වලව සුපර්ක්‍රොස් 22 දා ඇඹිලිපිටිය සෙවණගල දී | දිනමිණ

වලව සුපර්ක්‍රොස් 22 දා ඇඹිලිපිටිය සෙවණගල දී

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු රෙජීමේන්තුව විසින්, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව හා ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධාන කරන වලව සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය මේ මස 22 වැනිදා ඇඹිලිපිටිය සෙවණගල ක්‍රාෆ්ට්මන් ඕටෝඩ්‍රොම් ධාවන පථයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු රෙජීමේන්තුව තම සොල්දාදුවන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් නවවැනි වරටත් සංවිධාන කරන මේ තරගාවලිය මෝටර රථ තරග ඉසව් 11ක් සහ යතුරුපැදි තරග ඉසව් 13කින් සමන්විතය.

මෙරට සිටින ප්‍රවීණ මෝටර් රථ ධාවකයන්ගේ විශේෂඥ දැනුම මත මීටර් 1700 ක දුර ප්‍රමාණයකින් හා පළල මීටර් 30 කින් සමන්විත මෝටර් රථ හා යතුරුපැදි ධාවන පථය ප්‍රධාන හැරවුම් 5කින් සමන්විත වන පරිදී නිර්මානය කර ඇත. මේ ධාවන පථයේ පළමු තරගාවලිය 2011 වසරේදී පවත්වන ලදී. අඛණ්ඩව නව වැනි වරටත් සංවිධාන වන මෙම තරගාවලිය වසරින් වසර නවීකරණය වූ තරගාවලියක් ලෙස මෙරට මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩයකයන් වෙත නව අත්දැකීමක් එක් කීරීමට සමත්ව ඇත.

මේ වසරේදී ද ක්‍රාෆ්ට්මන් ධාවන පථය මෙරට ඇති හොඳම බොරලු (Gravel) ධාවන පථය ලෙස නවීකරණය කර ඇති බව පසුගියදා කොළඹ කිංස්ග්බරි හෝටලයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී වත්මන් ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු බළකාධිපති හා ශ්‍රී ලංකා යුද හමුදා මුලස්ථානයේ විනිමය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ‍මහතා පැවැසීය. රට දැය වෙනුවෙන් ජීවිත පුජාකළ සහ ආබාධිත තත්වයට පත් විරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සුභ සාධනයත්, දැනට සේවය කරන රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනයත්, රෙජීමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධන උදෙසාත් අවැසි මූල්‍ය ප්‍රතිපාදන උපයා ගැනීමේ අරමුණින් මේ තරගාවලිය සංවිධාන කරයි.

මෝටර් රථ ක්‍රීඩාවට ඇලුම් කරන ආධුනික ක්‍රීඩකයන්ට විවෘත අරාධනයක් සමගින් මාධ්‍ය හමුව ඇමැතු ප්‍රවීණ මෝටර් රථ ධාවක, යුද හමුදා මෝටර්ර රථ ක්‍රීඩා සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාව මේ වනවිට මෙරට ප්‍රදේශ කිහිපයක් ආවරණය වන ලෙස මෝටර් රථ ක්‍රීඩාව පවත්වාගෙන යන අතර ආධනිකයන්ට හිමිවූ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විනය ගරුක ක්‍රීඩකයකු ලෙස යුද හමුදාව සමග එක්ව ක්‍රීඩා දිවියේ දිගු ගමනක් යෑමට එක්වන ලෙස ආරාධනා කර සිටියේය. මේ මස 13, 14 හා 15 තෙදින වලව සුපර්ක්‍රොස් ක්‍රීඩකයන්ට පුහුණු වීම් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් එම දිනවල හෝ අනෙකුත් තරගාවලි සංවිධාන වන අවස්ථාවක හෝ යතුරුපැදියක් ඇතිව හෝ නැතිව පැමිණ යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් හමුවී තමන්ගේ දක්ෂතාවයන් ගැන එම නිලදාරීන් දැනුවත් කොට අප හා එක්වන ලෙස කියා සිටියේය.

මෙවර තරගාවලිය අන්තර්ජාතික මට්ටමින් සංවිධාන කර ඇති බවත් ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 2.5 ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් සමරකෝන් මහතා පැවැසීය. තරගාවලිය නැරැඹීමට එන ක්‍රිඩා ලෝලින්ට තමන් මිලදි ගන්නා ප්‍රවේශපත්‍රයට දිනුම් ඇදීම් මගින් ත්‍යාග ලබාදීමට සංවිධායකයන් සැලැසුම් කර ඇත.

ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමයේ උප සභාපති ප්‍රවීණ මෝටර් රථ ධාවක සුරංජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් දැක්වීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති ස්මයිල් ඔස්මාන්, ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ සභාපති හා ඉදිරිනඩත්තු ප්‍රදේශය නැඟෙනහිර සේනා විධායක මේජර් ජෙනරාල් අයි.ඕ.වසන්ත මාදෝල මහත්වරු සමගින් අනුග්‍රාහක ආයතන නියෝජනය කරමින් ආරාධිතයන් රැසක්ද එක්ව සිටියහ. මේ තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොස්වේ පේන්ට් ලංකා (පුද්ගලික) සමාගම කටයුතු කරන අතර සියැට් කැලණි ටයර් සමාගම හා හච් ටෙලිකොමිනිකේෂන් විශේෂ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

නව අදහස දක්වන්න