රත්නපුර-බලංගොඩට නායයෑම් අවදානමක් | දිනමිණ

රත්නපුර-බලංගොඩට නායයෑම් අවදානමක්

උදුලා පීරිස්

පවතින අධික වැසි තත්ත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත. නායයාම් පූර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතු වල යෙදීමෙන් වලකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.

තමන් ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබඳ එමෙන්ම ගොඩනැඟිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය.

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ. හදිසි ආපදා තත්ත්වයන් දුරකථන අංක 117 ‍මගින් දැනුවත් කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්අපේක්ෂා කල හැකි බව එම දෙපාර්තමේන්තුව අනාවරනය කරයි.

සෙසු පළාත්වලතැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇති වන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නව අදහස දක්වන්න