ටාර්සන් | දිනමිණ


 

ටාර්සන්

‘පොඩි පීරිස්’ විසින් එම සුනඛ පෝතකයා රැගෙන ආවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකිනි. පොඩි පීරිස් එම කෙළෙඹියාගේ මොරිස් මයිනර් මෝටර් රිය පැදවූ තරුණ රියදුරා විය. ‘පොඩි පීරිස්’ එදා පොඩි ‘ෂොට් එකකුත්’ දමාගෙන සුනඛ තෙමේත් උසුලාගෙන වැනි වැනී නිවසට ආවේ රටක්, රාජ්‍යයක් දිනාගත් නිරිඳකු මෙනි.

“ඔන්න අයියෙ මං හැමදාම කියපු දේ අද මං ගෙනාවා. මං මේ පැටියව ඉල්ලලා තිබුණෙ ‘ට්‍රික්සි’ පැටව් ගහන්නත් කලින්. ඇත්තටම අපි වගේ මිනිස්සුන්ට මේ වගේ සත්තු හදන්න වත්කමක් නෑ. ඒත් අමාරුවෙන් හරි හදාගත්තොත් කොයි තරම් දෙයක් ද? අපේ මුදලාලිත් මාව විශ්වාස කරල දුන්නෙ පැටියට දුකක් නොදී බලාගන්න කියලයි.”

‘පොඩි පීරිස්’ එසේ ආඩම්බරෙන් පැවසුවේ සිය එකම සොහොයුරු ලොකු පීරිස්ටය. වෘත්තියෙන් සමුපකාර පරීක්ෂකයකු වූ ලොකු පීරිස් හොඳ මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇත්තකු විය. ගමේ කෙනකුට කිසියම් ලියුමක් හෝ වෙනත් ලේඛනයක් ඉංග්‍රීසි බසින් ලැබුණොත්, එය කියවාගනු ලැබුවේ ලොකු පීරිස්ගේ උදව් උපකාරයෙනි. විශේෂයෙන් ඒ කාලයේ විදුලි පණිවුඩයක් යමෙකුට ලැබුණොත් මුළු ගමම වාගේ එක්වෙයි. ‘කව්ද අන්ත්‍රා වුණේ?’ ඔවුහු අසති.

එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේ උඩරට ඈත පිටිසර ගම්මානයක, පහළ මැද පංතියේ නිවසකට ඉහළ පෙළැන්තියේ ‘බූල් බල්ලෙක්’ වුවමනා වූයේ මන්දැයි විමතියක් ඇතිකර ගත යුතු නැත. අදටත් අමාරුවෙන් ජීවත් වන මිනිසුන් මහත් ධනය වැය කර පර්සියන් බිලාළයන් හා ජර්මන් ෂෙපර්ඩ් වැනි බල්ලන් ඇති කිරීමට දක්වන උනන්දුව අතිමහත් ය.

පොඩි පීරිස් රැගෙන ආ සුදු පැහැති සුනඛ පෝතකයාට ද නමක් ඇවසි විය. නම් තැබීම භාර වූයේ හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණු ලොකු පීරිස්ටය.

“අපි මෙයාට ‘ටාර්සන්’ කියල නම දාමු.”

ලොකු පීරිස්ගේ යෝජනාව විරුද්ධත්වයක් නොමැතිව සභා සම්මත විය. ටාසන් නම එවකටත් අතිමහත් ජනප්‍රියත්වයක් ඉසිලීය. සැබවින්ම ‘ටාර්සන්’ නැමති අසහාය වීරයාගේ චරිතය නිර්මාණය කළේ, 1875 සැප්තැම්බර් 01දා ඇමරිකාවේ චිකාගෝ නගරයේ උපන් ‘එඩ්ගර් රයිස් බරෝස්’ නම් ලේඛකයා විසිනි. එහෙත් එම ග්‍රන්ථාවලියට අනුව ‘ටාර්සන්’ යනු අප්‍රිකානු ඝන වනාන්තරයේ අතරමං වූ සිටු පවුලකට අයත් දරුවෙකි. එතැන් පටන් ඔහු වානරයන් විසින් හදාවඩා ගන්නා ලදී.

‍ලොකු පීරිස් ‘ටාර්සන්’ චරිතය ඇතුළත් නවකථා තිහෙන් එකක් හෝ කියවා තිබුණාදැයි හරිහැටි අනුමාන කළ නොහැකිය. කෙසේ වෙතත් පොඩි පීරිස් රැගෙන ආ ‘ටාර්සන්’ අයත් වූයේ ලැබ්‍රඩ්‍රෝ සුනඛ පවුලට යැයි ඔවුන්ට පවසා සිටියේ, බල්ලන්ගේ හත්මුතු පරපුර ගැනම හොඳින් දත් දැනමුත්තකු විසිනි.

ඒ කෙසේ හෝ වේවා ‘ටාර්සන්’ දවසින් දවස මනා හැඩරුවින් යුක්තව හැදී වැඩුණේය. ඒ කුඩා ගම්මානයේ වල් බල්ලන් හැරුණු විට විදේශික සම්භවයක් තිබූ එකම සුනඛයා ටාර්සන් විය. උඩරට උපන් නමුදු ‘පීරිස්’ යනුවෙන් නම් තැබුණු පවුලකට ‘ටාර්සන්’ යනුවෙන් සුනඛයකු සිටීම තරමක ආඩම්බරයට කරුණක් විය. මේ ගම්මානය ද විසිවැනි සියවසේ මුල් භාගයේ පටන්, ඇංග්ලිකානු මිෂනාරිවරුන්ට තරමක තෝතැන්නක් විය. එහි බලපෑම නිසාදෝ මේ වනවිට පීරිස්, ජේමිස්, පීටර්, මිල්ටන්, ෂෙල්ටන්, ජොන්සන්, නෙල්සන්, විල්සන්, වික්ටර්, විලියම්, මාටින්, ජස්ටින්, මාග්‍රට්, ලැම්බට්, සැන්ටින්, ටියුරින්, අයිරින්, මියුරින්, ටියුඩර් වැනි ස්ත්‍රී, පුරුෂ පුද්ගල නාම, රැල්ලක් ලෙසින් ව්‍යාප්ත වෙමින් තිබිණි.

පීරිස් සෝයුරන් විසින් ‘ටාර්සන්ට’ හැකි හැම ලෙසින්ම සත්කාර කරන ලදී. ගව මස්, ඌරු මස්, මාළු පමණක් නොව කිරි වර්ග ද ඌ වෙනුවෙන් වෙන් විය. වසර පහක් ගෙවෙන විට ඌ අඩි දෙක හමාරකටත් වඩා උස, සිරුර පුරා සුදු ලෝම කඩා හැලෙන හැඩකාරයකු විය. විශේෂයෙන් ටාර්සන්ගේ දෑස් පවා වැසී යන සේ අලංකාරවත් ලෙස දිගු ලොම් වැවී තිබිණි. අක්කර දෙකක් පමණ විශාල පීරිස්ලාගේ වත්තේ බොහෝ සාඩම්බරයෙන් ටාර්සන් සැරිසැරුවේය.

එසේම දවසින් දවස ඌ ප්‍රචණ්ඩ වන ස්වරූපයක් ද දක්නට ලැබිණි. මේ නිසා දවසේ වැඩිහරියක් ටාර්සන් දම්වැලකින් ගැටගසා තැබීමට ද පීරිස් සොහොයුරෝ කල්පනා කළහ.

“මුව බැඳල තිබ්බෙ නැත්නම් රැලේ යන‍ කාලෙට වල් බැල්ලියො එක්ක එක්කාසු වෙලා ජරා ලෙඩ හදා ගනීවි.”

එසේ කීවේ ලොකු පීරිස්ය. පොඩි පීරිස් එය එකහෙලා අනුමත කළේ නැත. එහෙත් ගමේ වල් බැල්ලියන්ගේ ඇල්ම, බැල්ම දවසින් දවස ටාර්සන් වෙත යොමුවන බව ඔහු ද හොඳින් වටහාගෙන සිටියේය. නමුත් මහත් සැනසිල්ලට කාරණය වූයේ, ටාර්සන් සිය උසස් පෙළපත නිසාමදෝ ඒ බැලි කික්කියන් ගැන අංශුමාත්‍රික උනන්දුවක් නොපෙන්වීමයි.

නමුත් සිරුරින් හා ශක්තියෙන් වර්ධනය වන විට ටාර්සන්ට තමන්ගේ ආධිපත්‍යය පතුරුවා හරින්නට දැඩි වුවමනාවක් තිබුණා විය යුතුය. පීරිස්ලාගේ නිවස පිහිටා තිබුණේ ගම් සභා පාරට යාබද දකුණු පැත්තේය. කඩුල්ලක් මිස නිවසට ඇතුළු වීමට ගේට්ටුවක් තිබුණේ නැත. ඒ වනවිට ගමේ කිසිම නිවසකට ගේට්ටු තිබුණේ නැත. එහෙයින් ටාර්සන්ට ද නිදැල්ලේ හැසිරිය හැකි විය.

ටාර්සන්ගේ බිරුම් හඬ තුළ බෙහෙවින් ගැඹුරු හා අධිකාරි ස්වරයක් ගැබ්වී තිබිණි. දිගු ලොමින් වැසුණු ශරීරය සොලවමින් ඌ වත්ත පුරා ඇවිද සිමෙන්ති පඩිපෙළේ ලැගගෙන කාන්සියෙන් බලා උන්නේය. විවිධ වයස් පරාසයන්ට අයත් මිනිසුන් හා ගැහැනුන් ඔහුගේ නෙතට හසු විය.

‘ටාර්සන්’ මුලින් ම සපා කෑවේ නිවසට පැමිණි බීමත් ගැමියෙකි. ටාර්සන් බුරාගෙන ආවිට ඔහු නොසරුප් වදනින් බැණ, පහරක් දීමට දකුණු කකුල එසවීය. එසැනින්ම ටාසන්ගේ සුදු දත් පෙළ බීමත් ගැමියාගේ පාදය ඩැහැගන්නා ලදී. ඔහුගේ විලාපය අසා පැමිණි ලොකු පීරිස්ට දක්නට ලැබුණේ ඉමහත් තෘප්තියකින් ගැමියාගේ පාදය ඩැහැගත් ටාර්සන්ය.

එතැන් පටන් කිසිවකුටත් ටාර්සන් පාලනය කළ නොහැකි විය. මාස පහක් ගත වන විට ඌ ගැහැනුන්, මිනිසුන් පමණක් නොව දරුවන් ඇතුළු දහනව දෙනකුගේ පාද සපා කා තිබිණි. විශේෂයෙන් ම කුඩා දරුවකු සපා කා තිබුණේ, බස් රථයක් ලෙස මුඛයෙන් නලා හඬ නංවමින් පාරේ දිව යද්දීය. මේ සියලු කාරණා විසින් ටාර්සන්ට පමණක් නොව පීරිස්ලාට එරෙහිව ද ගම්මු බොහෝ දෙනෙක් අදහස් පළ කළහ.

“අඩේ මේක පුදුම වැඩක්නෙ. අපට අර පීරිස්ලාගේ ගේ ළඟින් යන්ටත් බෑ. අර මිනී කන ටාර්සනය ද, වානරය ද මොකාද එකා බුරාගෙන පනිනවා.”

“අම්මපා අපේ දරුව කාපු වෙලාවෙ නං මං වක්පිහියත් ඇන්න ගියේ ඕකව බාවන්නමයි.”

“ටාර්සන් කියන්නෙ පිටරට බල්ලෙක්ලුනේ. හැබැයි මගේ නං හීරුවා විතරයි. ඇත්තට ඔය පිටරට බල්ලෙක් මයෙ කකුල කෑවාමයි.”

“නෙද්දකිං මේ ගොනා කියන කතාව. ඇයි යකෝ මොකා වුණත් ඒකත් අපේ පර බල්ලො වගේම බල්ලෙක්. උගෙ තියෙන්නෙත් අපේ බල්ලන්ට තියෙන එව්වමයි.”

“හැබැයි මං නං ඕකට ළඟදිම වහ ඩිංගක් දාලා දෙනවා මකබෑ වෙලාම යන්ට!”

“අපේ අපුච්චි අපාගත වෙන වැඩ කොරන්ඩ හිතන්ටවත් එපා බොලං. ඌ තිරිසනෙක්. ඒත් අපි මිනිස්සුනෙ.”

මේ ජන විරෝධය හමුවේ ටාර්සන් පූර්ණකාලීනව බැඳ දැමීම හැර අන් විකල්පයක් පීරිස්ලාට තිබුණේ නැහැ. එහෙත් ටාර්සන් කෙතරම් ශක්තිමත් ද කිවහොත් බැඳ දැමීමට පාවිච්චි කළ දම්වැල් දෙකක්ම කඩා දමා, ගෙවත්තේ පමණක් නොව ගම් සභා පාරේ ද සැරිසැරීමට පටන් ගන්නා ලදී.

“පීරිස්ලාගෙ ටාර්සනයා දම්වැල් කඩාගෙනලු. උඹලා පාරෙන් යන්න එපා.”

“ඇයි යකෝ පාරෙන් යන්නැතුව අපි වෙන කොහෙන් යන්නද?”

කෝපයට පත් ගම්මු එසේ පැවසූහ.

එක්තරා දිනක දී ටාර්සන් බැඳ දැමීමට දම්වැලක් ගෙන ළංවූ පොඩි පීරිස්ගේ අත ද දරුණු ලෙස සපා කෑමට ඌ පසුබට වූයේ නැත. ලේ ගලන අත අල්ලාගත් පොඩි පීරිස් මෙසේ ශාප කළේය.

“මේකා නම් කන්න දීපු අත හපාකන වල් පරයෙක්. දැන් ඉතිං මූ මටත් ආම්බාන් කරන්ට බෑ.”

කළ යුතු කුමක්දැයි සොහොයුරෝ සාකච්ඡා කළහ. අවසානයේ තීරණයකට එළැඹිණි.

“වෙන කරන්ට දෙයක් නෑ මලයො. අපි වෙඩික්කාර නයිදෙ ගෙන්නමු!”

ලොකු පීරිස්ගේ යෝජනාව, පොඩි පීරිස්ගේ සිතට දුක් කන්දරාවක් කැටුව ආවද වෙනත් විකල්පයක් තිබුණේ නැත.

“ළඟදීම ගමේ උං ටාර්සනයා මරල අපේ ගෙටත් ගල් ගහවි.”

පොඩි පීරිස් එසේ සිත හදාගත්තේය. වෙඩික්කාර නයිදේ යනු රතු, මහත, කොණ්ඩය බැඳි මැදි වියේ මිනිසෙකි. වෘත්තියෙන් ලී පට්ටලවල ඉරුම්කාරයකු වූ ඔහු ඇතැම් විට මහ වන්ති වනාන්තරයේ ද දැව ඉරුම් සඳහා ගොසින් මාස ගණන් ගත කළේය. සූර දඩයක්කාරයකු වූ ඔහු ළඟ ලයිසන් සහිත පතරොම් තුවක්කුවක් විය.

ටාර්සන් දම්වැල් බිඳ වත්තේ සැරිසරන එම හෝරාවේ දඩයක්කාර නයිදේ, පීරිස්ලාගේ ඇරයුම පිට නිවසට ආවේය. කට රතු වන්නට විට කා උන් ඔහුගේ උඩුකය නිරුවත් විය.

“කොහෙදැ කියාපල්ලා බල්ලා ඉන්නෙ?”

ඔහු ඇසුවේ එපමකි.

“වෙලට උඩු අතිං, වැට අයිනෙ කොකෝ ගස් යට”

වෙඩික්කාර නයිදේ, හීංසිරුවේ පීරිස්ලාගේ නිවසේ වම් පස ඇති කාමරයට ගියේය. එහි ජනේලය හැරදා තිබිණි. එතැනට කොකෝ ගස් අසල වැතිරී උන් ටාර්සන් පෙනිණි.

“ඒයි ටාර්සන් ඉජුහ්! ඉජුහ්!!”

නුහුරු හඬින් නයිදෙ කෑ ගෑවේ තුවක්කු බටය ජනෙල් කවුළුව තුළින් එළියට දමමිනි. තමන්ට අභියෝග කරන ජගතා මොකාදැයි විමසනු රිසින්, නිර්භීත දෑසින් යුතු ටාර්සන් බුරාගෙන පෙරට ආවේය.

එවිට ම තුවක්කුව හෙණ හඬින් පත්තු විය. අදහා ගත නොහැක්කක් සිදු වූවා සේ ටාර්සන් විසිවී වැටිණි. සුදු ලෝම තෙමාගෙන රුධිර ධාරා ගලා ගියේය. එහෙත් වැර වෑයමින් තවත් අඩි කීපයක් පැමිණි ටාර්සන් සදහට ම නිහඬ විය.

“බොලං, මං පස්සෙන් පන්නගෙන ආව අලි ඇත්තුත් කම්මුතු කළ මිනිහෙක්. ඒත් මෙහෙම දෙයක් මේ කළාමයි!”

බිඳුණු හඬින් කී නයිදේ වහා එතැනින් පිටවී ගියේය.

Tiniwick [email protected]

නව අදහස දක්වන්න