ජනපතිවරණයේ ජනතා වගකීම | දිනමිණ

ජනපතිවරණයේ ජනතා වගකීම

මැතිවරණවලදී ඡන්දය භාවිතා කරන ජනතාව පසුව, මැසිවිලි නඟති. ඒ සිය අපේක්ෂා ඉටු කරන්නට බලයට පත්වූ පක්ෂ නොහොත් ජනතා නියෝජිතයන් අපොහොසත් වූ බව කියමිනි. දේශපාලනයේ මෑත ඉතිහාසයේ දිගින් දිගටම දකින්නට ලැබුණේ මෙකී යථාර්ථයයි. ඒ අතර ඉදිරියේ පැවැත්වෙන්නට නියමිතව ඇති මැතිවරණවල උණුසුම දැන් දැන් දැනෙන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම මාධ්‍ය මඟින් ජනපතිවරණයේ උණුසුම ඇති කරමින් යන සැටියක් පෙනෙන්නට ඇත. වෙනදා මෙන් පසුතැවිලි වී මැසිවිලි නොනගන්නට නම් ජනතාව ඉදිරි මැතිවරණවලදී කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් විද්වතුන් දැක්වූ අදහස්වලට අද දේශපාලන කොලෝසියම වෙන්වේ.

----------------------

හැකි දේ නොහැකි දේ අවබෝධ කරගන්න ඕනෑ

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

නව නායකත්වයක්, ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ දී ජනතාවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. විශේෂයෙන් උගත්, බුද්ධිමත්, ජනතා විශ්වාසය දිනා ගත හැකි අයෙක් රටට අවශ්‍ය කරනවා.

පසුගිය කාලයේ අපේ දේශපාලන අංශවලට තේරීපත් වූ ඉහළම තලයේ සිට පහළම තලය දක්වා වූ අය කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය සෝදා පාළුවට ලක් වුණා. දැන් උගතුන් අතර පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාව අතරත් කිසිවකු කෙරෙහි විශ්වාසය නැහැ. මහජන නියෝජිතයන් කෙරෙහි විශ්වාසය කඩා වැටෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම කඩා වැටෙනවා කියන එකයි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කර ගන්න නම් මෙකි විශ්වාසය තහවුරු කර ගත හැකි හොඳ නායකත්වයක් රටට අවශ්‍ය කරනවා.

රටේ නීතිය, සාමය, ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය බාධාවකින්, කරදරයකින් තොරව පවත්වාගෙන යා හැකි පරිසරයක් සකස් කර ගත යුතුයි. මෑත කාලයේ ජන ජීවිතයට පීඩා ඇති වුණා. ඒ නිසා සාමාන්‍ය සේවා සැපයීමේ දී දුෂ්කරතා ඇති වුණා. බොහෝ සේවා කඩා වැටුණා. ඒ සමඟ විනයවත්භාවය ද කඩා වැටුණා. මෙය සුරක්ෂිත කර යථා තත්ත්වයට ගෙන්න අවශ්‍ය කරනවා. බොහෝ දේවල් හෑල්ලුවට ලක් කිරීමේ ප්‍රතිවිපාක අපි පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අත් දැක්කා.

අපි ජාතියක් ලෙස පහළට යන විට හෝ එක තැන සිටින විට ලෝකය ඉතා වේගයෙන් ඉහළට යනවා. මේ සියවස ආසියාවේ සියවස ලෙස ලෝකය පිළිගෙන තිබෙනවා. ආසියාවෙන් ඉතා වේගයෙන් ඉහළට යන්නේ දකුණු ආසියාවයි. නමුත් අපේ මට්ටම සැළකිය යුතු ලෙස පහළට ගියා. ඒ නිසා ආර්ථිකය නඟා සිටුවන්න අවශ්‍යයි. ඒ විශ්වාසයේ එක් කොටසක් වන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමයි. ඒ වගේම ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවගේ වගේම සමස්ත ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනාධිපතිවරයකු කටයුතු කළ යුතුයි. විශ්වාසය තිබු පමණින්ම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ විශ්වාසය තුළින් ප්‍රතිඵල ලබා ගැනීමේ සහජ කුසලතාවකින් හෙබි පුද්ගලයකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතුයි. අපේ රට ගැන කතා කරන විට හැම දේකින්ම පරිපූර්ණ රටක් ලෙස තමයි සළකනවා. පිහිටීමේ සිට සියල්ල ඉහළ මට්ටමින් තිබෙන රටක් කියලා කියනවා. නමුත් ඒවායින් ප්‍රයෝජන නොගෙන ඉහළට යන්න බැහැ.

එක්තරා කාලයක අපේ තරුණ අය ප්‍රශ්න විසදන්න කැරලි ගැහුවා. තවත් පිරිසක් රටින් කොටසක් කඩා ගන්න යුද්ධ කළා. විශාල විනාශයක් රටට සිදු වුණා. අද තරුණ අය රට හදන්න විප්ලව කරන්නේ නැහැ. ඒ අය ඒ සංකල්පවලින් බැහැර වෙලා. හැමෝම උත්සාහ කරන්නේ මොනා හරි කරලා රට හැර යන්න. වංචාවෙන් හරි රටින් යන්න තමයි උත්සාහ ගන්නේ. ඒ තරමට රට ගැන විශ්වාසය පළුදු වෙලා. ඒ නිසා අනාගතය නඟා සිටුවන්න වර්තමාන ලෝකයට ගැලපෙන ජනාධිපතිවරයෙක් අපට අවශ්‍ය කරනවා.

නිදහසින් පසු කාලයක් ම අපි හිතුවා සුළු ගොවීන්ගෙන් රට දියුණු කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපි හිතුවා ආණ්ඩුවේ ව්‍යාපාරවලින් රට දියුණු කරන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යා විශ්වාසයක්. අපි ගන්න සිනී කිලෝවක, හාල් කිලෝවක මිල වැඩි වෙන්න මෙය එක් හේතුවක්. අපිට කරන්න බැරි දේවල් කරන්න අරගෙන විශාල පාඩු දරමින් සාමාන්‍ය ජනතාව මත බදු පටවමින් කටයුතු කරන නිසා තමයි මේ මිල වැඩි වෙන්නේ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරයකු ආණ්ඩුවට කරන්න පුළුවන් කුමක්ද කියලා තේරුම් ගෙන කටයුතු කරන්න අවශ්‍යයි. පුළුවන් දේවල් කරලා, බැරි දේවල් ආණ්ඩුවේ දායකත්වය මත පුද්ගලික අංශයට දෙන්න අවශ්‍යයි. එසේ නැතිව බරවා කකුල් තියා ගෙන ඇවිදින්න බැහැ. ඒ වගේම මේවා පරිපාලනය කරන්න කළමනාකරණය කරන්න දේශපාලන හිතවත්කම් මත බෙදා දෙන්න අවශ්‍ය නැහැ. මහා පාඩු සිද්ධ කර ගෙන කළමනාකරණය කර ජනතාව මත බර පටවන්න අවශ්‍යත් නැහැ. මේ තත්ත්වයෙන් අපි නව ජනාධිපතිවරයෙක් යටතේවත් ගොඩ එන්න උත්සාහ නොකළොත් රට දියුණු කරන්න බැහැ.

සමන්මලී ප්‍රියශාන්ති

----------------------

ඡන්දයට කලින් ප්‍රතිපත්ති බලන්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය එන්. ඒ. විමලසේන

ජනාධිපතිවරණය පිළිබඳ දැඩි කතා බහක් රටේ ඇති වෙමින් තිවයනවා. මේ මොහොතේ ජනතාව බලා සිටින්නේ ඊට ඉදිරිපත් වන පුද්ගලයන් කවුද යන්නයි. ඒ සඳහා එක් එක් පක්ෂවලින් ඉදිරිපත් වන බව කියන පුද්ගල නම් වෙනුවෙන් ජනතාව පෙනී සිටින අයුරු සමාජ මාධ්‍ය ඇතුළු අංශ ගණනාවකින් දැකිය හැකියි. ජනපතිවරණයට ඉදිරිපත් වන බව කියන කිසිවකුත් රට ඉදිරියට ගෙන යෑමට තමන් අනුගමනය කරන ප්‍රතිපත්ති මොනවාද යන්න මෙතෙක් හෙළි කර නොමැති අවස්ථාවක වුවත් ඇතැම් පිරිස් තමන් කාටද ඡන්දය දෙන්නේ යන්න මේ වන විටත් තීරණය කර තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා. අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා ඡන්දය පාවිච්චි කරන අවස්ථා පසුගිය මැතිවරණ ගණනාවකදී අපි දැක්කා. කැපුවත් කොළ, නිල්, රතු කියන උදවියට අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති වැඩක් නැහැ. ඔවුන්ට වැදගත් වන්නේ තමන් කැමැති පක්ෂයෙන් ඉදිරිපත් වන පුද්ගලයා කවුද යන්න පමණයි. නමුත් පොදු ජනතාවට පක්ෂයට වඩා වැදගත් වන්නේ ඒ ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිපත්තියි. ජනපති අපේක්ෂකයා ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, විදේශීය, සංස්කෘතික ආදි ක්ෂේත්‍ර සම්බන්ධව තම ප්‍රතිපත්ති රටට හෙළි කළ යුතුයි. බලයට පත්කළ යුත්තේ කවුද යන්න තීන්දු කළ යුතු වන්නේ ඉන් පසුවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා අනාගත ජනපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධව පැහැදිලි ආමන්ත්‍රණයක් කළ යුතුයි. තමන්ගේ මනාපය පතන මේ අපේක්ෂකයන් රටේ ආරක්ෂාව ගැන කතා කරනවාද යන්න ගැන ජනතාව සිහිබුද්ධියෙන් අසා සිටිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ජනතාව ජීවත්වන මේ රට බහු ආගමික හා බහුවාර්ගික එකක් බව අනාගත පාලකයා තේරුම් ගත යුතුයි. ජාතිවාදය ඉදිරියට දමා මැතිවරණ මෙහෙයවන පුද්ගලයින් රට ඉදිරියට ගෙනියන්නේ නෑ. ජනතාව මේ බව තේරුම් ගැනීම ඉතා වැදගත්.

ජාතිවාදී ස්වරූපයෙන් කටයුතු කර මැතිවරණයක් ජයග්‍රහණය කළත් රට කරවීම අපහසුයි. ජත්‍යන්තර සහය නොමැතිව ලොව කිසිදු රටකට හුදෙකලාව ගමනක් යන්න බෑ. ඒ නිසා ජනතාව මේ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. අනෙක් විශේෂම කාරණය වන්නේ මැතිවරණ වේදිකාවල එකිනෙකාට මඩ ගසා ගැනීමයි. පසුගිය ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුව කළ නොකළ දේට වඩා වැදගත් වන්නේ ඊළඟට පත්වන පාලකයා කරන කියන දේයි. ආණ්ඩුවලට චෝදනා කිරීම අපි පසුගිය කාලය පුරා දැක්කා. තමන්ගේ වැඩපිළිවෙළ කුමක්ද යන්න ජනතාවට නොකියා හිටපු විරුද්ධ පක්ෂ, පාලකයන්ට මඩ ගැසීම අපි කොතෙකුත් දැක තියෙනවා. ප්‍රධාන පක්ෂ සියල්ලම අඩු වැඩි වශයෙන් එකිනෙකාට මඩ ගසා ගත්තා. යුක්තිය, සාධාරණයත්වය ආරක්ෂා වීමට නම් නීතිය හරියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. පාලකයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. එය ආරක්ෂා කිරීමට ඔහු බැඳී සිටිනවා. ජනතාව ඉදිරි ජනපතිවරණයේදී රටට ගැලපෙන පාලකයෙකු තෝරා ගැනීමේදී මේ කාරණා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඇමරිකාව වැනි රටවල ජනපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුලින්ම රටට ඉදිරිපත් කරනවා. ජනතාව ඒක බලලා තමයි කාටද රට බාර දෙන්නේ කියලා තීරණය කරන්නේ. අපි තාමත් කරන්නේ අපේක්ෂකයාගේ තාත්තා කරපු දේවල් එහෙම නැත්නම් අම්මා හෝ සහෝදරයා කරපු දේවල බලලා තීන්දු තීරණ ගැනීමයි. මේක මේ මැතිවරණයේදී හෝ වෙනස් විය යුතුයි.

අසේල කුරුළුවංශ

----------------------

නීතිය හා විනය රකින නායකයෙක් පත්කර ගන්න

රුහුණු විශ්වවිද්‍යාල‍යේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. කේ. සරත්

අව්‍යාජ කැපවීමක් තිබෙන අයෙක් ජනාධිපතිධුරයට පත්වුවහොත් තවමත් අපේ රට ගොඩගත හැකියි. ඔහු දේශපාලනයෙන් ඇට්ටර නොවුණ කෙනෙක් වෙනවා නම් වඩාත් හොඳයි. එතනදී මේ පුද්ගලයා නම් කළ නොහැකි වුවත් ඉහත ගුණාංගවලින් පිරි පුද්ගලයකු විය යුතුයි. අලුතින් එන කෙනකුට වුවත් මේ රාමුව තුළ කටයුතු කිරීමෙන් මේ රට නව මඟකට ගත හැකියි. මිනිසුන්ගේ දැඩි කළකිරීම රටේ සංවර්ධනයට ඉතා අයහපත් ලෙස බලපානවා. සෘජු තීන්දු තීරණ ගත හැකි නායකත්වයක් නොමැතිවීමෙන් රට හදන්න ලැබුණ අවස්ථා කිහිපයක් පැහැර හැරුණා. ඒ නිසා ජනතාව තමන්ගේ ඡන්දය දෙන්න ඕනේ සෘජු තීන්දු තීරණ ගන්න පුළුවන් නායකයකුටයි.

මේ රටේ ජනාධිපතිධුරයට පත්වන පුද්ගලයාට විශාල කාර්යභාරයක් පැවරෙනවා. විනය හා නීතිය ස්ථාපිත කිරීම ඒ අතරින් විශේෂයි. මේ දෙක නැතුව රටක ආර්ථිකය ඇතුළු කිසිවක් ගොඩ නැගිය නොහැකියි. මැලේසියාව, සිංගප්පූරුව, චීනය වැනි වේගවත් ගමනක නියැලෙන රටවල පවා මොන ආර්ථික ප්‍රතිපත්ති තිබුණත් විනය හා නීතිය කියන එක අත්‍යවශ්‍යයි. එය නිර්මාණය කළහොත් අනෙකුත් දේ ගොඩනගා ගත හැකියි. ඒ නිසා ජනතාව ඊළඟට පත්කරගත යුතු වන්නේ නීතිය හා විනය ආරක්ෂා කරන නායකයෙක්.

ජනාධිපති ලෙස පත්වන කෙනාටත් වගකීම් බොහෝමයක් තියෙනවා. දැක්මක් සහිතව මේ ආර්ථිකය හැසිරවිය හැකි උගත් බුද්ධිමත්, ඒ ඒ ‍ක්ෂේත්‍රයන් ගැන හැකියා තිබෙන අයගෙන් යුතු විශේෂ කමිටු පත් කරන්න නව ජනපති කටයුතු කළ යුතුයි. ඒ කමිටුව මොන ආණ්ඩුව යටතේ වුවත් වෙනස් වෙන්න බැහැ. ඒ කමිටු තමයි තීන්දු තීරණ ගත යුත්තේ. ආණ්ඩුව කටයුතු කළ යුතු වන්නේ එම කමිටුවේ උපදෙස් මතයි. එම කමිටු පත් කිරීම හා ඉදිරියට ගෙන යාමේ භාරදූර කාර්යය ජනාධිපතිවරයා සතු විය යුතුයි. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින අපේ වගේ රටකට විධායක ජනපති ක්‍රමය අවශ්‍යයි. ඒ ධුරයෙන් වැරැදි දේ නොකර, ආර්ථිකය දියුණු කිරීමට තීන්දු තීරණ ගත යුතුයි. රටේ විනය, නීතිය හැදීමටත් විධායක ජනාධිපති ධුරය තිබිය යුතුමයි. ආර්ථික ප්‍රතිපත්තිවලදී අමතක කර දමා තිබෙන කෘෂි කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කරන ජනපතිවරයෙක් තෝරගන්නත් ජනතාව කටයුතු කරන්නත් ඕනේ. ඒ වගේම පත්වෙන ජනපති ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. කෘෂි කර්මාන්තය කියන්නේ විදේශ විනිමය ඉතිරි කරගත හැකි හොඳ මාර්ගයක්. අනෙක් කාරණය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, කෘෂි කර්මාන්තය, කාර්මික කියන අංශ තුන ඒකාබද්ධ කර දේශයට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවයි. ඒ ගැනත් දැක්මක් තිබිය යුතුයි. ඒ දැක්ම නිර්මාණය කිරීමේ හැකියාව ඉදිරියේ දී පත් වන ජනාධිපතිවරයා සතු විය යුතුයි.

අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල කවුරු බලයට පත් වුවත් ක්‍රියාත්මක වන සැලැස්මක් තිබෙනවා. ජනප්‍රිය ප්‍රතිපත්තිවලට වඩා නිහඬ ප්‍රතිපත්ති තුළින් ප්‍රතිලාභ ලබන්නේ ජනතාව බව ජනතාව වුවත් දකිනවා නම් ඔවුන් තමන්ගේ දේ කැප කිරීමට සූදානම්. රට සංවර්ධනය කරා ගෙන යා හැකිවන්නේ විපතේදී වගේම දේශපාලනයේදීත් විශ්වසනීය පිළිගත හැකි නායකත්වයක් පත්වුවහොත් පමණයි .

ක්‍රිසන්ති විතාරණ

----------------------

ජනතාව බුද්ධිමත්ව තීරණය ගන්න ඕනෑ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර උතුමන්ගේ

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවුරුදු 71ක දේශපාලන අත්දැකීම් අපට තිබෙනවා. විටින් විට බලය ලබාගත් දේශපාලන පක්ෂවලින් අගමැතිවරු, ජනාධිපතිවරු පත් වුණා. ඒ අය වසර 71ක් තිස්සේ මේ රට ගෙනත් තිබෙන තැන ජනතාව දන්නවා. මේ රටේ සියලු ජනතාව ඒ අය කරපු, කියපු දේවල් නිසා රට අද පත් වෙලා තිබෙන තත්ත්වය ගැන බරපතළ ලෙස කණගාටු වෙනවා. මේ අයගෙන් ප්‍රතිලාභ ගත්ත යම් කොටස් නැවත ඒ අය බලයට ගෙන්න කටයුතු කරමින් ඉන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ගන්නයි.

අද අපි 2020 ජනාධිපතිවරණයට මුහුණ දෙන්න බලාගෙන ඉන්නවා. මේ රටේ සියයට 80කට අධික ජනතාවක් මේ දක්වා මේ රට පාලනය කළ දේශපාලන පක්ෂවලින් තොර වෙනසක් බලාපොරොත්තුව ඉන්න බව පේනවා. ඉදිරියේදී අපි ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කර ගැනීමේදී හිතන්න අවශ්‍ය දෙයක් තිබෙනවා. වෙළෙඳ පොළින් පොල් ගෙඩියක් ගන්න විට, වළඳක් මිලදී ගන්න විට වගේම දරුවෙක් පාසලට දාන විට පාසල ගැන ගොඩක් හිතනවා. නමුත් තම දරුවාගේ අධ්‍යාපනය, අනාගතය, පවුලේ අනාගතය වගේම රටේ අනාගතය තීරණය වන මේ රටේ ජනාධිපති, අගමැති ඇතුළු රට පාලනය කරන පිරිස තෝරා පත් කර ගැනීමේ දී අපි වැඩිය හිතන්නේ නැහැ. ජනතාව මෙවර ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර මේ තෝරා ගැනීම කළ යුතු බව ජනතාවට මතක් කර දෙන්න කැමැතියි. තමන්ගේ තාත්තාගේ පක්ෂය, මේ පක්ෂය අපට උදව් කර තිබෙනවා කියන පටු අරමුණුවල නොසිට මෙවර මැතිවරණයේදී සහ ඉදිරි සියලු මැතිවරණවලදී තමන්ගේ පුරුද්ද, නැදෑ හිතමිතුරුකම් මත තීරණ නොගෙන ඉතා බුද්ධිමත්ව, අභියෝගයක් අරගෙන තීරණ ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා.

මේ රටේ මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ගේ උගත්කම, බුද්ධිමත්කම, දූරදර්ශිබව, තීරණ ගත්ත ආකාරය ගැන ජනතාව දන්නවා. ඒ නිසා මෙවර ජනතාව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් මේ පුද්ගලයාට උගත්කමක් තිබෙනවාද, අඩුම තරමේ උපාධියක්වත් තිබෙනවාද, විශ්වවිද්‍යාලයකට ගිහින් තිබෙනවාද, වෘත්තීය සුදුසුකමක් තිබෙනවාද, මේ පුද්ගලයා මේ දක්වා තමන්ගේ සුදුසුකම්වලින් හැකියාවෙන් තනතුරුවලට ගිහින් තිබෙනවාද කියලා හිතන්න ඕනේ. හිතමිතුරුකම්වලට, සහෝදරකම්වලට, හිතවත්කම්වලට තනතරු ලබා ගත් අයත් ඉදලා තිබෙනවා. මේ තෝරා ගැනීම ඉතා අපහසුයි. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඉදිරියේදී පත් විය යුතු ජනාධිපතිවරයා උගත්කමක් තබෙන, තමන්ගේ හැකියා මත තනතුරුවලට පත් වෙලා දක්ෂ හා සාධාරණ ලෙස කටයුතු කළ පුද්ගලයෙක් විය යුතුයි. ඒ නිසා ඒ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

රටකට ජනාධිපතිවරයකු පත් කර ගන්න විට අපි සාමාන්‍ය තනතුරකට අයෙක් පත් කර ගන්න විදිහට ක්‍රියා කළ යුතු නැහැ. රටේ බුද්ධිමත්, පිළිගත් මණ්ඩලයක් විසින් ද මේ පුද්ගලයාව ජනාධිපති අපේක්ෂකයෙක් බවට තෝරා ගෙන තිබෙන්නේ කියලා අපි හොඳින් සොයා බලන්න අවශ්‍යයි. ඒ වගේම ඒ පුද්ගලයාට මේ රටේ පිරිහෙමින් පවතින ආර්ථිකය ගොඩ නැංවීමට හැකියාව තිබෙන්න ඕනේ. ආර්ථිකය, සමාජය, පරිසරය පිරිහෙමින් පවතින්නේ. ඒ නිසා ආර්ථිකය හදන්න, සමාජය නිවැරදි තැනට ගන්න, පරිසරය රැක ගන්න පුළුවන් වගේම ජාත්‍යන්තර වශයෙන් සහයෝගීතාව ඇති කර ගන්න පුළුවන් පුද්ගලයෙක් තමයි ජනාධිපතිවරයා විය යුතු වන්නේ. ඒ නිසා තමයි ජනතාව මේ සියලු කරුණු ගැන මෙවර අවධානය යොමු කළ යුතු වන්නේ.

රජයේ ආදායම වැඩිකර ගැනීම හා රටේ දළ දේශීය නිෂ්පාදන වැඩි කර ගන්න එක ගැන අවබෝධයක් ජනාධිපතිවරයාට තිබෙන්න අවශ්‍යයි. ලබා ගත් රජයේ ආදායම එක සතයක්වත් අපතේ නොහැර මහජනතාවගේ මුදල්, පොදු මුදල් ලෙස සලකා ඒවා මහජන සුභසිද්ධිය සඳහාම වැය කළ හැකි අයෙක් විය යුතුයි. ඒ මුදල් පරිහරණය කාර්යක්ෂමව, සාධාරණව කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම හැම පුද්ගලයකුගේම අයිතිවාසිකම්, අනන්‍යාවන් ආරක්ෂා වන ලෙස කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉදිරියේ එන නායකයාට බුද්ධිය , දක්ෂතාව වගේම අධ්‍යාත්මික දියුණුවක් ද තිබිය යුතු වෙනවා. එවැනි අයකුට පමණයි රටේ ජනතාව යහපත්ව මෙහෙය වන්න පුළුවන් වන්නේ.

සමන්මලී ප්‍රියශාන්ති


නව අදහස දක්වන්න