එජාප ජනාධිපති අපේක්ෂකයා සුදුසුම අවස්ථාවේ ඉදිරිපත් කරනවා | දිනමිණ

එජාප ජනාධිපති අපේක්ෂකයා සුදුසුම අවස්ථාවේ ඉදිරිපත් කරනවා

සිතාරා සේනානි

ජනාධිපතිවරණයට සුදුසුම අපේක්ෂකයා නිසි අවස්ථාවේ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම පියවර ගනු ඇතැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

රටම ඉල්ලන, ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම බව ද ඒ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්ත මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේ දීය.

එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා. රටේ ජනාධිපතිවරයා බවටත් පත් වෙනවා. අපේක්ෂකයා‍ තෝරා ගත් පසු පක්ෂයේ සියලු දෙනාම ඔහු වටා ඒකරාශී වෙනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම සාකච්ඡාකර සුදුසු අපේක්ෂකයා සුදුසු අවස්ථාවේ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපට අවශ්‍යව තිබෙන්නේ සියලු දෙනා එකමුතුව ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමටයි.

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දැන් යන්න තැනක් නෑ. ආගමික සිද්ධස්ථාන, රැස්වීම් වේදිකා හොයනවලු යන්න. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක වැඩසටහන එකවර ඉහළ ගොස් දැන් පහළට ම ගිහින් ඉවරයි. ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ සැකය තවමත් ජනතාවට තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය නිසා අමෙරිකාවට තවමත් අයිතිය තිබෙනවා අවශ්‍ය අවස්ථාවකදී ඔහු ඒ රටට කැඳවන්න. මේ අය අමෙරිකානු විරෝධී මාධ්‍ය සන්දර්ශන කළත් ඒ අයගේ ගෙවල් තිබෙන්නේ අමෙරිකාවේ. දරුවන් ඉන්නේ අමෙරිකාවේ. යන්නේ එන්නෙත් අමෙරිකාවට. ඒක තමයි හාස්‍යජනකම කාරණය. ඒ නිසා කවුද හරියටම අමෙරිකානු ගැත්තා කියා ජනතාව මේ ජනාධිපතිවරණයේදී සිතා බැලිය යුතුයි.

ඡායාරූපය - විපුල අමරසිංහ

නව අදහස දක්වන්න