ජගත් යෞවන දිනයේදී ඩයලොග් වෙතින් ජාතික කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියක් | දිනමිණ

ජගත් යෞවන දිනයේදී ඩයලොග් වෙතින් ජාතික කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියක්

ප්‍රින්ස් ගුණසේකර
ඩයලොග් ආසිආටා වෙළඳනාම සහ මාධ්‍ය ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා වෙත තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු. වොලිබෝල් ලේකම් ඒ. එස්. නාලක හා භාතිය - සන්තූෂ් ගායන ශිල්පීන් ද මෙහි සිටිති. ඡායාරූපය - රංජිත් අසංක

ජාත්‍යන්තර යෞවන දිනය යෙදෙන අද (17) දිනයේ වයස අවුරුදු 23න් පහළ ඩයලොග් ජාතික කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භ වෙයි. රටපුරා දිස්ත්‍රික්ක 25ක කණ්ඩායම් 2500ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ ඩයලොග් ජාතික කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ පළමු අදියර දිස්ත්‍රික් මට්ටමින් හා දෙවැනි අදියර ජාතික මට්ටමින් සංවිධානවී ඇත. මාස 3ක පමණ කාලයක් පැවැත්වෙන මේ ජාතික කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ඩයලොග් ආසියාටා පී. එල්. සී. හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධාන කරන මේ තරගාවලියේ සියලුම කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් පදිංචි දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කිරීම අනිවාර්ය වන අතර මූලික අදියරේදී දිස්ත්‍රික් මට්ටමේ ශූරයන් හා අනු ශූරයන් තෝරා ජාතික තරග වටයට එක් කෙරේ.

කනිෂ්ඨ ක්‍රීඩකයන්ට ජාතික මට්ටමේ තරගාවලියක් සංවිධාන වන පළමු අවස්ථාව මෙයවන අතර මෙයින් හඳුනාගන්නා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයට එක්කොට පුහුණුවක් ලබාදීම අරමුණු කෙරේ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසූවේ අනාගතයේ ශක්තිමත් ජාතික පිලක් නිර්මාණය කිරීම උදෙසා ඩයලොග් ජාතික කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය විශාල පිටුබලයක්වනු ඇති බවයි.

“මේ යොවුන් තරගාවලියට ඩයලොග් අනුග්‍රහය ලබාදීම පිළිබඳ සතුටු වෙනවා. ඔවුන් වොලිබෝල් ක්ෂේත්‍රයේ විවිධ තරගාවලි සඳහා අනුග්‍රහය දෙනවා. මෙය යොවුන් තරගාවලියක් නිසා අනාගතයේ දක්ෂ දරුවන් අපට නිර්මාණයකර ගත හැකියි. ඒ නිසා මේ තරගාවලිය ක්‍රීඩාවට නැවුම් බවක් එක් කොට තිබෙනවා” සියඹලාපිටිය මහතා පැවැසීය.

මේ මාධ්‍ය හමුවට වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක, ඩයලොග් ආසිආටා වෙළඳනාම සහ මාධ්‍ය ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තරග සංවිධාන කමිටුවේ ලේකම් ධනපාල ජයපද්ම, සම්මේලනයේ උප සභාපති නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. නිමල් පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වූහ.

 

නව අදහස දක්වන්න