දික්වැල්ලට කැරීබියානු ප්‍රිමියර් ලීග් තරග බිමට අවසර නෑ | දිනමිණ

දික්වැල්ලට කැරීබියානු ප්‍රිමියර් ලීග් තරග බිමට අවසර නෑ

ෆවුස් මොහොමඩ්

තිසර පෙරේරාත් යළි ගෙන්වයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (CPL) සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ඒ සඳහා අවසර නොදීමට (No Objection Letter) ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මීට අමතරව එම තරගාවලියට ක්‍රීඩා කිරීමට ගිය තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ද නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබියදී ඒ සඳහා වන සංචිතයට ඇතුළත් වන ක්‍රීඩකයන් සිය කැමැත්තෙන් එම සංචාරයෙන් ඉවත්වූවත් ඔවුන්ට වෙනත් විදෙස් තරගාවලි සඳහා අවසර ලබා නොදීමේ ක්‍රිකට් ආයතන ප්‍රතිපත්තියට අනුව මේ තීරණය ගත් බව ‘දිනමිණ‘ කළ විමසුමකදී ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

පාකිස්තාන සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් තිස් දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කළ බවත්, නිරෝෂන් දික්වැල්ල සහ තිසර පෙරේරා ද එම සංචිතයට ඇතුළත් වන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය. පාකිස්තාන සංචාරයෙන් ඉවත්වූ ක්‍රීඩකයන් අතරට දික්වැල්ල සහ තිසර පෙරේරා ද ඇතුළත් වෙති.

‘අපි ක්‍රීඩකයන් තිස් දෙනාගේ සංචිතය තෝරා ගත්තා. ඊට දික්වැල්ලත්, තිසරත් ඇතුළත් වෙනවා. ඔවුන් පාකිස්තාන සංචාරයෙන් ඉවත්වුණත් ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තියට අනුව විදෙස් සංචාරයක් නියමිතව තිබියදි එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන්ට වෙනත් පෞද්ගලික විදෙස් සංචාර සඳහා අනුමැතිය දෙන්නේ නෑ. ඒ අනුවයි දික්වැල්ලට අනුමැතිය ලබා නොදුන්නේ.’ ඔහු කීවේය.

එසේ වුවත් මේ වනවිටත් සී.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටින තිසර පෙරේරාට ක්‍රිකට් ආයතනය විසින් ඒ සඳහා අවශ්‍ය අවසරය මීට පෙර ලබා දී තිබිණ.

‘තිසරට ඒ අවසරය දුන්නේ ඔහු නවසීලන්ත තරගාවලියට නම් කර නොතිබුණු නිසයි.ඒ වගේම එම අනුමැතිය ලබා දුන්නේ ශ්‍රී ලංකා පිලේ ඉදිරි සංචාරයක් එළැඹෙන්නේ නම් ඒ දක්වා කාලය තුළ පමණක් වන බවට කොන්දේසියක් ඇතුළත්වයි. දැන් පාකිස්තාන සංචාරයට නම් කළ සංචිතයට ඔහු ඇතුළත් වෙනවා. ඒ නිසා පාකිස්තාන සංචාරයට ඔහු ගියත් නැතත් එම අවසරය අවලංගු කර ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වන්න සිදුවෙනවා. ඔහු මේ මස 15 හෝ 16 ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි.’ ප්‍රධාන විධායක නිලධාරිවරයා කියා සිටියේය.

තවත් තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ඉසුරු උදාන ද කැරීබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත් පාකිස්තාන සංචාරයට නම් කළ සංචිතයට ඔහු ද ඇතුළත් වන බැවින් එම තරගාවලියෙන් ඉවත්විය. කෙසේ වෙතත් පාකිස්තාන සංචාරයෙන් ඉවත්වූ ක්‍රීඩකයන් දස දෙනා අතරට ඉසුරු උදාන ඇතුළත් නොවේ.

නව අදහස දක්වන්න