එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට සියලු දෙනා එක්ව සහාය දක්වනවා | දිනමිණ

එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට සියලු දෙනා එක්ව සහාය දක්වනවා

සන්ධ්‍යා කරුණාරත්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ සියලු දෙනාගේ කැමැත්තට අනුව ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට සන්ධානයේ සියලු දෙනාගේම සහාය ඉදිරි කාලයේදි ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව සන්ධානයට ඇතුළත් වන සුළු ජාතික පක්ෂ නායකයන්ගේ ද කැමැත්ත අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගන්නා බවත් පසුගිය ජනාධිපතිවරණයේදි ජනතාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු සියල්ල මේ වන විට ඉටු කර ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (29) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. ව්‍යවස්ථාවේ තිබෙන ගැටලුවක් තමයි සන්ධානයේ ලේකම් පිළිබදව. ලේකම්වරයාව එජාපය විසින් නම් කර නායකත්ව මණ්ඩලය මගින් අනුමත කළ අයකු පත් කළ යුතුයි. ලේකම් කාර්යාලය ගැනත් සාකච්ඡා කළා. ස්වාධීන තැනක් විය යුතුයි. නායකත්ව මණ්ඩලයේ අවසන් තීන්දුව අනුව එය ස්වාධීන තැනක් විය යුතුයි. පුළුල් සන්ධානයක් තමයි ගොඩනැ‍ගෙන්නේ. අපේ සන්ධානයෙන් ආසනවලට ශක්තිමත් සංවිධාකවරුන් පත් කරනවා. එජාපයේත් එකගතාව අනුව සන්ධානයේ ජයග්‍රහණයට අවශ්‍ය ආසනවලට ශක්තිමත් සංවිධායකවරුන් පත් කරනවා. විධායක සභාව ගැනත් එකගතාවට පැමිණියා. එන මැතිවරණයේදි රට හදන වැඩපිළිවෙළේදි පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් කතා බහ කළා. ඒ සදහා මම කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණා සන්ධානයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට. මගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව කමිටුවක් පත් කළා. චම්පික රණවක, මනෝ ගනේෂන්, නිෂාම් කාරියප්පර්, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, අකිල කාරියවසම් කමිටුවේ සාමාජිකයන් වෙනවා. සන්ධානයේ සිටින පක්ෂ, සන්ධානයේ නැති අපට සහාය දක්වන පක්ෂ, සිවිල් සංවිධාන සමඟ කතා කර ඉදිරියේදි නායකයකු පත් කර ගන්නවා. සුළු දේශපාලන පක්ෂවලින් නායකයන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අයට අවශ්‍ය වන්නේ පුද්ගලයන් නොවේ, වැඩපිළිවෙළයි ඔවුන්ට අවශ්‍ය වන්නේ. සුළු පක්ෂවලින් සහාය ගැනීමට නම් හොඳ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළ යුතුයි. රාජපක්ෂ කඳවුරේ වගේ අපේ අපේක්ෂකයා කියන්නේ පවුලේ අපේක්ෂකයෙක් නොවේ. ඒක හොඳට මතක තියා ගන්න. ශ්‍රීලනිපයේ අපේක්ෂකයන් කිව්වේ පවුලේ අයට. පවුල ගන්නා තීන්දුව තමයි පක්ෂයේ තීන්දුව වන්නේ. දැන් ඊටත් වඩා නරක තත්ත්වයකට රාජපක්ෂ පවුල වැටිලා තිබෙනවා. ඒ පවුලේ හත් දෙනෙක් විතර සිටිනවා. ඒ හත්දෙනාට පස්සේ තමයි ඒ අයත් එක්ක සිටින නායකයන් යැයි කියා ගන්නා අයට තැනක් හිමිවන්නේ. එජාපය යනු ධනපති පක්ෂයක්. නමුත් රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, මෛත්‍රීපාල සිරිසේන යනාදි නායකයන් ජනාධිපතිවරුන් කරන්නට පක්ෂය මැලි වුණේ නැහැ. එජාපය නායකයන් පත් කරන විට හොඳට හිතලා බලලා තමයි තීන්දු ගන්නේ. කාටවත් හදිසි වුණාට ආවට ගියාට තීන්දු ගන්නේ නැහැ. සමහරු ජනාධිපති අපේක්ෂකයන් මේ වෙන කොටත් ඉදිරිපත් කර අවසන්. මේ වන විටත් ඒ අයගේ හුළං බැහැලා. ලබන මාසයේදි අපි සුදුසු නායකයකු පත් කරනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කර අපි සියලුදෙනාගේ සහාය ඔහුට ලබා දී සන්ධානය ජයග්‍රහණය කරවනවා. එක නායකයකු සමඟ අපි සන්ධානයක් විදියට එක්ව ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කරනවා.

සුළු ජාතීන් අපට සහාය දෙනවා. රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී ක්‍රියාවන්ට එරෙහිව ඔවුන් අපට සහාය දෙනවා. ඒ නිසා ඔවුන් තරහා කර නොගෙන ඒ අයගේත් අදහස්වලට ගැළපෙන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කළ යුතුයි. ලබන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. අපි සූත්‍ර හැදිය යුත්තේ ගෝඨාභය පරාජය කිරීමටයි. එසේ නැතිව එජාපය පරාජය කිරීමට නොවේ. ගියවර මැතිවරණයේදි එජාප ලේකම් තිස්ස අත්තනායක මහතා ඒ පැත්තට ගියා. ඒ අය පැරදුණා. ශ්‍රීලනිපයේ ලේකම් අපි ගත්තා. ඔහු ජයග්‍රහණය කරවා ජනාධිපතිවරයා කළා. බලවේග හැසිරෙන විදියට ජයග්‍රහණය තීරණය වෙනවා. අපේ අපේක්ෂකයා හෙළිදරව් කළාට පස්සේ තවත් පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න නියමිතයි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ අපි අදත් සාකච්ඡාවක් තියනවා. සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා මහත්වරුන්ට එරෙහිව පක්ෂය තුළ විනය පියවර ගැනීම් සිදු කරාවි. ඒවා කතා කළ යුත්තේ පක්ෂය තුළ පමණයි.

ඡායාරූපය - සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න