අගමැතිගේ තරුණ දැක්ම! | දිනමිණ

අගමැතිගේ තරුණ දැක්ම!

තරුණයන්ට ඇහුම්කන් දිය යුතු බවත්; තරුණ පරම්පරාව ප්‍රාර්ථනා කරන ලෝකය ගොඩනැඟීම සඳහා රටේ නායකයන් කැපවිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. වික්‍රමසිංහ මහතා මේ අදහස සමාජගත කළේ ලෝක තරුණ දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ය. සමකාලීන තරුණ ගැටලු දෙස බලන විට උක්ත අදහස කෙතරම් වැදගත්දැ’යි තීන්දු කළ හැකි ය.

රටේ තරුණ පරම්පරාව තෘප්තිමත් ජීවිත ගත නොකරන බව ද ඔවුන්ගේ අනාගත ලෝකය අවිශ්වාසයෙන් හා අවිනිශ්චිතභාවයෙන් පිරී ඇති බවද බැලූ බැල්මට පෙනීයයි. එහෙත් රටේ නායකයන්ට මෙය වෙනස් කළ හැකි ය.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විශ්වාසයක් තරුණ පරපුර තුළ නැත. රටේ විවිධ නායකයන් ද ඔවුන්ගේ පිළිගැනීමෙන් ඈතට ගොස් ඇත. සියලු ජන කණ්ඩායම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්ට සමාන සැලැකීම් සහිත නීති රාමුවක් රටේ පැවැතිය යුතු ය. එලෙසම රටේ ඉදිරි ගමනට දායක වන මූලික නීති පද්ධතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවැතිය යුතුය. එම අංශ දෙක ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණ කර තිබේද යන්න ගැටලුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි හඬක් සුළු ජාතික කණ්ඩායම් වෙතින් ද ඉදිරිපත් වී ඇත. එහෙත් නායකයන්ගේ ද, පක්ෂවලද කඹ ඇදීම් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පරිපූර්ණ තත්ත්වයට පත්වී නැත.

රටේ පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි ද තරුණයන්ගේ විශ්වාසයක් නැත. ඇතැම් පක්ෂයක නායකයන් තෝරාගනු ලබන්නේ බලවත් පවුල්වල අපේක්ෂාවන්ට සරිලන අයුරින් ය. තව පක්ෂවල නායකයන් තෝරාගනු ලබන්නේ පන්තියට හා කල්ලිවාදයට ගැළපෙන අයුරින් ය. නිපුණතා සහිත තරුණ පරපුරට නායකත්වය සඳහා ඉඩ - ප්‍රස්ථා අඩු ය. තවත් දේශපාලන ව්‍යාපාර තරුණයන්ගේ පොදු ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්නේ නැත. රටේ අනාගතය දෙස බලන විට මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි. රටේ තරුණ පරම්පරාව විවිධ හේතු - සාධක මත කොන් කිරීමකට ලක්වී ඇති බවක් පෙනෙයි. ලෝක දේශපාලන අත්දැකීමට අනුව ගතහොත් තරුණයන් නොසලකා හැරීම මඟින් බරපතළ දේශපාලන අර්බුද මතුවිය හැකි ය.

1988 – 1991 දකුණේ තරුණ කැරැල්ල පිළිබඳ කරුණු සොයා බැලීම් සඳහා පත්කළ තරුණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් බොහෝ තරුණයන්ගේ මතය වූයේ රටේ තරුණ පරම්පරාව දැඩි නොසලකා හැරීමකට ලක්ව සිටි බව ය. එකල තරුණයන්ගේ එක් සටන් පාඨයක් වූයේ කොළඹට කිරි අපට කැකිරි යන්න ය. උක්ත සටන් පාඨයෙන් දේශපාලන කරුණු ගණනාවක් නිරාවරණය වෙයි. ගම හා ගමේ තරුණ පරපුර නොසලකා හැරීම ඉන් ප්‍රධාන වෙයි. දේශපාලකයන් ගමට යන්නේ කලාතුරකින් ය. ගමේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නේ කලාතුරෙකින් ය. ග්‍රාමීය තරුණ පරපුරේ ගැටලු අවධානයට ලක්වන්නේ ඊටත් වඩා කලාතුරෙකින් ය. මේ පසුබිම වෙනස් විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

වික්‍රමසිංහ මහතා රටේ තරුණ පරපුර ගැන උනන්දුවෙන් ක්‍රියා කරන්නට පටන් ගත්තේ 1970 ගණන්වල සිට ය. එවකට ඔහු ද තරුණ දේශපාලකයකු ලෙස කටයුතු කළේ ය. ජාතික තරුණ සේවා සභාව තහවුරු වන්නේ ද වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ය. තරුණ පරපුර ඒකරාශී කිරීම, ඔවුන්ගේ කුසලතා ඇගයීම, අධ්‍යාපනික අවස්ථා ලබාදීම හා වෘත්තීය මට්ටමේ ශිල්පීන් බිහිකිරීමත් එහි ඉලක්ක අතර විය. තරුණ සේවා සභාවෙන් බිහිවූ කලාකරුවෝ අද එකිනෙක ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ බවට පත්ව සිටිති. ඔව්හු විශාල සමාජ මෙහෙවරක් ද ඉටු කරති. තරුණ සේවා සභාව නොතිබෙන්නට විශාල තරුණ කොටසක් අයාලයේ යති. වික්‍රමසිංහ මහතාගේ දැක්ම හා සැලැසුම නිවැරැදි බව එයින් සනාථ වෙයි.

වික්‍රමසිංහ මහතාගේ තර්කය වන්නේ රටේ තරුණ පරම්පරාව අලුත් රටක් ඉල්ලා සිටින බව ය. තරුණ පරපුරේ මතවාද නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ එය සියයට සියයක් නිවැරැදි තර්කයක් බව ය. නූතන තරුණයා එක් රටකට, එක් ප්‍රදේශයකට හා එක සම්ප්‍රදායකට ගැති වී නැත. ඔහු සතු දැනුම, හැකියාව හා අත්දැකීම් ප්‍රමාණය පුළුල්ය. ඒ අනුව ඔහුගේ සිතුම් - පැතුම් ද පුළුල් වපසරියක පිහිටයි. අද අපට මුණගැසෙන්නේ ගෝලීය තරුණයෙකි. ඔහු තවදුරටත් දේශීයත්වයේ රාමුවෙන් කොටුකිරීම වැරැදි ය.

ලෝකය කාර්මිකකරණයට යටත් වූයේ ගිය සියවසේ ය. කාර්මිකකරණයෙන්, ගෝලීයකරණයටත්, ගෝලීයකරණයෙන් තාක්ෂණිකකරණයටත් ලෝකය ගමන් කර ඇත. නූතන ප්‍රවණතාව වන්නේ ඩිජිටල්කරණය යි. තරුණ පරම්පරාව ඉදිරියට යන්නේ ඩිජිටල්කරණයත් සමඟ ය. ඔවුන්ගේ පරිකල්පනය හා ශිල්පීය ඥානය භාවිතයට ගත හැක්කේ ලෝක ප්‍රවණතා වටහා ගන්නා තරමට යැයි කිව හැකි ය. වික්‍රමසිංහ මහතා එය වටහාගත් නායකයෙකි. ඔහු තරුණ පරපුර විවේචනය කරන්නේ නැත. ඔවුනට දොස් පවරන්නේ නැත. ඒ වෙනුවට තරුණයන් වටහා ගැනීමට හා ඔවුන් උදෙසා යමක් ඉටුකිරීමට වෑයම් කරන නායකයකු ලෙස අගමැතිවරයා හැඳින්වීම වඩා නිවැරැදි ය.

අගමැතිවරයාගේ ආර්ථික දැක්ම නිරීක්ෂණය කරන විට ඉහත තත්ත්වය වඩාත් හොඳින් තහවුරු වෙයි. අගමැතිවරයාගේ ආර්ථික දැක්මෙහි විශේෂ සාධක තුනක් පවතී. එක; අපනයන ආර්ථිකයක් කරා රට මෙහෙයැවීම ය. දෙක; ඉන්දියන් සාගරයේ වෙළෙඳ හා මුල්‍ය කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගැනීම ය. තුන; සාගර ආර්ථිකයෙන් හැකිතාක් ආදායම් උපයා ගැනීම ය. මේ සාධක තුනම ආර්ථික යථාර්ථ බවට පත්කර ගත හැකි ය. වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම හා වැඩසටහන ගෝලීය තත්ත්වයන් සමඟ හොඳින් ගළපා ගත හැකි අතර එය රටට ද ඔරොත්තු දෙයි. තරුණ පරපුරේ අපේක්ෂා ඉටුකර ගත හැකි අලුත් රට ඇත්තේද එතැන ය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ තරුණ දැක්ම පිළිබඳ නිවැරැදි විනිශ්චයක් බොහෝ දෙනකුට නැත. රටේ මධ්‍යස්ථ බුද්ධිමතුන්ගේ කාර්යභාරය විය යුත්තේ ඉහත සමාජ හා ආර්ථික දැක්ම විශ්ලේෂණය කොට සමාජගත කිරීම යැයි කියන්නට පුළුවන.

 

නව අදහස දක්වන්න