ගේල්ගේ ශතකය අපතේ යයි | දිනමිණ

ගේල්ගේ ශතකය අපතේ යයි

බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේදී ප්‍රවේගකාරි පිතිකරු ක්‍රිස් ගේල් රැස්කළ විශිෂ්ට ශතකය අපතේ යවමින් සාන්ක කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියට්ස් පිල හමුවේ ජැමෙයිකා තලාවාස් පිල කඩුලු 4කින් පරාජයට පත්විය‍.තරගයේ පළමුව පන්දුව පහරදුන් ජැමෙයිකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 241ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය සාන්ත කිට්ස් පිල පන්දු 7ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය. මෙය ඕනෑම විස්සයි20 තරගයක හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. විස්සයි20 තරගයක හඹාගොස් ජයගත් ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේ නවසීලන්තයට (243) එරෙහිව ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 245යි.

සාන්ත කිට්ස් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් එවින් ලුවිස් සහ ඩෙවෝන් තෝමස් පළමු කඩුල්ලට ලකුණු 85ක් එක් කළේ පන්දු 33කිනි. පන්දු 17කින් අර්ධ ශතකය රැස්කළ ලුවිස් ලකුණු 53කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. හතරේ පහර 3කින් සහ හයේ පහර 6කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. තෝමස් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 40කින් ලකුණු 71ක් ඉනිමට එක් කළේය.

පළමුව පන්දුවට පහරදුන් ජැමෙයිකා ඉනිමේදී වේගවත් පිතිහරඹයක නිරතවූ ක්‍රිස් ගේල් පන්දු 62කින් ලකුණු 116ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 7ක් සහ හයේ පහර 10කින් ඉනිම අලංකාර කරගත් ඔහු, චැඩ්වික් වෝල්ටන් සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 79කින් ලකුණු 162ක් රැස් කළේය. ගේල් රැස්කළ 22 වැනි විස්සයි20 ශතකය මෙය වූ අතර හතරේ පහර 3ක් සහ හයේ පහර 8ක් සමගින් ලකුණු 73ක් රැස්කළ වෝල්ටන් වැය කළේ පන්දු 36ක් පමණි.

මේ තරගයේදී හයේ පහර 37ක් එල්ලවූ අතර එය විස්සයි20 පිටියේ තරගයක වැඩිම හයේ පහර සංඛ්‍යාව සම කිරීමක්ද විය.

නව අදහස දක්වන්න