උතුරේ සංවර්ධනය | දිනමිණ

උතුරේ සංවර්ධනය

ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම රට පුරා පවතින්නේ වුව; ආණ්ඩුව ගෙන යන සංවර්ධන ක්‍රියාදාමය මොහොතකට හෝ නතර වී නැත. ඊට හොඳ ම නිදසුනක් වන්නේ මේ දිනවල උතුරේ ද විශේෂ සංවර්ධන වැඩ‍කොටසක් ක්‍රියාත්මක වීමය. පෙරේදා යාපනයේ පැවැති උත්සව ගණනාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා තවත් ඇමැතිවරු සහභාගී වූහ. යාපනය නගරයේ නව ගොඩනැඟිලි කිහිපයක් විවෘත විය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයක් ද එහි පැවැත්වේ. අගමැතිවරයා එක උත්සවයක දී කියා සිටියේ යාපනය ශ්‍රී ලංකාවේ වැදගත් ආර්ථික හා සාංස්කෘතික මධ්‍යස්ථානයක් වන බව හා එය නවීකරණයට පත්කරන බව ය.

යුද්ධයට පෙර ද යුද්ධයට පසුව ද යාපනයට දේශපාලන නායකයන් ගියේ කලාතුරෙකින් ය. රටේ සිංහල නායකයන් උතුර මෙන් ම උතුරේ ප්‍රධාන නගරය වූ යාපනය ද අමතක කර දමා තිබිණි. ඇතැම් දේශපාලකයන් උතුරට හා නැ‍ඟෙනහිරට නාමමාත්‍රික සංවර්ධන වැඩසටහන් හඳුන්වා දී තිබුණ ද ‍ඒවායින් උතුරේ ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක් නැත. උතුර බොහෝ විට පැවැතියේ හුදෙකලා ප්‍රදේශයක් ලෙස ය. එහි අධ්‍යාපනය, පරිපාලන මෙන් ම කෘෂිකර්මය ද පැවැතියේ රටේ ප්‍රධාන ආර්ථික ධාරාවෙන් දුරස්ව ය. ඉන්දියාවෙන් ආධාර ලබාගෙන උතුර වෙන ම සංවර්ධනය කළ යුතු යැයි මතයක් දෙමළ දේශපාලකයන් ඉදිරිපත් කළේ එවැනි පසුබිමක් යටතේ ය. වත්මන් ආණ්ඩුව උතුරේ ජනතාවගේ අභිලාස හොඳින් වටහාගෙන ඇති බවත් පෙනෙයි.

අගමැතිවරයා මෙහිදී කියා සිටියේ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ උතුර හා යාපනය දියුණු කරන බව ය. සංචාරක ක්ෂේත්‍රය, අධ්‍යාපනික ක්ෂේත්‍රය, වෙළෙඳාම, කෘෂිකර්මය, රැකියා සම්පාදනය හා ව්‍යවසායකයන් බිහිකිරීම ඒ අතර ප්‍රධාන වෙයි. කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොළ මේ සඳහා උපයෝගී කරගත හැකි ප්‍රධාන ස්ථාන දෙකකි. පලාලි ගුවන් තොටුපොළ හා ඉන්දියාව අතර ගුවන් ගමන් පහසුවෙන් ම ඇති කර ගත හැකි ය. අවශ්‍ය වන්නේ පලාලි ගුවන්තොටුපොළ වැඩි දියුණු කිරීම පමණි. කන්කසන්තුරේ වරාය ද සංචාරක කර්මාන්තය සඳහා උපයෝගී කරගත හැකි ය. යාපනයේ ආර්ථිකය නැංවීම සඳහා ධීවර ක්ෂේත්‍රයට නව ජීවයක් ලබාදිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

යුද්ධයට පෙර යාපනයේ ධීවර කර්මාන්තය ඉතා සාර්ථකව පැවැතිණි. ත්‍රස්තවාදී ක්‍රියා නිසා ද අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා ද, උතුරේ ධීවර කර්මාන්තය බිඳ වැටිණි. ඉනික්බිති ඉන්දීය ධීවරයෝ අපේ මුහුදු කලාපය වැඩි වැඩියෙන් ආක්‍රමණය කරන්නට පටන් ගත්හ. අද යුද්ධයක් නැතත්; ත්‍රස්තවාදයක් නැතත් ධීවර කර්මාන්තය පවතින්නේ පසුගාමී තැනෙක ය. මෙය වෙනස් කිරීම සඳහා රජය පහසුකම් සැපයිය යුතු ව තිබේ. අගමැතිවරයා පෙන්වා දුන්නේ ධීවර කර්මාන්තයට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බව ය. ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත්තේ ධීවරයන්ට ඈත දියඹට යෑමට අවශ්‍ය නව බෝට්ටු ලබාදීම හා මාළු වෙළෙඳ පොළ යාවත්කාලීන කිරීම බව ප්‍රකාශ වී ඇත. යාපනයේ මාළු ඉතා කෙටි කාලයකින් කොළඹට ප්‍රවාහනය කළ හැකි නම්; එය ද ධීවර කර්මාන්තයේ උන්නතියට හේතු වෙයි.

‍යාපනය හැඳින්විය හැක්කේ මෙරට පුරාණ නගරයක් හැටියට ය. ඈත අතීතයේ පවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නුවරක් ලෙස යාපනය පැවැතිණි. මෙරට දෙමළ ප්‍රජාවගේ ප්‍රධාන ආගමික ස්ථානයක් වූ නල්ලූර් කෝවිල ඇත්තේ ද එහි ය. එනම්; යාපනය නගරයට ආසන්නව ය. එය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන සාංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ද සැලැකිය හැකි ය. අතීතයේ දී යාපනය, ත්‍රිකුණාමලය හා අනුරාධපුරය ආර්ථික මධ්‍යස්ථාන ලෙස පැවැති බවට ද ඓතිහාසික සාධක පවතී. දෙමළ ප්‍රජාව කෙරෙහි සැලැකිල්ලක් දක්වන නායකයන් යාපනය නගරය ගැන සිය අවධානය යොමු කළ යුතුව ඇත. යාපනය කේන්ද්‍ර කොටගත් මහ නගර සැලැස්මක් දැන් ක්‍රියාත්මක වෙයි. එහි ඉලක්කය වන්නේ නගරය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම හා උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ය.

උතුරේ තරුණයන් ආයුධ අතට ගෙන එය ලෝකයේ ප්‍රධාන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර ගත්තේ එම ප්‍රදේශවල ඉහළ ගිය දරිද්‍රතාව ඇතුළු තවත් ගැටලු තේමාකරගෙන ය. දකුණේ සිංහල නායකයන් රටේ භෞමික අඛණ්ඩතාව හා ඒකීය රාජ්‍ය පාලනයක් සම්බන්ධයෙන් හඬ නැඟූව ද උතුරට සමාන අයිතිවාසිකම් හා සමාන පහසුකම් ලබාදිය යුතු බව කල්පනා කළේ නැත. මේ තත්ත්වය නිදහසින් පසු දිගින් දිගටම පැවැති බව රහසක් නො වේ. මෙයින් බෙදුම්වාදය වර්ධනය වූවා මිස එය සමහන් වූයේ නැත. අවාසනාවකට මෙන් සිංහල නායකයන් වැඩිදෙනකු තත්ත්වය නිවැරැදිව වටහා ගත්තේ නැත. ඔවුන්ගේ ඉලක්කය යොමුව තිබුණේ දකුණේ සිංහල ඡන්ද ගැන පමණි. ජාතික සමගිය හා සංහිඳියාව විහිළුවට ලක්කිරීමට ඇතැම් නායකයෝ ක්‍රියා කළහ.

අගමැතිවරයා යාපනයේ දී කියා සිටියේ ජාතික ගැටලුවට නීත්‍යානුකූල විසැඳුමක් ලබාදීමට උත්සාහ කළ සෑම අවස්ථාවක් ම ව්‍යවර්ථ වී ගිය බව ය. ඊට හේතු වූයේ ජාතිවාදී හා ආගම්වාදී නායකයන් හා සංවිධාන බලවත් වීම බව පෙනී යයි. එහෙත් වත්මන් ආණ්ඩුව උත්සාහය අත්හැර නැති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ක්‍රමානුකූලව එම තත්ත්වය වෙත ගමන් කරන බව ය. මේ වැඩසටහනේ පළමු පියවර වන්නේ උතුර ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම ය. එම වැඩසටහන බොහෝදුරට සාර්ථක බව පෙනී යයි. ජනතාවගේ ප්‍රතිචාරවලින් ද පෙනී යන්නේ ආණ්ඩුවේ වැඩසටහන් ගැන හොඳ වැටහීමක් සාමාන්‍ය ජනතාවට ඇති බව ය.

උතුරේ ආණ්ඩුකාරවරයා එක්තරා උත්සවයකදී වඩාත් වැදගත් අදහසක් ජනගත කළේ ය. එම අදහසින් කියැවෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සේ ම ජනතාව අතර ප්‍රජාත්නත්‍රවාදය ගොඩනැඟීමටද පියවර ගත යුතු බව ය. පරිධියේ ජීවත්වන ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ය. දකුණට මෙන් ම උතුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ලබාදිය හැකි නායකයා කවුද?

නව අදහස දක්වන්න