පොලිස් ලොක්කන්ට ලියන්ඩ පුළුවන් ද? | දිනමිණ

පොලිස් ලොක්කන්ට ලියන්ඩ පුළුවන් ද?

රන්ජන් අමරරත්න

අපේ පොලිසිය එක් වරක් භාවනාවට යොමු විය. නරක නැත! පොලිසිය දැන් පොත් ලිවීමට යොමු වී ඇත. එහි ද දොසක් නැත. මන්දයත්; භාවනා කිරීමෙන් හා පොත් ලිවීමෙන් රටේ අපරාධ අඩු කළ හැකි බැවිනි.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ‘කළු අධිරාජ්‍යයේ කතාව‘ නම් කෘතිය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී ඇත. එහි අරුමයක් ද නැත. අපරාධ පදනම්කොට ලියැවෙන කෘතිවලට ද, ඒවා ආශ්‍රිතව නිපදවන සිනමා කෘතිවලට ද විශාල ඉල්ලුමක් ලෝකය තුළ පවතී. අපරාධ සම්බන්ධ ප්‍රබන්ධ කතාව ආරම්භ වන්නේ, එංගලන්තයේ සාහිත්‍ය ශානරයක් හැටියට ය. 1930 ගණන් වන විට එය ලෝකය පුරා ඉංග්‍රීසි පාඨකයන් අතර වේගයෙන් ප්‍රචලිත විය. පසුකාලයේදී ‍අමෙරිකන් සාහිත්‍යයේ ජනප්‍රිය ම නවකතා ශානරය ලෙස අපරාධ හා රහස් පරීක්ෂක කතා ඉදිරියට පැමිණියේ ය. අදත් එහි වෙනසක් නැත.

අපරාධ වාර්තාකරණය යනු පුවත්පත් අලෙවියට ද සම්බන්ධ ප්‍රධාන සාධකයෙකි. බරපතළ අපරාධ සම්බන්ධ වාර්තා හා විශේෂාංග වැඩියෙන් පළ කරන තරමට පත්තර අලෙවිය ඉහළ යයි. එය ප්‍රායෝගික සත්‍යයෙකි. ඉන්දියාවේ සන්නිවේදන විද්‍යාර්ථියෙක් වරක් සිය මහාචාර්යවරයාගෙන් අතිශය වැදගත් ප්‍රශ්නයක් විචාලේ ය. ඔහුගේ ප්‍රශ්නය නම්; ‘වට් ඊස් නිව්ස්?‘ යන්න ය. මහාචාර්යවරයාගේ සෘජු පිළිතුර වූයේ; ‘නිව්ස් ඊස් ක්‍රයිම් ඇන්ඩ් සෙක්ස්‘ යන්න ය. පාඨකයන් අතර පවතින අපරාධ පිළිබඳ කතා කියැවීමේ ගිජුකම එයින් පැහැදිලි වෙයි.

ජයකොඩි මහතා සිය කෘතියට පාදක කරගන්නේ 1960 ගණන්වල දී කලත්තෑව නම් ප්‍රදේශයේ දී සිදු වූ අතිශය භයානක අපරාධ පෙළකි. මේ අපරාධ සම්බන්ධයෙන් මහජන අවධානය යොමු වන්නේ, 1970 ගණන්වල දී සිදු වූ නඩු විභාග නිසා ය. අපරාධ කතාවකට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය කලත්තෑවේ සිදුවීම් මාලාව තුළ තිබේ. මිනිස් ඝාතනවල අභිරහස, මංකොල්ලකෑම්, දාමරික ක්‍රියා ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ඊට අමතරව පොලිසිය ඉහත අපරාධ සම්බන්ධයෙන් සිදු කරන රහස් පරීක්ෂක මෙහෙයුම ද සමාජ අවධානයට හා ආකර්ෂණයට ලක්වන කාරණයෙකි. මේ අතින් බලන විට අපරාධ කතාවකට අවශ්‍ය සියලු නිල කර්තෘවරයා විසින් තෙරපා තිබේ.

ලෝක සාහිත්‍යය විමර්ශනය කරන විට අපරාධ කතා රචනා කරන විලාස කිහිපයක් හඳුනාගත හැකි ය.

(I) ප්‍රබන්ධ කතාවක් හෙවත් නවකතාවක් ලෙස රචනා කිරීම.

(II) සිදුවීම් පෙළගස්වා වාර්තා කිරීම.

(III) නඩු විභාග නාට්‍යා'කාරයෙන් ඉදිරිපත් කිරීම.

(IV) ඉහත විලාස තුන ම මිශ්‍රකොට කෘතියක් සම්පාදනය කිරීම.

ප්‍රියන්ත ජයකොඩි මහතා අනුදත් මාර්ගය වන්නේ, වාර්තාකරණය ඔස්සේ කෘතියක් සම්පාදනය කිරීම ය. ඒ සඳහා පුවත්පත් භාෂාව ඔහු යොදාගෙන ඇත. කතුවරයා මේ කතාවට සිරස ලෙස යොදාගෙන ඇත්තේ ‘රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව‘ යන්න ය. එහෙත්, මහජනයා අතර ඉහත අපරාධ වැල ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ ‘කලත්තෑවේ මිනීමැරුම‘ යන ලෙසින් ය. කලත්තෑව යන නම මෙහිලා විශේෂ බව කතුවරයා අමතක කර ඇත.

කලත්තෑවේ අපරාධ පෙළ මහජනයාගේ වැඩි අවධානයකට යොමු වන්නේ, එහි එන ප්‍රධාන සිද්ධි හා අපරාධවලට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරුවන් නිසා යැයි සිතන්නට පුළුවන. මංකොල්ල කෑ වාහනයක් පොළොව යට වළලා දැමීම, සාක්ෂිකරුවන් මරා පුළුස්සා දැමීම ප්‍රධාන සිදුවීම් ලෙස ගත හැකි ය. මංකොල්ල කෑ වාහනයක් මිහිදන් කිරීම සිදු වී ඇති පළමු අවස්ථාව හැටියට ද කලත්තෑවේ සිද්ධිය ගත හැකි ය. එහිලා වැදගත් චරිත වන්නේ සොයිසා දොස්තර, කළු ඇල්බට් හා විලී මාමා යන පුද්ගලයෝ ය. පාඨකයෝ මේ සිද්ධි හා චරිත නැවත - නැවත කියැවීමට පෙලඹෙති.

කතාවක දී සිද්ධියක් නිරූපණය කිරීම අතිශය වැදගත් ය. සිද්ධිය සජීවී ලෙසත්, නාට්‍යාකාර ලෙසත් දැකීමට පාඨකයෝ රුචි වෙති. දක්ෂ පුවත්පත් කලාවේදීහු පවා සිය වාර්තාකරණයට සුදුසු ලෙස නිරූපණය යොදා ගනිති. මේ කෘතියේ නිරූපණයක් ඇත්තේ ම නැත. කතුවරයා සිදුවීම් අපිළිවෙළට වාර්තා කරන අතර, එක ම දේ නැවත - නැවත ලියා තබන අවස්ථා ද තිබේ.

අපරාධ පෙළට සම්බන්ධ ප්‍රධාන චරිත තුන හඳුනා ගැනීමේ කුහුලක් පාඨකයා තුළ තිබේ. චරිතයක් හඳුන්වා දීම සඳහා රචකයන් යොදා ගනු ලබන උපායමාර්ග කිහිපයක් තිබේ.

(I) බාහිර පෙනුම හා හැසිරීම් නිරූපණය කිරීම.

(II) පුද්ගලයා, පරිසරය හා ඔහුගේ සබඳතා දැක්වීම.

(III) චරිතයට අදාළ සංවාද ඉදිරිපත් කිරීම.

(IV) චරිතයේ මානසික වෙනස්වීම් විවරණය කිරීම.

ඉහත සඳහන් එක උපාය මාර්ගයක් හෝ ජයකොඩි මහතා භාවිත කර නැත. කෘතිය ආරම්භ වන්නේ ‘ඇල්ෆ්‍රඩ් සොයිසා කවු ද?‘ යන පරිච්ඡේදයෙන් ය. සොයිසා පිළිබඳ කෙටි විස්තරයක් එහි ඇතත්; ඔහුගේ ස්වාභාවය, හැසිරීම් රටාව, මානසික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් කළ හැකි සාධක හා දත්ත කිසිවක් එහි නැත. කොටින් ම දොස්තර සොයිසා පිළිබඳ මීට වැඩි යමක් පාඨකයා දන්නවා ඇතැ'යි අපට අනුමාන කළ හැකි ය. කළු ඇල්බට් ගැන හෝ විලී මාමා ගැන හෝ ප්‍රමාණවත් විස්තර ද එහි නැත. කලත්තෑවේ සිදුවීම් මාලාව මෙරට පාඨකයා නැවත නැවත කියවා ජීරණය කරගත් අපරාධ කතාවක් බව කතුවරයාට අමතක වී ඇත.

දක්ෂ රචකයා සිදුවීම්වලට අදාළ පරිසරය හා පසුබිම නිරූපණය කිරීමෙන් ද, පුද්ගලයන්ගේ මානුෂීය සබඳතා විවරණය කිරීමෙන් ද සිය කතාව පරිපූර්ණ කර ගනී. ජයකොඩි මහතා මේ කතාවට අදාළ පරිසරය හා පසුබිම අමතක කර ඇති බවක් පෙනෙයි. නිදසුනක් ගතහොත්; කලත්තෑව කෙබඳු ප්‍රදේශයක් ද, සොයිසාගේ ගොවිපොළ, සොයිසාගේ නිවෙස කෙබඳු ස්ථාන ද යන්න නිරීක්ෂණය කිරීමට ඉඩ තිබිණි. ඒවා ගොඩනැඟිය හැකි එක් විලාසයක් වන්නේ තාර්කික උපකල්පනය යි. ලේඛකයකුගේ කාර්ය-භාරයට ඒවා ද ඇතුළත් ය. කතුවරයා පරිපූර්ණ කතාවක් ගොඩනැඟීමට උත්සාහ දරා නැත. එහෙත් පාඨකයෝ මෙබඳු කෘතියකින් පුවත්පත් වාර්තාවකට වැඩි දෙයක් අපේක්ෂා කරති. 1970 ගණන්වල පළවූ පුවත්පත් වාර්තාවලින් කලත්තෑව සිදුවීම් මාලාව පිළිබඳ මීට වැඩි යමක් උකහාගත හැකි බව අපගේ පිළිගැනීම ය.

ජයකොඩි මහතාගේ කෘතියෙහි ඇති එක් වැදගත් ලක්ෂණයක් ගැන සඳහන් කළ යුතු ය. ‍එම වැදගත් ලක්ෂණය සාධක තුනක් ඔස්සේ පැහැදිලි කළ හැකි ය. එක; සිදුවීම්වලට අදාළ දින හා වකවානු නිවැරැදි ලෙස දැක්වීම ය. දෙක; අපරාධ පරීක්ෂණය සිදු වූ ආකාරය හා ඊට සම්බන්ධ නිලධාරීන් ගැන ද තොරතුරු දක්වා තිබීම ය. තුන; සිදුවීම් මාලාවට සම්බන්ධ දුර්ලභ ඡායාරූප ගණනාවක් කෘතියට ඇතුළත් කර තිබීම ය. ඒ හැර වෙනත් අමුත්තක් මේ පොතෙන් ප්‍රකට වන්නේ නැත.

ප්‍රියන්ත ජයකොඩි මහතා සිය කෘතිය සඳහා සරල භාෂා ශෛලියක් යොදාගෙන ඇත්තේ වුව; එහි අවුල් ගණනාවක් තිබේ. ඇතැම් තැනෙක වියරණය වැරැදි ය. තව තැනෙක වාක්‍ය ගැළපීම වැරැදි ය. තවත් තැනෙක දී කතුවරයා කියන දේ පාඨකයාට නො වැටහේ.

‘කරුණාරත්න සහ පියදාස යන දෙදෙනා ද වරාවැවට පැමිණ සිටියේ ය.‘

(පිටුව - 43)

‘රාත්‍රියේ 11.30 ට පමණ සිය ලෑන්ඩ් රෝවර් රථය පදවාගෙන සොයිසා ආපසු ඔහුගේ කාර්යාලයට පැමිණෙන ලදී.

(පිටුව - 85)

පොලිස් ඔත්තුකරුවන් රාශියක් ද කලත්තෑව හා අනුරාධපුර ප්‍රදේශය තුළ බිහිව සිටියහ.

(පිටුව - 116)

උක්ත - ආඛ්‍යාත සම්බන්ධය බැහැර කිරීමෙන් ද, කර්තෘකාරක කර්මකාරක වාක්‍ය රටා පටලවා ගැනීමෙන් ද පෙනී යන්නේ ජයකොඩි මහතා සිංහල භාෂාවේ සම්ප්‍රදායට පා පහරක් දෙන බව ය. පොලිස්කාරයකුට වුව භාෂාවේ සම්ප්‍රදායට පයින් ගැසීමට ඉඩක් නැත.

‘කෙසේ වෙතත් අවසානයේ දී සොයිසා අතින් ඝාතනයට ලක් වූ පී. කේ. ඩී. පෙරේරාගේ මරණයට මුල් වූයේ ද 'කේම්බ්‍රිජ් රථය' වරාවැව සිට කලත්තෑවට ගෙනඒමේ මාරක ගමන සඳහා සොයිසා විසින් පී. කේ. ඩී. පෙරේරාව ම තෝරාගෙන තිබීම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැක.‘

(පිටුව - 45)

ඉහත ඡේදයේ වාක්‍ය නිසි ලෙස ගැළපී නැත. කතුවරයාගේ අදහස පාඨකයා වෙත නිවැරැදි ව සන්නිවේදනය වන්නේ නැත. මෙබඳු ඡේද කිහිපයක් ම පොතෙන් උකහා ගත හැකි ය. අපරාධ කතා සඳහා යෝග්‍ය වන්නේ නිරවුල් කෙටි වාක්‍ය සහිත වේගවත් ශෛලියකි. කතුවරයා ඒ බව හඳුනාගෙන නැත. කෙසේ වුව, ප්‍රබන්ධ කථාවට පමණක් නො ව; ඕනෑ ම කතාවකට ආකර්ෂණීය භාෂාවක් අවශ්‍ය වෙයි. මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ්ගේ කියමනකින් ඒ බව තව දුරටත් සනාථ කළ හැකි ය.

‘ඔබ වාක්‍ය ගැන දන්නේ නම්; සියල්ල දැනගත්තා වෙයි. හොඳ වාක්‍යයක් හැම විට ම ලෝකය පිළිබඳ පාඩමක් හා අභ්‍යාසයක් ලෙස පවතී‘

(මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් - හව් ටු රයිට් අ සෙන්ටන්ස්)

අපරාධ කතා ලියන ලේඛකයන්ගේ භාෂාව හැම විට තියුණු ය. සරල ය. වේගවත් ය. එලෙස ම පරිපූර්ණ ය. අපරාධ සාහිත්‍ය පිළිබඳ විමර්ශනය මේ වන විට අලුත් ජවයකින් ක්‍රියාත්මක වන බව ලෝක සාහිත්‍ය දෙස බලන විට ද, ලෝක පත්තර කලාව දෙස බලන විට ද පෙනී යයි. විවිධ ගණයට වැටෙන අපරාධ හැඟුම්බර ව වාර්තා කිරීම සඳහා පුවත්පත් කලාවේදීන් හා ලේඛකයන් භාෂාවේ විවිධ ඉසව් කරා යොමුවන බවක් ද පෙනෙන්නට තිබේ. සිංහල රහස් පරීක්ෂක කතා ශානරයේ ප්‍රකට පුද්ගලයා වූ ඩීමන් ආනන්ද පවා භාෂාව ගැන බෙහෙවින් පරිස්සම් විය. ජය‍කොඩි මහතා භාෂාව නොසලකා හැරීම බරපතළ වරදකි.

මෙබඳු කෘතියක් රචනා කරන ලේඛකයා ක්ෂේත්‍ර දෙකක අධ්‍යයන හා පර්යේෂණ සිදුකළ යුතු යැයි කිව හැකි ය.

(I) මූලාශ්‍ර අධ්‍යයනය කිරීම.

(II) රචනා විලාස අධ්‍යයනය කිරීම.

මූලාශ්‍ර අධ්‍යයනය කළ යුත්තේ තොරතුරු හා දත්ත නිවැරැදි ව ලබාගැනීමට ය. එලෙසම අදාළ සිද්ධි හා චරිත පිළිබඳ ගොඩනැඟී ඇති සමාජ මතවාද නිරීක්ෂණය කිරීමට ය. මේ කාර්යය ප්‍රියන්ත ජයකොඩි මහතා අතින් ඉටු වී ඇතැ'යි සිතන්නට පුළුවන. ප්‍රශ්නය ඇත්තේ දෙවන අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළව ය. කෘතියේ ආකෘතිය, රචනා විලාසය, ඉදිරිපත් කිරීම, දෘෂ්ටිකෝණය ආදී සියල්ල කතුවරයා තීන්දු කළ යුතු ය. මේ කෘතිය ප්‍රබන්ධ කතා විලාසයෙන් රචනා වූයේ නම්; ලේඛකයාට මීට වඩා ආකර්ෂණීය කතාවක් ගොඩනඟන්නට ඉඩහසර තිබිණි. එහෙත්, රචකයා තෝරාගෙන ඇත්තේ වාර්තාකරණ විලාසය යි. එම විලාසය වුව නිර්මාණශීලී නැත.

හිටපු ‍මහේස්ත්‍රාත්වරයකු වූ සමන් වික්‍රමාරච්චි මහතාගේ සම්මානනීය නවකතාවක් වූ ‘අප්පච්චී ඇවිත්‘ නම්; ප්‍රබන්ධයට තේමා වී ඇත්තේ ද අපරාධ පෙළක් පිළිබඳ සිද්ධි මාලාවකි. මේ නවකතාවේ දී නඩු විභාග නිරූපණය කරනු ලැබේ. එයින් පාත්‍ර වර්ගයා හා ඔවුන්ගේ මානුෂික සබඳතා පිළිබඳ අපූරු වැටහීමක් පාඨකයාට ලබාගත හැකි ය. ජයකොඩි මහතා නඩු විභාග කෙරෙහි අවධානයක් යොමු කර නැත. ඔහු ඒ සම්බන්ධයෙන් ලබා දෙන විනිශ්චය වන්නේ එය ආකර්ෂණීය හා වැදගත් නඩු විභාගයක් යන්න පමණි. පාඨකයාට එයින් පලක් නැත.

මගේ මතකය නිවැරැදි නම්; ඉහත කෘතිය ජනගත කරන උත්සවයේ දී කතුවරයා අපූරු කතාවක් කළේ ය. එම කතාවේ එක අදහසක් වූයේ, තමාගේ කෘතියෙන් පොලිස්කාරයන්ට ලියන්නට හැකි බව සනාථ කරන බව ය. තව අදහසක් වූයේ, තමන් විශ්‍රාම ගැනීමෙන් පසු තවත් පොත් ලියන බව ය. පොත කියවාගෙන යන විට පෙනී යන්නේ, කතුවරයාගේ පළමු අදහස සනාථ නො ව; අනාථ වී ඇති බව ය. ඔහුගේ දෙවන අදහස සම්බන්ධයෙන් කිව හැක්කේ, කල්පනාවෙන් පොත් ලියන්න යන්න ය.

නව අදහස දක්වන්න