කොටියට රිචඩ් පාකර් කියලා දැම්මා | දිනමිණ

කොටියට රිචඩ් පාකර් කියලා දැම්මා

යාන් මාර්ටෙල්

'ලයිෆ් ඔෆ් පයි' ලියූ යාන් මාර්ටෙල්, කැනේඩියානු ජාතිකයෙකි. මේ නවකතාව, භාෂා 50ට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. මිලියන 12ට අධික පිටපත් සංඛ්‍යාවක් ද අලෙවි වී තිබේ. 2002 වසරේ ප්‍රබන්ධ සඳහා මෑන් බුකර් සම්මානය දිනා ගනු ලැබූ මේ නවකතාව, 2012 දී එය ඒ නමින්ම සිනමාවට නැඟුණි. The High Mountains of Portuga, Beatrice and Virgil, Self ඔහු ලියූ අනෙක් කෘති ය.

'ලයිෆ් ඔෆ් පයි' ආගමික සංකල්ප ගොඩක් එක්ක වැඩ කරපු නවකතාවක්. ආගමික විස්වාස ගැන මගේ විශ්වාසය තහවුරු කරගන්නයි 'ලයිෆ් ඔෆ් පයි' ලිව්වේ. අනෙක් නවකතා ලිවීමේ විධික්‍රමයත් එහෙමයි. යමක් හරියටම දැනගන්න වුවමනා වුණාමයි මම ලියන්න පටන් ගන්නේ. ලොකූ කතාවක් ගොතන්න හැම තිස්සෙම ඕන වෙන්නේ ඉතා ම කුඩා සිද්ධියක් විතරයි. ඒ කුඩා සිදුවීමෙන් තවත් කුඩා සිදුවීමක් ඇති වෙනවා. ඊට පස්සෙයි ඒක වැඩෙන්න ගන්නෙ.

ඉතා ම කුඩා අදහස් බීජයකින් මගේ ලිවීම පටන් ගත්තා. ඊට පස්සේ මම නොනැවතීම ඒ ගැන හිතනවා. පර්යේෂණ කරනවා. ගවේෂණවලිත් තවත් අදහස් මතුවෙනවා. නැවත පර්යේෂණ කරනවා. අන්තිමේදී මගේ ළඟ පි‍ටු සීයක විතර සටහන් තොගයක් ඉතිරි වෙනවා. ඒ අතරේ මම නොයෙකුත් පොත් කියවනවා. මම තුන් පාරක් අවුට්ස්විෂ් කඳවුරට ගියා. සමූලඝාතන ගැන ලියවිච්ච ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් රාශියක් කියෙව්වා. ලයිෆ් ඔෆ් පයි කියන්නේ සමූලඝාතන ගැන පොතක් නොවුණත්, ඒ විස්තර ඔක්කොම දැනගෙන ලියන්න පටන් ගන්න මට වුවමනා වුණා.

සතුන්ගේ හැසිරීම, ජීව විද්‍යාත්මක කාරණා, මුහුදුබත් වුණ නැව්, ආගමික විශ්වාස ආදිය ගැන දිගින් දිගටම කියෙව්වා. ඊට අමතරව චිම්පන්සි ගැන, ශරීරයේ ජීව විද්‍යාත්මක ව්‍යුහය ගැන, අප්‍රිකාවේ තිබ්බ පෘතුගීසි කොලනි ගැන, ක්‍රිස්තුස් වහන්සේ ගැන පර්යේෂණ කළා. මේ ඔක්කොම කරුණු එක්කහු වුණාට පස්සෙයි මම නවකතාව ලියන්න පටන් ගත්තේ.

මගේ ලියන මේසය බොහොම කම්මැළියි. මගේ මේසෙ උඩ තියෙන්නේ පරිගණකයක් සහ සටහන් මිටියක් විතරයි. මගේ මේසෙ දැකලා මම ලේඛකයෙක් කියලා කාටවත් පෙර හැඟවුමක් ලබා ගන්න බැරි වෙන බව නම් සහතිකයි.

ඇත්තටම 'ලයිෆ් ඔෆ් පයි' ලියන්න පටන් ගත්ත විදිහ සවිස්තරාත්මකව කියන්න වටිනවා. අවුරුදු 10 ට විතර කලින් බ්‍රසීලියානු ජාතික නවකතාකරුවෙක් වෙන Moacyr Scliarගෙ Max and the Cats ගැන නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේට John Updike විචාරයක් ලියලා තිබිලා මම කියෙව්වා. ඔහු පොතට කැමැති නැති බවයි විචාරයේ මූලිකම හරය වුණේ. ඔහු කියලා තිබ්බ සමහර දේ මගේ මතකේ ‍රැඳුණේ නෑ. ඒත් මා උනන්දුවට පත් කරපු කාරණාවක්, ඒ විචාරයේ තිබ්බා. නවකතාවට පසුබිම් වෙලා තිබුණේ, බර්ලිනයේ ජීවත් වෙන යුදෙව් පවුලක්, සත්තු වත්තක් පවත්වගෙන යාමක් ගැනයි. ඒ 1933 අවුරුද්ද. සත්තු වත්තෙන් ඒ අයට විශාල ආදායමක් උපයගන්න බැරි වුණ නිසා, ඔවුන් බ්‍රසීලෙට යන්න තීරණය කරනවා. ඔවුන් ගමන් කරමින් හිටපු නැව මුහුඳුබත් වෙනවා. එක් යුදෙව්වෙක් අඳුන් දිවියෙක් එක්ක ජීවිතාරක්ෂක බෝට්ටුවක තනි වෙනවා. මේ වගේ ඉස්තරම් කතාවකටත් නිව්යෝර්ක් ටයිම්ස් විචාරකයා අකමැති වුණේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා. ඔහු අකමැති වුණේ, කතාව කියපු තානයටද? එහෙමත් නැත්නම් පරිවර්තනයටද? අඳුන් දිවියා සහ යුදෙව්වා ගැනද? කියනඑක මට තේරුම්-බේරුම් කර ගන්න අමාරු වුණා. ඒත්, ඒ විචාරය කියවලා මගේ අවධානය පුදුම විදිහට වෙනස් වුණා. මගේ පරිකල්පනය දැල්වුණා. ලයිෆ් ඕෆ් පයි ලියන්න උත්තේජනයක් දීපු පළමුවැන්න ඒ විචාරයයි. Yukio Mishima ලියූ The Sailor Who Fell From Grace With the Sea නවකතාව කියෙව්වට පස්සෙ හිතට ආපු හැඟීමත් එක සමානයි. මේ නිසා ම, Max and the Cats කියවීමේ වුවමනාව දැඩි වුණා. පොත් සාප්පු කිහිපයක රස්තියාදු වෙලත්, ඒ පොත හොයාගන්න මට බැරි වුණා. අන්තිමට මම ඒක හිතින් අතෑරලා දැම්මා.

ඊට පස්සේ මම මගේ පළමු වැනි නවකතාව ලිව්වා. ලෝකෙ වටේ ඇවිද්දා. ආදර හබ කීපෙක පැටළුණා. සමහර ඒවා ඉවර වුණා. ඊටත් පස්සේ ආයෙත් ඇවිදින්න පටන් ගත්තා. අවුරුදු 4-5ක් මෙහෙම ගත වුණා. අන්තිමට මම ඉන්දියාවට ආවා. ඒ ඉන්දියාවේ සංචාරය කරපු දෙවැනි වතාව. මගේ සංචාරය පටන් ගත්තෙම තරමක් රළුව. මුම්බායට ගොඩ බැස්ස මම, එහේ හිටපු සෙනඟ කන්දරාව දැකලා පුදුම වුණා. මට මහා තනිකමක් දැනුණා. එදා රෑ ඇඳේ ගුලිවෙලා මම ඇඬුවා. තුනී බිත්තිවලින් එපිටින් ජීවත් වෙන අසල්වැසියන්ගේ ජීවිතවල සද්ද ඇහෙන තරම් ළඟින් අපි හිටියෙ. මගේ ඇඬීමත් ඔවුන්ට ඇහෙන්න ඇති. මගේ ජීවිතේ කොහේට ගහගෙන යනවද කියලා මම හිතන්න වුණා. ඒ වෙනකොට මම පිටපත් 1000 බැගින් විකිණුන පොත් දෙකක් ලියලා තිබ්බා.

ඒත්, අවුරුදු 33ක් තිස්සෙම මම කරලා තියෙන්නෙ එච්චරයි කියලා දැනුණහම ඇති වුණේ හරි ම වියළි හැඟීමක්. මගේම හැඟීම් මට කරදර කරනවා දැනුණා. මගේ මනස බිත්තියක් වගේ වුණා. මම ඉන්දියාවට ආවෙ පොතක් ලියන්න. ඒත්, කතාවෙ කිසි චරිතයක් කතා කරන්න උනන්දු වුණේ නෑ. ඒ අය නිෂ්ක්‍රීයව ඔහේ හිටියා. මට බල කරන්න බැරි බව දැනුණා. ඒත් මම ලියන්න හිටි කතාව මැරීගෙන යන බව මට ඒත්තු ගියා. මුම්බායේ මැත්‍රන්වලට මම ගියේ ඔන්න ඔය අතරෙයි. ආකර්ෂණීය දර්ශනයක් ඇති මේ ස්ථානයට ළඟාවෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ ටැක්සියකින්, එහෙමත් නැත්නම් ටෝයි ට්‍රේන් එකකින්. ඊටත් පස්සේ ඉතිරි දුර පයින් යන්න ඕනා. එහෙම නැත්නම් අශ්වයකුගේ පිටේ යන්න ඕනැ. ඉන්දියාවට අයිති අධික ඝෝෂාව මෙතැන තිබ්බෙ නෑ. හදිසියේම මගේ හිතෙන් නොයෙක් අදහස් පිටාර ගලන්න පටන් ගත්තා. ඒ අදහස් තොගය පාලනය කර ගන්නවත් හැකියාවක් තිබ්බෙ නෑ. මා අදහස් ඇතුළේ ගැඹුරටම ගිළුණා. ඉතා ම පොඩි වෙලාවක් ඇතුළේ 'ලයිෆ් ඔෆ් පයි' මුළු කතාන්දරයම මම හිතින් ගොඩනැඟුවා. ජීවිතාරක්ෂක බෝට්ටුව, ආගමික විශ්වාස සහ සත්ව විද්‍යාව එකිනෙකට සමාන්තර කතාන්දර දෙකක් විදිහට ගලාගෙන යන විදිහ මට දැනුණා. ඒත් ආගමික විශ්වාස එක්ක සත්ව විද්‍යාවක් පටලවන්න අදහස ආවෙ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරි වුණා. මේවා එකිනෙ සමඟ මිශ්‍ර කරන්න සුදුසු කාරණාද කියලත් සැකයක් මට තිබ්බා. ඉන්දියාව එක්ක බැලුවහම මේ තරම් ආගමික විශ්වාස සහ සත්තු ඉන්න රටක් තවත් නැතිව ඇති. මේ ගැන අවිඥානිකව මම කල්පනා කරමින් ඉන්නත් ඇති. මොකද සංචාරකයෙක් ඉන්දියාවට ආවට පස්සේ ඉන්දියාව ගැන කල්පනා නොකර ඉන්න පෙලඹෙන්නෙ නැති තරම්. ඉන්දියාව , ඒ තරමටම ලොකු විස්මයක් ඕනැම මනුෂ්‍යයකුට දෙනවා. මේ අදහස් කෙළින් ම කොහෙන් ආවද කියලා අදටත් මට හිතාගන්න බැහැ. ඒත්, මම මුම්බායට ආවෙ යම් හේතුවකට කියන එක නම් සැකයක් නැතිවම දැනගත්තා.

ඊට පස්සේ දකුණු ඉන්දියාව පුරා තියෙන හැම සත්තු වත්තක්ම බලන්න මම ගියා. ත්‍රිවේන්ද්‍රම් සත්තු වත්තේ අධ්‍යක්ෂ එක්ක සම්මුඛ සාකච්ඡාවකුත් කළා. නොයෙකුත් ආගමික ස්ථානවල කාලය ගත කළා. මගේ නවකතාවට ඕන කරන නාගරික වටපිටාව හොයාගන්න, පරිසරය හොයාගන්න නොනවත්වාම ඇවිද්දා. මගේ නවකතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්දියානුමය ලක්ෂණ දෙන්නයි මට වුවමනා වුණේ. මාස හයක් ගියාට පස්සේ ඉන්දියාවේ නාගරික පරිසරය ගැන ඇති පදම් දේ මම දැනගත්තා. කැනඩාවට ඇවිත් අවුරුදු 1 1/2ක් නැවත පර්යේෂණ කළා. ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආගම් ගැන අධ්‍යයනය කළා. සත්ව විද්‍යාව ගැන වගේම සත්ව මනෝවිද්‍යාව ගැනත් අධ්‍යයනය කළා. ඒ හා සම්බන්ධ තවත් ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන දේ කියෙව්වා.

අන්තිමට 'ලයිෆ් ඔෆ් පයි' නවකතාවේ ප්‍රධාන සත්ව චරිතය කවුද කියලා තීරණය කරලා ලියන්න පටන් ගත්තා. මුලින්ම මම අලියෙකුට ප්‍රධාන චරිතෙ දෙන්නයි හිතුවේ. ඒත්, ජීවිතාරක්ෂක බෝට්ටුවකට අලියකු දාන එක ඒ තරම් ගැළපෙන්නෙ නැති බව මට තේරුණා. ඊට පස්සේ රයිනෝසිරස් කෙනෙක් ගැන හිතුවා. අන්තිමට ප්‍රධාන සත්ව චරිතෙ කොටියකුට දෙන්න මම තීරණය කළා. සීබ්‍රා, හයිනා සහ ඔරංඔටන් තරගෙන් ඉවත් කළා. කොටියට ප්‍රධාන චරිතෙ පිරිනමලා කතාව ලියාගෙන ගියා.

මේ පොත ලියන්න පර්යේෂණ කරමින් ඉන්න අතර හරි ම කුතුහලාත්මක දේ මට සිද්ධ වුණා. එකක් 1830 දී එඩ්ගාර් ඇලන් පෝ ඔහුගේ එක ම නවකතාව නිකුත් කිරීම. මේ කතාවෙ එක්තරා චරිතයක් හිටියා රිචඩ් පාකර් කියලා. ඊට අවුරුදු 40ට පස්සෙ මිග්නොනෙටේ කියන නම තිබ්බ නැවක් ඔස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. ඒත්, අතරමඟදි නැව දියබත් වුණා. නැවේ හිටපු 04 දෙනෙක් ඩිංගි බෝට්‍ටුවක නැගලා දවස් 17 මුහුදේ පාවෙවී හිටියා. 17 වැනි දවසෙ නැවේ කපිතාන් ආවතේව කරපු කැබින් කොලුවා මරලා ආහාරෙට ගත්තා. කොලුවා හිටියේ අධි මූර්ච්ඡාවට පත් වෙලා. දවස් දෙකකට පස්සේ ඩිංගි බෝට්ටුවෙ හිටපු තුන් දෙනා ස්වීඩන් නැවක් ඇවිත් බේරා ගත්තා. ඔවුන් මුහුද මැද වෙච්ච දේ පාපොච්ඡාරණය කළා. ඔවුන් විසින් ආහාරයට ගත්ත කොලුවගේ නමත් රිචඩ් පාකර්. ඒ වගේම තවත් නැවකින් තවත් රිචඩ් පාකර් කෙනෙක් ගැන මට අහන්න ලැබුණා. එක පාර රිචඩ් පාකර් නම තියෙන තුන් දෙනෙක් ඇවිල්ලා මගේ ඇගේ හැප්පුණාට පස්සෙ මං මොකද කරන්නේ? ඉතිං මං කොටියට ඒ නම දැම්මා.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම්:

l http://bit.ly/2Kw42yQ

l http://bit.ly/2Mec7Kw

l http://bit.ly/2YLG8YD

l http://bit.ly/2ZZWklM

l http://bit.ly/2H3thWW


නව අදහස දක්වන්න