ඉස්කෝල නිවාඩුවේ දකුණට යමු සවාරියක් | දිනමිණ

ඉස්කෝල නිවාඩුවේ දකුණට යමු සවාරියක්

ආසියාව, දකුණු අ‍ෙමරිකාව, දකුණු අප්‍රිකාව, ඔස්ෙට්‍රිලියාව හා යුරෝපයෙන් ගෙන එන ලද පක්ෂීන් 240 කට අධික ප්‍රමාණයක් මෙම කුරුලු උයනේ සිටිනවා. මේ තුළ ගිරා වර්ග, මැකෝ වර්ග, කුකුළු වර්ග මොනර වර්ග ආදී එකම වර්ගයකට අයත් නමුත් පාටින්, හැඩයෙන් , ප්‍රමාණයෙන් වෙනස් පක්ෂිහු දැක බලා ගැනීමට පුළුවන්. විවිධ වර්ණඅලංකාර පක්ෂීහු මේ තුළ සිටිනවා.

හම්බන්තොට කුරුලු උයන ආසියාවේ ලොකුම කුරුලු උයන මෙන්ම පර්යේෂණ මධ්‍යස්ථානය යි. සත්ත්ව විද්‍යාව හදාරන බොහෝ අයට තම පර්යේෂණ සඳහා මේ කුරුලු උයන පර්යේෂණගාරයක්. සත්ත්ව චර්යා රටා, ප්‍රජනන විධි උන්ගේ ආහාර රටා ආදී බොහෝ දේ නිරීක්ෂණයට කිරීමට මෙහි දී හැකියි. මෙහි ඒ සඳහා විශේෂ පහසුකම් ද සලසා තිබෙනවා.

මේ පාසල් නිවාඩු කාලයේ තමන්ගේ පවුලේ දූ දරුවන් වගේම නෑ හිතමිතුරනුත් එක්ක ටිකක් දුර බැහැරකට යන්න බලන්නේ පොඩි වෙනසකටත් එක්ක සතුටු වෙලා විනෝද වෙලා එන්න. ඒ තමන්ට තියෙන වෙහෙසකාරී බව වගේම ඒකාකාරී බවින් මොහොතකට හෝ අත් මිදිල වෙනසක් ලබා ගෙන එන්න. ඉතිං ඔබත් මේ පාසල් නිවාඩු කාලෙ දකුණු පළාතට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් හම්බන්තොට ප්‍රදේශයට ආසන්නව බලන්න යන්න පුළුවන් තැන් කීපයක් පිළිබඳව මතක් කරලා දෙන්නයි මේ සූදානම.

අම්බලන්තොට රිදියගම පිහිටි සෆාරි උද්‍යානය

මෙය පිහිටලා තියෙන්නෙ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයෙ. ගොඩක් සත්වෝද්‍යානය තුල සතුන් කුඩුකර සිර කර සිටිනවා. එහෙත් මෙම සපාරි උද්‍යානය තුල සතුන් කුඩු කරල නැහැ. ඔවුන්ට රිසිසේ තම භුමිය තුල සැරිසරමින් කාලය ගත කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසාම ඒ සතුන් අතරින් ගොස් අපහට ඒ සතුන් නැරඹීමට අවස්ථාව මෙම සපාරි උද්‍යානය තුලින් උදා වී තියෙනවා. මෙය ශ්‍රී ලංකාවේ අපිට නම් අලුත් අත්දැකීමක්,

රිදියගම පිහිටි මෙම සපාරි උද්‍යානය තුල අප්‍රිකානු සිංහ කලාපය, ශ්‍රි ලාංකික අලි කලාපය, ලෝක කලාපය සමග අනෙකුත් ප්‍රධාන පහසුකම් වන ප්‍රධාන ප්‍රවේශය, ආරක්ෂක තාප්පය හා වැටවල්, අභ්‍යන්තර මාර්ග පද්ධතිය, සත්ව රෝහල, සත්ව නීරෝධායන කූඩු, ජල විදුලි පහසුකම් නිමකර තිබෙන අතර මහජනයා සදහා විවෘත කෙරුණු පළමු අදියරේ මේ වන විට අප්‍රිකානු සිංහ කලාපය අක්කර 35කින්ද, ලෝක ශාක භක්ෂික සත්ව කලාපය අක්කර 80කින්ද හා ශ්‍රී ලාංකික අලි කලාපය අක්කර 54කින්ද සමන්විතව තිබෙනවා. ඔබ දැනට මෙම සෆාරි උද්‍යානයට පැමිණියහොත් නිදැල්ලේ සිටින සතුන් වර්ග රාශියක් දැකගන්න හැකියාව තියෙනවා.

සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන කිසිවකුටත් ඔවුන්ගේ පුද්ගලික වාහන උද්‍යානයට ඇතුල් කිරීමට අවසර නොලැබෙන අතර නරඹන්නන් සදහා වෙන් කෙරුණු වායුසමනය කළ විශේෂිත ආරක්ෂිත බස් රථ සේවාවක් සෆාරි උද්‍යානය තුළම ක්‍රියාත්මක වේ. එහි ගමන් ගන්නා අතරතුරම සතුන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන අතර සත්වයන් පිළිබද විස්තර පැහැදිලි කිරීමක්ද සිදු කරනු ලබනවා.

සෑම දිනකම පෙරවරු 8.30 සිට සවස 5.00 වන තෙක් පැමිණෙන මහජනතාව සදහා සෆාරි උද්‍යානය නැරඹීමට විවෘතව තිබේ

මෙය දිනපතාම විවෘත වී ඇති අතර මෙම සෆාරි උද්‍යානය පිළිබද වැඩිදුර විස්තර 047-3620410 දුරකතන අංකයෙන් විමසිමට හැකිය .

හම්බන්තොට කුරුලු උයන

හම්බන්තොට නගරයට පැමිණෙන ඔබට තවත් නැරඹිය හැකි ස්ථානයක් ලෙස හම්බන්තොට ආසන්නයේ පිහිටා ඇ.ති කුරුළු උයන හඳුන්වාදිය හැකියි. හම්බන්තොට නගරයට ආසන්නව ඇති කටුවැව හන්දියෙන් හැරී කිලෝ මීටර් 7 කට ආසන්න දුරක් පැමිණි විට කුරුලු උයනට ළඟාවිය හැකිය.

ආසියාව, දකුණු අමරිකාව, දකුණු අප්‍රිකාව, ඔස්ෙට්‍රිලියාව හා යුරෝපයෙන් ගෙන එන ලද පක්ෂීන් 240 කට අධික ප්‍රමාණයක් මෙම කුරුලු උයනේ නවාතැන් ගන්වා ඇත. මේ තුල ගිරා වර්ග, මැකෝ වර්ග, කුකුළු වර්ග මොනර වර්ග ආදී එකම වර්ගයකට අයත් නමුත් පාටින්, හැඩයෙන් , ප්‍රමාණයෙන් වෙනස් පක්ෂිහු දැක බලා ගැනීමට පුළුවන්. විවිධ වර්ණඅලංකාර පක්ෂීහු මේ තුල සිටිනවා.

හම්බන්තොට කුරුලු උයන ආසියාවේ ලොකුම කුරුලු උයන මෙන්ම පර්යේෂණ මධ්‍යස්ථානය ද වෙයි. සත්ත්ව විද්‍යාව හදාරන බොහෝ අයට තම පර්යේෂණ සඳහා මේ කුරුලු උයන පර්යේෂණගාරයකි. සත්ත්ව චර්යා රටා, ප්‍රජනන විධි උන්ගේ ආහාර රටා ආදී බොහෝ දේ නිරීක්ෂණයට කිරීමට මෙහි දී හැකිය.මෙහි ඒ සඳහා විශේෂ පහසුකම් ද සලසා තිබෙනවා.

දිනපතා පෙරවරු 6.30 සිට පස්වරු 5.30 දක්වා කුරුලු උයන මෙය විවෘතව ඇති අතර වැඩි විස්තර ඔබට 047- 4937111 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය

දකුණු දෙසින් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයටත් නැගෙනහිර දෙසින් මිරිජ්ජවිල සුරියවැව මාර්ගයටත් යාබදව පිහිටා තිබෙන මෙම උද්‍යානයේ භුමිය අක්කර 300 කින් පමණ සමන්විතයි.

මිරිජ්ජවිල උද්භිත උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඉදි වූ ප්‍රථම වියලි කලාපීය උද්භිද උද්‍යානය වේ. නිදහස ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් විසින් ඉදි කළ ප්‍රථම උද්භිද උද්‍යානය ලෙසද එය හදුනා ගන්නට පුළුවන්. මෙරට භූමියෙන් වැඩි වපසරියක පැතිරී තිබෙන වියලි හා ශුෂ්ක දේශගුණික කලාපයේ පරිසර පද්ධතිය තුල ශාක ප්‍රජාව සංරක්ෂණය හා අධ්‍යාපනය ලබා දීම මෙය නිර්මාණය කිරීමේදී අරමුණු කර තිබෙනවා.

මිරිජ්ජවිල උද්‍යානයට පැමිණෙන ඕනෑම අයකුට උද්‍යානයේ ප්‍රධාන පිවිසුමෙන් පසු සිසු උයන, කොහොඹ ගස් වැව, කාර්යාල පිවිසුම, සමනල උයන, ජල කුලුන, පොදු රාජ්‍ය මණ්ඩලීය කවය, යෝජිත වනාන්තර කවය, ඖෂධ උයන, මලිත්තන් ගස් වැව, වැල් එකතුව, විසිතුරු පඳුරු උයන, මල් වගා අංශය, නිම්න මාවත, ආදී වශයෙන් ක්‍රමවත් වෙන් කරන ලද ස්ථාන දැක බලා ගත හැකියි.

ඖෂධීය ශාක 1400කට ආසන්න සංඛ්‍යාවක් සහ වියළි කලාපයට සීමා වූ ශාක වර්ග 460ක් රෝපණය කර තිබෙන අතර. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් හම්බන්තොට වියළි කළාපීය උද්‍යානයේ දී සිටුවන ලද සිහිවටන ගස් 52 ක් ද අද වන විට ඉතා සාර්ථකව වැඩී තිබෙන අතර එම කොටස පොදු රාජ්‍ය මණ්ඩලීය කවය මීටර් 160ක පමණ දිග ඉන්දීය විලෝ මාවත ඉතා අලංකාරම කොටසක් . උද්‍යානයේ ප්‍රධාන අංගවලට අමතරව ලංකාවේ වියළි අර්ධ සදාහරිත, ඝර්ම කලාපීය වනාන්තරවල දක්නට ඇති ශාක විශේෂ 105කට අයත් ශාක වර්ග 2000ක් පමණ මෙහි සංවර්ධනය කර ඇත. සමනල උයනේ සමනල විශේෂ 245ක් දක්නට ලැබෙන අතර ඉන් 26 ක්ම ශ්‍රී ලංකාවට ආවේනික සමනලයන් වීම තවත් විශේෂත්වයක්.

දිනපතාම පෙරවරු 8 සිට සවස 5 දක්වා මෙය විවෘත තිබෙන අතර ඔබට වැඩි දුර විස්තර අවශ්‍ය වන්නේනම් 047 – 3620741 අංකය අමතා විමසිය හැකිය.

කුඩාවැල්ලේ හුම්මානය

කොළඹ සිට පැමිණෙන්නේනම් මාතර සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ඔස්සේ දික්වැල්ල නගරය පසු කර යනවිට කුඩාවැල්ල හන්දියෙන් හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ඉදිරියට ගියවිට හුම්මානය පිහිටි වෙරළ තීරයට පිවිසිය හැක. එහිදී එම ස්ථානය වෙත පැමිණි ඔබට මෙම චමත්කාරජනක වූ වතුර ඉහලට විදින දර්ශනය (වතුර මල) නැරඹීමට නම් එහි පිහිටි වැල්ලේකැලේ නමින් හදුන්වන කුඩා කදු ගැටයද තරණය කල යුතුයි.

ස්වභාව ධර්මයේ අපුර්වතම නිර්මාණයක් වන මේ වතුර මල කුඩාවැල්ල ප්‍රදේශ‍යේ පිහිටා තිබීම නිසා ධීවර ගම්මානයක් වන කුඩාවැල්ල ප්‍රදේශය අද කා අතරත් ජනප්‍රිය වී තිබේ. ගොඩබිම දෙසින් පිහිටි විශාල පාෂාණ තට්ටු දෙකකට මැදින් පිහිටි කපොල්ලක් තුලින් අඩි අසුවක් අනුවක් ඉහලට පෙණ කැටි නංවමින් වතුර මලක් ආකාරයෙන් මුහුදු ජලය ඉහල පිඩනයකින් යුතුව අහස දෙසට විහිදී යද්දී බලා සිටින්නන්ට එය මහත් ආස්වාදජනක ක්‍රියාවලියක් වන්නේය. මෙහිදී මෙම ක්‍රියාවලියට හේතු වන්නේ මෙහි පිහිටා ඇති තද පාෂාණ ස්ථරයේ මුහුදු මට්ටටමේ තිබෙන කවාකාර ගුහාව තුලට දෙපැත්තකින් පැමිණෙන මුහුදු ජල තරංග එකට එකතු වී ඒ තුලට වේගයෙන් ගලා යෑම නිසා ඇතුලත හට ගන්නා පීඩනය ජලය ඉහළට එසවී යාමයි.

උත්සන්ගොඩ ජාතික උද්‍යානය

දකුණු පළාතේ සුන්දරත්වය නරඹන්න ඔබ යනවනම් උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියන්නෙ ඔබ නැරඹිය යුතුම ස්ථානයක්. මේ ස්ථානය පිහිටලා තියෙන්නෙ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට අයත් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළයි. ඉතාමත් සුන්දර ඒ වගේම අතිශයින්ම වැදගත් පරිසර පද්ධතියක්සේ සැලකෙන මෙම ස්ථානය තංගල්ල කතරගම මාර්ගයේ නෝනාගම හන්දියට සමීපව පිහිටා තිබෙනවා. නෝනාගම හන්දිය අසල සිට මීටර් 600 ක පමන දුරක් ගිය විට මෙම උස්සන්ගොඩ ජාතික වන උද්‍යානය ඔබට දැකබලා ගන්නට පුලුවන්කම තියෙනවා.මෙම ස්ථානයේ රතු පැහැති පාෂාණ විශේෂයක් පැතිරී තිබෙන අතර පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයක්. එක් පැත්තකින් තංගල්ල කතරගම මාර්ගයට හා බටහිරින් ලුනම, කළමැටිය අභයභූමියේ ලුනම කළපුවට සීමා වේ. නැඟෙනහිර ප්‍රදේශයෙන් වැලිපටන්විල ග්‍රාම නිලධාරී කොට්ඨාශයටත්, උතුරින් පුංචි උස්‌සන්ගොඩටත් සීමාවන අතර, දකුණින් මුහුදට මායිම්ව පිහිටා තිබෙනවා.

මෙම භූමි ප්‍රදේශය තුළ ශාඛ වර්ග නොවැඩෙන අතර රතු පැහැයට හුරු පස් විශේෂයක් දක්නට ලැබෙනවා. අක්කර ගණනාවක් පුරා ම පැතිර තිබෙනවා. රතු පැහැති පස් අතින් ඇල්ලු විට අතෙහි ද එම පාෂාණවල වර්ණය තැවරීම විශේෂත්වයක්. උල්කාපාතයක් කඩා වැටීම නිසා මේ ආකාරයට මෙම භූමිය නිර්මාණය වන්නට ඇත යන්න මේ පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ අදහසයි.

මේ පස් මත උණු වූ යකඩ මෙන් කළු පැහැයට සමාන පස් විශේෂයන් ද සමහර තැන්වල දැකීමට පුළුවන්. ඒවා ලාවා වැනි ස්වභාවයකින් යුක්ත බව සමහරු පවසනවා. උල්කාපාතයක් කඩා වැටී උස් වූ ගොඩ පසුකාලීනව උස්සන්ගොඩ වූ බව ගම්මුන්ගේ පවතින මතයයි.

මේ පසේ, අධික වශයෙන් ලෝහ සාන්ද්‍රණය පවතින බැවින්, ගස් වැල් හට ගන්නේ නැති බව පැවසෙන අතර රතු පස් පිහිටි පෙදෙස තුළ ශාක වැවෙන්නේ ඉතාමත් කලාතුරකින් තැනකයි. සමහර තැන්වල ඉතා කුඩා තෘණ විශේෂයක් වැවී තිබේ. ඊට අමතරව එම භූමියේ තැන් කීපයකම කරඹ, පතොක්, එරමිණියා වැනි වියලි තත්වයේ පොලව මත වැවෙන ශාඛයන් වැවී තිබෙනු දක්නට පුළුවන්. වැඩිපුර ඇත්තේ ශාක නොමැති පස්‌ වලින් පමනක් සෑදුණු පරිසරයයි. පරිසරයක්.

රෝහණ ආරියරත්න 
හම්බන්තොට විශේෂ

නව අදහස දක්වන්න