විධිමත්ව කසළ බැහැර කරන පළාත් පාලන ආයතන අතරින් මොරටුවට ප්‍රමුඛ තැන | දිනමිණ

විධිමත්ව කසළ බැහැර කරන පළාත් පාලන ආයතන අතරින් මොරටුවට ප්‍රමුඛ තැන

දිරන නොදිරන කසළ නිවාසේදී ම හොඳින් වෙන්කර කරදියාන කසළ අංගනයට රැගෙනවිත් මුදාහැරීම සිදු කරන විශිෂ්ටතම පළාත් පාලන ආයතන අතර මොරටුව සිටින්නේ පළමු තැන බවත්, හෝමාගම, කෝට්ටේ, මහරගමත් ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා පසුගිය දා පැවසීය.

කරදියානට කසළ මුදා හරින පළාත් පාලන ආයතන හත කසළ නිසි කළමනාකරණයකට යොමුවීම වැදගත් බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

පළාත් පාලන ආයතන මඟින් එකතු කරන කැළි කසළ වර්ගීකරණය කිරී‍මේ දී දිරන අපද්‍රව්‍ය වෙන් කර ලබාගත හැකි සීමාව සියයට හැත්තෑවක් බව සඳහන් කරන ඒ මහතා මොරටුව මහනගර සභාව සියයට හැටතුනක් ලෙස කැළි කසළ වර්ගීකරණය කර කරදියානට මුදාහරින බව පැවසීය.

හෝමාගම ප්‍රාදේශීය සභාව ජනතාවගෙන් කසළ ගෙන ඔවුන්ම වර්ගීකරණය සිදු කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවද සඳහන් කරන ඒ මහතා මොරටුවේ නිවාසවලින් ම කසළ වර්ගීකරණය කරවන බව පැවසීය.

මහරගම සියයට පනස් හතරක් ලෙසත්, කෝට්ටේ සියයට පනස් දෙකක් ලෙසත්, වඩා පළාත් ඵලදායි කසළ වර්ගීකරණයක් කර ඇති බව වසූ අධ්‍යක්ෂවරයා අනෙකුත් පළාත් පාලන ආයතන මෙය පූර්වාදර්ශයක් කරගැනීම වැදගත් බවද පැවසීය.

මොරටුව මහ නගර සභාව සහ මොරටු ජනතාව මෙන්ම මේ කටයුතු නිසි ලෙස සිදු කරන සේවකයන් පරිසරය රැකීමට ලබාදෙන සහාය අ‍ගේ කරන බව නලීන් මහතා කියා සිටියේය.

මොරටුවට, හෝමාගම මෙන්ම කෝට්ටේ මහරගම ජනතාව ද පරිසරය රැකීමට ලබාදෙන සහාය අගේ කරන බව කී ඒ මහතා කැස්බෑව, බොරලැස්මුව නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහ නර සභාවන් ද කසළ වර්ගීකරණයෙන් ළඟදීම ඉහළට පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

විධිමත් ලෙස කසළ වර්ගීකරණයට පුරපතිවරුන්ගේ කැපවීම ප්‍රබලව බල පැවැත්වෙන බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මෙන්ම හෝමාගම, කෝට්ටේ, මහරගම පුරපතිවරු කළ කැපවීම අගයන බවද පැවසීය.

ඉකුත් මාර්තු මාසය වන විට මහරගම නගර සභාව කළ වර්ගීකරණයෙන් සියයට දහතුනේ ඍණ මට්ටමේ සිටි බවද පෙන්වා දුන් ඒ මහතා දැනුවත් කිරීමේ වැඩසටහන් සමඟ ඔවුන් සියයට පනස් හතරක් ලෙස ශීඝ්‍ර වර්ධනයක් සිදු කළ බවද පැවසීය.

කෙසේ වූවද තරගකාරීත්වය වටිනා පරිසරයක් ගොඩනඟා ඇති බව පැවසූ ඒ මහතා ඉදිරියේ දී ඉහළින් සිටින පළාත් පාලන ආයතන ඇගයීමකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මොහොමඩ් ඉම්තියාස් - මැ‍දකොළඹ විශේෂ 
ඡායාරූපය - මොහොමඩ් ඉමිතියාස් 
මැදකොළඹ විශේෂ

 

නව අදහස දක්වන්න