සාගරයේ සම්මුතිගත බල අධිකාරිය | දිනමිණ

සාගරයේ සම්මුතිගත බල අධිකාරිය

භෞමික සමුද්‍ර තීරය පිළිබඳ සලකා බලන කල, කෙතරම් දුරට සහ කුමන සාධක මත මුහුදු තීරය මත භෞමික ස්වෛරීයත්වය ව්‍යාප්ත කළ යුතුද යන්න මතභේදයට ලක් වූ කරුණකි. 1930 දී පැවැත්වූ හේග් සංගෘහිත කිරීමේ සමුළුව (Hague Codification Convention) ස්වෛරීයත්වය පිළිබඳ මූලධර්මයට පක්ෂපාතීව පවත්වන ලද අතර මෙම යෙදුම, 1958 භෞමික සමුද්‍ර තීරය සහ පොදු සමුද්‍ර කලාප සම්බන්ධයෙන් වන ජිනීවා සම්මුතියේ දී යොදා ගන්නා ලදී. එහි දී රාජ්‍යයක ස්වෛරීයත්වය ගොඩබිම් පාලන ප්‍රදේශයෙන් ඔබ්බට විහි දී යන අතර එහි අභ්‍යන්තර මුහුද, යාබද වෙරළ තීරය දක්වා භෞමික සමුද්‍ර තීරය ලෙස විහි දී යන බව දක්වයි. මෙම ස්වෛරීයත්වය, මෙම වගන්තිවල දැක්වෙන ප්‍රතිපාදන සහ අන්තර්ජාතික නීතියේ රීතීන්ට අනුව ක්‍රියාත්මක වෙයි. 1982 සම්මුතිය ද බොහෝ දුරට එම පාරිභාෂිකයම යොදාගෙන ඇත. අවසානයේ දි 1982 සම්මුතිය මඟින් සෑම රාජ්‍යයකටම නාවික සැතපුම් 12 ක් නො ඉක්මවන සීමාවක් දක්වා පුළුල් භෞමික සමුද්‍ර තීරයක් සඳහා ඇති අයිතිය පිළිගෙන ඇත. ගොඩබිම වටා ඇති සාගරයේ වසත් සමයේ ඇතිවන සාමාන්‍ය උදම් රළක පහළ ජල සීමාව මෙම සැතපුම් 12 මැනීමේ පාදක රේඛාව වේ. අන්තර්ජාතික නාවික කටයුතු සඳහා සමුද්‍ර සන්ධිවල දී ප්‍රයෝජනයට ගත හැකි, සංක්‍රමණික ප්‍රවේශ මාර්ග පිළිබඳ ප්‍රතිපාදන ද මෙම සම්මුතියට ඇතුළත් කර ඇත.

නිර්ණායක

ප්‍රතිවිරුද්ධ රාජ්‍ය හෝ යාබද සාගර වෙරළ සමඟ රාජ්‍ය සීමා නිර්ණය කිරීමේ නිර්ණායක මෙම සම්මුතියේ 15 වන වගන්තියෙන් දක්වා සිටී. මෙම වගන්තිය රාජ්‍යයට දක්වා සිටින්නේ, පාදක රේඛාවේ ආසන්නතම ස්ථානයේ සිට සමාන දුරකින් සෑම ලක්ෂ්‍යයක් ම පිහිටන පරිදි එකගතාවට එළඹීමෙන් හෝ නැතිනම්, මධ්‍ය හෝ අංශ රේඛාවක් මඟින් සීමාංකනය කර ගත යුතු බවයි. ලංකාව හා ඉන්දියාව අතර භෞමික සමුද්‍ර තීරය දෙරට අතර ඇති කරගත් එකගතාවක් අනුව සීමා නිර්ණය කර ඇත.

අන්තර්ජාතික නීතිය මඟින් පිළිගන්නා නිර්දෝශී ප්‍රවේශය (Innocent Passage) තුන්වන රාජ්‍යයකට මෙම සමුද්‍ර කලාප හරහා ගමන් කිරීමට ලබා දී ඇති අයිතියක් හා වරප්‍රසාදයක් වන අතර වෙරළබඩ රාජ්‍යයේ නෛතික අධිකාරියට යටත් වේ. නිර්දෝශී ප්‍රවේශයේ අයිතිය භෞමික සමුද්‍ර තීරය හා පොදු කලාප සම්බන්ධයෙන් වන 1958 ජිනීවා සම්මුතියට ඇතුළත් කර තිබූ අතර, සාගර නීතිය සම්බන්ධයෙන් වන 1982 සම්මුතියට ද ඇතුළත් කර ඇත. නිර්දෝශී ප්‍රවේශය සම්බන්ධයෙන් වෙරළබඩ රාජ්‍යයන් පිළිගත යුතු නීති-රීති මෙම සම්මුතියෙහි විශේෂයෙන් දක්වා තිබේ. එහි දී ප්‍රධාන වශයෙන් නාවික කටයුතුවල ආරක්ෂාව, සාගර ජීවී සම්පත් රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිත කරුණු, ධීවර නීතිවල අභිවර්ධනය ආරක්ෂා කිරීම හා රාජ්‍යයේ පවතින චාරිත්‍ර පොදු ආදායමක් ගෙන දෙන හෝ සනීපාරක්ෂක කටයුතුවලට අදාළ නීති රීතීන්ට බාධා කිරීමට ඇති අයිතිය වළක්වාලීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව දක්වයි.

සිවිල් හා අපරාධ අධිකරණ බලය

භෞමික මුහුදු තීරය රාජ්‍යයේ ස්වෛරීයත්වය යටතට ගැනෙන බැවින් මෙම කලාපය සම්බන්ධ නීති සම්පාදනය කිරීම හා එම කලාපය තුළ එම නීති උල්ලංඝනය කරන විශේෂ නැව් හා නැව් කටයුතු පිළිබඳ සිවිල් හා අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව එම රාජ්‍යයට ඇත. රාජ්‍යයන් විශේෂ යාත්‍රා සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ එහි නීතිය අනුව විධිමත් ගිවිසුමකට එළඹ තිබෙන්නේ නම් පමණි. චාරිත්‍රානුකූල අන්තර්ජාතික නීතියේ රීතියක් වන්නේ, නැවෙහි නීතිය, එය දරන කොඩිය රැගත් රාජ්‍යය මඟින් පාලනය වන බවයි. 1982 සම්මුතියේ 94 වගන්තිය මඟින් මෙම මූලධර්මය ඇතුළත් කර ඇත. එයින් කියැවෙන්නේ ගැඹුරු මුහුදේ තම ධජය රැගත් නැවක් ගමන් කරන විට රාජ්‍යයට එම නැව මෙහෙයවීමට, පාලනය කිරීමට හා තාක්ෂණික හා සමාජීය කටයුතු තම නීතිය යටතේ ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවයි. ධජය නියෝජනය කරන රාජ්‍යයට එසේ ගැඹුරු මුහුදේ දී සම්පූර්ණ අධිකරණ බලය තිබුණ ද වෙනත් රාජ්‍යයක භෞමික සමුද්‍ර තීරයකට ඇතුළු වූ විට එම රාජ්‍යයේ නීති අනුගමනය කිරීමට බැඳී සිටී. එම නිසා එම නීති උල්ලංඝනය කළහොත් වෙරළබඩ රාජ්‍යයේ අධිකරණ බලයට යටත් වේ.

අන්තර්ජාතික නීතිය

ගැඹුරු මුහුදේ දී සිදු කරන මුහුදු කොල්ලකෑම අන්තර්ජාතික නීතිය අනුව අපරාධයක් වන අතර දේශීය අධිකරණ කලාපයක් තුළ සිදු කරන එවැනි අපරාධ මෙම සම්මුතිය මඟින් ආවරණය නොකෙරේ. එම නිසා සියලු මුහුදු කොල්ලකෑම් හා එසේ කොල්ලකෑම්වලට නැඹුරු වීම්, දේශීය නීති මඟින් අපරාධ වගකීමට ලක් කිරීමේ අවශ්‍යතාව පවතී.

මෙම සම්මුතියෙහි ක්‍රියාත්මකභාවය ගත් කල, දියුණු තාක්ෂණික ක්‍රමවල හිඟකම හේතුවෙන්, අන්තර්ජාතික මුහුදු පත්ල පිළිබඳ අධිකාරියට ප්‍රමාණවත් පරිදි කාර්යයන් ඉටු කිරීමට නොහැකි වී ඇති බව පෙනේ. රාජ්‍යයන් විසින් ගෙනෙන තරගකාරී ඉල්ලුමට මුහුණ දෙමින් විශ්වීය ලෙස හා සමානාත්මතාවයෙන් යුතුව සමුද්‍ර සම්පත් බෙදා හැරීම සම්බන්ධ කාර්යයන් සිදු කිරීම මේ වන විටත් සිදු වී නොමැත. සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම හා කළමනාකරණය කිරීම දීර්ඝකාලීනව ක්‍රියාත්මක කර නැත. මෙම සම්මුතිය පමණක් නොව අනෙකුත් සම්මුති ද ඉදිරිපත් කර ඇති යුතුකම් හා බැඳීම් ඉටු කිරීමට බොහොමයක් රාජ්‍ය ද අසමත් වී ඇත.

විශේෂයෙන් ගැඹුරු මුහුදේ සිදු කරන අනවසර ධීවර කටයුතු, තල්මසුන් වැනි විශේෂ මත්ස්‍ය ප්‍රභේද ඇල්ලීම, තහනම් ධීවර ක්‍රම යොදා ගැනීම, අනෙකුත් සියලූ ආකාරයේ ස්ථාවර ධීවර කර්මාන්තයක් සඳහා වන ආර්ථික පද්ධතිය නැති කිරීමට හා මත්ස්‍ය ගහණයට බාධා පමුණුවන ක්‍රියා දැඩි ලෙස තහනම් කරන නීති මෙයට ඇතුළත් වේ.

මෙම සුළු දුර්වලතා හැරුණු විට සම්මුතිය මඟින් සාගරය තුළ බල අධිකාරියක් ගොඩනැංවීමට සමත් වී ඇත. එහි දී, රාජ්‍ය අධිකරණ බලය යටතේ සමහර කලාපවල සීමා රාජ්‍ය අධිකරණ බලය යටතේ සමහර කලාපවල නෛතික අධිකාරිය, එමෙන්ම විවිධ කලාපවල නෛතික අධිකාරිය තීරණය කිරීමට හැකි වී තිබේ. එමඟින් සාගර සංරක්ෂණය හා කළමණාකරණය, සාගර පර්යේෂණ කටයුතු හා සාගර තාක්ෂණය හුවමාරු කර ගැනීම, සාගර දූෂණය වැළැක්වීම හා පාලනය සම්බන්ධ ප්‍රමිතීන් දක්වා ඇත. එපමණක් නොව xv පරිච්ඡේදයේ ගැටුම් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත. මෙම කොටස මඟින් එකඟතාවන්ට එළඹීමෙන් හෝ සමාදාන වීමෙන් ගැටුම් නිරාකරණය කර ගැනීම හෝ චාරිත්‍රානුකූලව නියම කර ඇති අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් දක්වා ඇත.

සාගර ගැටලු

පහත පරිදි සම්මුතිය මඟින් අධිකරණ නිශ්චය කොට ඇත. සමුද්‍ර නීතිය සම්බන්ධයෙන් වන අන්තර්ජාතික අධිකරණය, අන්තර්ජාතික යුක්තිය පිළිබඳ අධිකරණය, උපග්‍රන්ථ vii යටතේ පිහිටුවා ඇති බේරුම්කරණ විනිශ්චය මණ්ඩලය සහ උපග්‍රන්ථ viii යටතේ පිහිටුවා ඇති විශේෂ බේරුම්කරණ විනිශ්චය මණ්ඩලයයි. මෙම අධිකරණ හා විනිශ්චය සභා විසින් මේ වන විට රාජ්‍යයන් අතර සීමා සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටුම් හා අනෙකුත් සාගර ගැටලු රාශියක් සම්බන්ධයෙන් සාධනීය විසඳුම් ලබා දී ඇති බව කිව යුතුය. මෙම ගැටුම් නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය අතර ආතතිය දුරු කිරීමට හා සාගරයේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ඉවහල් වී ඇත.

මෙම සම්මුතිය විශාල පරිමාණයකින් දැකිය යුතුය. එයට හේතුව සම්මුති නීතියක් ලෙස පමණක් නොව සාමාන්‍ය අන්තර්ජාතික නීතියේ කොටසක් වශයෙන් ලංකාවට මෙය අදාළ වන නිසාත් පොදු මූලධර්ම අනුගමනය කරමින් සාගරය තුළ නීතියේ ආධිපත්‍යය පැතිරවීමේ නව බල අධිකාරියක් මෙමඟින් නිර්මාණය කරන නිසාත් ය.

අගෝස්තු 21 වැනිදා ඩේලි නිවුස් පුවත්පතට මහාචාර්ය සරත් මතිලාල් ද සිල්වා විසින් 'The UN Convention on the Law of Sea: Current Global Legal Regime on Sea' යන හිසින් ලියූ ලිපියේ සිංහල පරිවර්තනයකි.

පරිවර්තනය නීතිඥ චන්දීවරී මල්ලව ආරච්චි

නව අදහස දක්වන්න