර විදේශ රටවල්වලට පැනගත් අපරාධකරුවන් අතරින් බරපතළ අපරාධවලට හසුවී ඇති සැකකරුවන් දෙසීයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීම පිණිස රතු වරෙන්තු නිකුත් වී ඇත. නිල් වරෙන්තු තවත් විශාල පිරිසක් වෙනුවෙන්ද නිකුත් වී ඇති අතර කහ කොළ දම් ආදි වශයෙන් පාට ගණනාවකින් විවිධ වු අපරාධවල තත්ත්වය මත සැකකරුවන් වෙනුවෙන් වරෙන්තු නිකුත් වෙයි. ශානි අබේසේකර මහතා මේ වරෙන්තු ගැන කියා සිටියේ යම් අපරාධකරුවකු විදෙස් රටකට පැන සිටි විට ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස වරෙන්තු නිකුත් වී තිබුණත් විදෙස් රටකින් සැකකරවකු අත්අඩංගුවට ගත් පමණින් පසු දිනට හෝ ඉතාමත් කඩිනමින් එම සැකකරු මෙරටට ගෙන ඒමට බැරි බවයි. මේ සැකකරු සම්බන්ධයේ එම රටේ සිදු වන යම්කිසි ක්‍රියා පටිපාටියක් ඇති අතර එම ක්‍රියාවලිය අවසන් වන තෙක් මෙන්ම එම රට මගින් සැකකරු මෙරටට බාරදීමට තීරණය කරන තෙක් අපට ඔහු ලබාගත නොහැකි බවද ශානි අබේසේකර මහතා පෙන්වා දුන්නා.

මෙහිදි මාධ්‍යවේදීන් විසින් විවිධ අපරාධ සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පසුගිය කාලයේ සිදුවු අපරාධ කිහිපයක් ගැන කරුණු හෙළිදරව් කරමින් මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී එම පොලිස්පතිවරයා විසින් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අපේක්ෂිත ඇප ලබා ගෙන ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබුණත් කුමන අවස්ථාවක හෝ ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරන බවයි. එම කාලයේ සිදු වු අපරාධ සම්බන්ධයෙන් විවිධ ආරක්ෂක බුද්ධි අංශවල සාමාජිකයන් අත්අඩංගුවට පත්වුවත් එම සාමාජිකයන් එම අපරාධය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරනු ලැබුවත් එම අපරාධය මෙහෙය වු පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමෙන් ඔවුන් වැළකී සිටිමයි . එසේ ඔවුන් කරුණු සඟවා නොසිට අපරාධයේ සුලමුල හෙළි කරන්නේ නම් මේ වන විට කිසිවකුත් නොසිතන බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති බවයි.

මෙහිදි මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා සිටියේ බලහත්කාරයෙන් කිසිවකුගෙනුත් තොරතුරු හෙළි කර ගැනීමට හැකියාවක් නැහැ විශේෂයෙන් ආරක්ෂක අංශවල නිලධාරීන් හෙළි කරන ප්‍රමාණයට එහා ගිය යම් අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු ඇතත් සාක්ෂි නොමැතිව කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් එසේ අත්අඩංගුවට ගැනීමට යාමේදී තම රැකියාව පවා අහිමිවීමට නීතියෙන් කටයුතු කළ හැකි බවත්ය. මේ නිසා විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් සාක්ෂි නොමැති බොහෝ දෙනෙක් අද වන විට නිදහසේ සිටිය හැකි බවත් කියා සිටියා.

මෙහිදි පසුගිය කාලයේ සිදු වු නාවික හමුදාවේ පිරිසක් විසින් තරුණයන් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළ ශානි අබේසේකර මහතා කියා සිටියේ මේ සිද්ධියේ පැමිණිලිකරු වුයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා බවයි. ඒ මහතා විසින් ඒ මහතාගේ ළඟින්ම සේවය කරන ලද සම්පත් නැමැති පුද්ගලයකු නොහිතු පරිදි ධනවත් වී ඇති බවට කරන පැමිණිල්ලක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් එම පුද්ගලයාගේ රාජකාරි කටයුතු අඩංගු ලිපි ලේඛන සහ ඔහුගේ බඩු බාහිරාදිය පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ ලාච්චුවේ තරුණ ළමයින් කිහිප දෙනකුගේ හැඳුනුම්පත් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී තරුණයන් ගණනාවක් පැහැරගෙන ගොස් තිබු අතර මේ අතර සිටි නාගනාදන් නැමැති තරුණ සිසුවා අතරුදන් වන දිනයට දින දෙකකට පසු විදෙස් රටක අධ්‍යාපනය හැදෑරීමට යාමට සිටි වෛද්‍ය සිසුවකුද මේ පැහැරගත් පිරිස අතර සිටි බවද මේ සිසුවා විසින් සිය මවුපියන්ට පැහැර ගැනීමෙන් පසු කිහිප වතාවක්ම කතා කර ඇති බවත් එසේ කතා කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසී ඇත්තේ ඔවුන් රදවා සිටි ත්‍රිකුණාමලයේ කඳවුරක ආරක්ෂාවට සිටි පුද්ගලයකු මේ තරුණ දරුවන් කෙරේ අනුකම්පා කර ඔහුගේ දුරකතනය භාවිතා කිරීමට අවස්ථාව සළසාදීමෙන් බවත් ඔවුන් විසින් සිය මවුපියන්ට කතා කරමින් ඔවුන්ව බේරා ගැනීමට කටයුතු කරන ලෙස විටින් විට ඉල්ලා ඇති බවත් ශානි අබේසේකර මහතා පවසා සිටියා . මේ තරුණයන් වෙනුවෙන් කප්පම් ඉල්ලා ඇති අතර ඔවුන් පැහැරගෙන ගොස් කප්පම් දීමෙන් අනතුරුවත් ඔවුන් බේරා යවා නැති බවත්ය. පසුව මේ තරුණයන් ඝාතනය කර ඇති බවට රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇති ද යන්න සම්බන්ධයෙන් විමසු විට ශානි අබේසේකර මහතා කියා සිටියේ තරුණයන්ගේ යැයි සැකකරන මළ සිරුරු ගණනාවක් ඔවුන් රඳවා සිටි ස්ථානයේ සිට ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ ආකාරයෙන් මේ වන විට පරීක්ෂණ මට්ටමේ ඇති වෛද්‍ය සාෆි මොහොමඩ් පරීක්ෂණය , මාකදුරේ මධුෂ්ගේ පරීක්ෂණය, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ ඇතුළු පරීක්ෂණවල තත්ත්වයද මේ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා විසින් කරුණු හෙළිදරව් කර සිටියා .පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අත්අඩංගුවට ගත් පිරිසෙන් මේ වන විට සැකකරුවන් 62ක් අත්අඩංගුවේ සිටින අතර මේ පිරිස අතරින් මරාගෙන මැරෙන පුහුණුව ලබා එහෙත් එම කණ්ඩායමෙන් ඉවත් වු පහළොස් දෙනකු පමණ පිරිසක් ද අත් අඩංගුවේ පසුවන බවද පවසයි. ඒ අතර මේ වන විට එම පරීක්ෂණ සියයට අනුවකින් පමණ අවසන් වී ඇති බවද පවසන ශානි අබේසේකර මහතා සහ පොලිස් අධිකාරි මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පරීක්ෂණ අවසන් වුවත් ත්‍රස්තයන් සම්බන්ධයෙන් හෙළි වන තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් අවසන් වි නොමැති බවද කියා සිටියේය.

මෙහිදි ශානි අබේසේකර මහතාගෙන් මාධ්‍ය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මේ තනතුරු දරණ විට ඥාති හිතවත්කම් මත කටයුතු කරන්න බැහැ. මේ වනවිට වැඩි ප්‍රමාණයක් විවිධ සිද්ධින් සම්බන්ධයෙන් මාගේ හිතවත් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සිදු වෙනවා. මේ නිසාම බොහෝ පිරිස් අපව විවේචනය කරනවා. හිතවත් අය නීතියට හිර කරන බවත් කියනවා. ඒ විවේචන කුමන ආකාරයකින් පැමිණියත් යම් පුද්ගලයකු වරදක් කර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වෙන්නේ නම් තරාතිරම නොබලා ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. පසුගිය කාලයේදි අත් අඩංගුවට පත්වු පිරිස අතරින් හිරේ විලංගුවේ වැටුණු පිරිස අතරින් වැඩි දෙනෙක් මා දන්නා අය. බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එමිල් රංජන් මාගේ එකම පාසලේ එකම පන්තිවල ඉගෙන ගත් කෙනෙක් . ඔහුගේ දියණියත් මාගේ දියණියත් එකම යාළුවෝ. ඒ වුවත් මම කොහොමද ඔහු කළ වරද වසන් කරන්නේ. මට එහෙම කරන්න බැහැ. ඉදිරියේදි බලා සිටින්න තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ලසන්ත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොහොම සිදුවෙයිද කියලා. මේ පරීක්ෂණ කිසිම දෙයක් මෙතෙක් අවසන් වෙලා නැහැ. දැනට අවසන් වෙලා තියෙන්නේ එක්නැලිගොඩ පරීක්ෂණ පමණයි.

වසර පනහකට වැඩි කාලයක් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම ගිය අපරාධකරුවන් කොටු කරගෙන අපරාධ විශාල ප්‍රමාණයක සුල මුල හෙළි කරගෙන තිබෙනවා. පුද්ගලයා මත අපරාධවලට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න මට බැහැ යනුවෙන් පැවසූ ශානි අබේසේකර මහතා යම් පුද්ගලයෙක් වරදක් කර තිබේනම් එම වරදට දඩුවම එම පුද්ගලයා විසින් අනිවාර්යයෙන්ම විදිය යුතු බවද කියා සිටියේය. අපරාධ විසඳීමේදි මට විවිධ තර්ජන එල්ල වී තිබෙනවා. එසේ වුවත් මම මගේ රාජකාරිය හරියට කරන අතර අප දෙපාර්තමේන්තුවේ සෑම කෙනකුම ඒ ආකාරයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද කියා සිටියේය. තවද කවුරුන් කිව්ව පළියට නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත සාධාරණ සැකයකින් තොරව යම් පුද්ගලයෙක් වරදක් කර ඇති බව ඔප්පු වුවහොත් එම අපරාධකරුට කිසිම සමාවක් නොලැබෙන බව පවසන ශානි අබේසේකර මහතා සත්‍ය සොයා ගොස් සත්‍ය හෙළි කර ගැනීම අපරාධ පරීක්ෂණ නිලධාරියකුගේ වගකීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට එල්ල වු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වුයේ ඇයිද යන්න සම්බන්ධයෙන් කියා සිටියේ මේ වෙඩි තැබීමේ සිද්ධියේදි ප්‍රථමයෙන්ම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණේ දුමින්ද සිල්වාටයි.

එහෙත් එම ප්‍රහාරය සිදු කිරීමට යොදා ගත් බව කියන පිස්තෝලය සොයා ගනු ලැබුවේ භාරත ලක්ෂ්මන්ට ප්‍රහාරය එල්ල කළ සැකකරුවකුගේ ලාච්චුවේ තිබිලා .කෙසේ වෙතත් මෙදින දුමින්ද විසින් මේ අවස්ථාවේදි මේ සිද්ධිය ඇති කිරීමට අනුබල දී තිබුණු බවද පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කවදාවත් අසාධාරණ ලෙස පැමිණිලි විභාග කරන්නේ නැහැ. මීට වසර ගණනාවකට පෙර විභාග වු කැලැත්තෑවේ නඩුව , මනම්පේරි ඝාතන සිද්ධිය, ලුනාව තරුණයන් ඝාතනය, විල්පත්තු සිද්ධිය , රෝහිනි ඩයස් සිද්ධිය , යාපනයේ විද්‍යා දැරිය ඝාතනය, ගුවන් තොටුපොළ ප්‍රහාරය අැතුළු අපරාධ සිද්ධින් දහස් ගණනක් ඉතාමත් සාධාරණව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට කටයුතු කර එම අපරාධයට ලක්වු පිරිස වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ශානි අබේසේකර මහතා ඉදිරියේදිත් තිබෙන සෑම පැමිණිල්ලක්ම ඉතාමත් සාධාරණව විසඳා අවසන් කරන බවද කියා සිටියේය.

මේ අවස්ථාවට එක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන්ද වැදගත් තොරතුරු රැසකින් මාධ්‍ය දැනුවත් කර මාධ්‍යවේදීන්ට ඇති ගැටලු රැසකට පිළිතුරු ලබා දුන්නේය.

විජයානි එදිරිසිංහ

 


නව අදහස දක්වන්න