හොඳම නායකයා | දිනමිණ

හොඳම නායකයා

ගැටුම් විසඳාගැනීමේ දී සත්ත්ව විශේෂ 76 ක් තුළ ඉතා සාර්ථක ව ඉදිරියෙන් සිටින්නේ ස්ත්‍රී නායකත්වයයි. පුරුෂයා මෙන් ඒකාධිපති බලයක නො පිහිටා සහයෝගිතා ක්‍රියාකාරකමක සිට විසඳුම වෙත ළඟාවීම ස්ත්‍රී ස්වභාවය යි. ආහාර සොයායාම, සතුරාගෙන් ආරක්ෂාවීම, ළමා ළපටින් රැකබලා ගැනීම, ඉදිරිපත්වීම සහ දරාගැනීම ස්ත්‍රී නායකත්වයේ කැපී පෙනෙන අනිත් අපරාංගයන් ය.

මැතිවරණ සමයේ මඟ දෙපස ඇති විශාල ඩිජිටල් දැන්වීම් පුවරු (billboard) විද්‍යුත් සහ මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය මගින් බොහෝ නායකයෝ කලඑළියට පැමිණෙති. ඔවුන් වටා ගොඩනගන කල්පිත බොහෝය. එම කල්පිත වෙළෙඳ දැන්වීම් මෙන් යථාර්ථයෙන් බැහැර වූ පාරිභෝගික (ඡන්ද හිමියා) ආකර්ෂණය සඳහා නිර්මාණය වූ වංචනික අදහස්ය. රටට නැතිව ම බැරි - දැයේ පිනට පහළ වූ, විනයක් ඇති ආදී විශේෂණ පද සහ උද්ධෘතපාඨ මගින් ඔවුහු එකිනෙකාගේ විශේෂත්වය තරගකාරී පරිභෝජන මතවාදය මත බලහත්කාරයෙන් ඉස්මතු කරති. අවංක, නිර්භීත, ඉතා ගුණයහපත්, බුද්ධිමත්, රටට - දැයට - ආගමට හිතැති යැයි එම පාඨවල සඳහන් වෙයි. සැබවින්ම මොවුන් එකී අර්ථකථනයන්ට අනුව රාජ්‍යයක් අනාගතය වෙත ගෙන යා හැකි නායකයන් ද? නිදහස් සමයෙන් පසු ගෙවී ගිය දසක හත තුළ ඔවුන් අසමත්වූයේ ඇයි? අතීතයේ එලෙස දැන්වීම් පුවරු මත ප්‍රදර්ශනය කළ නායකත්වය අසාර්ථක බව අප අත්දුටු සත්‍යයකි.

ස්වභාවික වරණය

පෘථිවිය මත ඉතා විශිෂ්ට නායකත්වය උසුලන්නේ මානවයා නොවේ. එය සැබවින්ම මානවයාට අභියෝගයකි. ගණනය කළ නොහැකි සත්ත්ව ලෝකයේ නායකත්වය සමඟ සසඳන විට මානව රාජ්‍ය නායකත්වය එතරම් ශක්තිමත් හෝ අවංක නැත. සත්ත්ව නායකත්වය නිරතුරුව තම කණ්ඩායම මතින් ඉස්මතුවන්නේ අත්දැකීම් බහුල පරිණත අයෙකි. එය කිසිවිටක මුදල සහ බලයෙන් ඉස්මතු කරන ව්‍යාජ රංගනයක් නො වෙවේ. පියාගෙන් පුතාට හෝ සහෝදරයාට උරුමවන පරවේණියක පවුල් රාජ්‍යයක් ද නො වේ.

පරිසරවිද්‍යාව සහ පරිනාමවිද්‍යාව ඇසුරෙන් කළ පර්යේෂණ වාර්තා අනුව සත්ත්ව නායකත්වය මානව නායකත්වය අභිභනවය කරයි. මානවයාට වඩා අනෙක් ක්ෂීරපායි සත්ත්ව කොට්ඨාශවල නායකත්වයේ වෙනසක් දක්නට ලැබෙන බව සත්ත්ව චර්යා විශේෂඥ ජෙනිෆර් ස්මිත්ගේ (Jennifer Smith) අදහසයි. ඈත අතීතයේ සිට ම, චිම්පන්සීන් එක් ව කණ්ඩායමක් ලෙස ගමන් කිරීම, සටනේ දී වඳුරන් එක්ව ක්‍රියාකිරීම, දඩයමේ දී හයිනා එක්ව දඩයමේ යාම සහ කණ්ඩායම වෙත පැමිණෙන උපද්‍රවයක දී අලි ඇතුන් ප්‍රජාව හැර නොයාම මෙන්ම නායකත්වය සැමවිටම එක්ව ක්‍රියාකිරීම අධ්‍යයනය කළ යුතු ක්‍රියාවලියකි. එකමුතුව ආහාර සොයා යාම, කණ්ඩායමේ අන්තර් ගැටුම් කළමනාකරණය, කණ්ඩායම තුළ අන්තර් ක්‍රියාකාරිත්වය සහ අනතුරට මුහුණදීමේ දී තිරණගැනීමේ හැකියාව යන කරුණු ගැන අවධානය යොමු කොට සත්ත්ව නායකත්වය පිළිබඳ අධ්‍යයනය කළ සත්ත්ව චර්යා විද්‍යාඥයෝ ඉතා වැදගත් චර්යා රටාවන් (behavior patterns) වර්ගීකරණය කළහ. නායකත්වය දැරීමට සුදුසුකම ලැබීම, අනෙකාට ළෙන්ගතුවීම, සාමූහික වගකීම සහ පරපුරේ අඛණ්ඩ පැවැත්ම සඳහා කැපවීම වැනි දෑ පර්යේෂණයේ අපරාංගයෝය.

මානව කණ්ඩායම් හි නායකත්වය සහ අනෙක් සත්ත්ව කණ්ඩායම් හි නායකත්වය විචාරාත්මක ව සැසඳීමේ දී විශ්ව සාධාරණීය විද්‍යාත්මක ක්‍රමවේදයක් මෙන්ම සර්වාංග ශික්ෂාකාමීත්වයක් ද අවශ්‍ය වෙයි. විෂයානුබද්ධව නායකත්වය හැදෑරීමේ දී සත්ත්වවිද්‍යාව, මානවවිද්‍යාව, චර්යාවිද්‍යාව, මනෝවිද්‍යාව සහ සමාජවිද්‍යාව විවිධ අර්ථකථන සම්පාදනය කරයි.

සෑම නායකත්වයක ම කණ්ඩායම් හැසිරීම තුළ වෙනස් රටාවන් සහ පෙළඹවීම් දක්නට ලැබේ. කණ්ඩායමේ පරිවාරයට වඩා ඉදිරි දැක්මක් සහ අත්දැකීම් නායකත්වයෙන් ඉස්මතු වෙයි. පරිනාමවිද්‍යාවට අනුව කණ්ඩායම් හැසිරීමේ දී මානව සහ අනෙක් සත්ත්ව විශේෂවල නායකත්ව අතර සමානතා ද මෙන් ම අසමානතා ප්‍රදර්ශනය වෙයි. චාල්ස් ඩාර්වින් පරිනාමවාදය මත සංකල්ප ගත කළ ස්වභාවික වරණයට (natural selection) අනුව නායකත්වය යනු සත්ත්ව කණ්ඩායම් තුළ (ක්ෂිරපායි, කෘමී, කුරුලු, මත්ෂ්‍ය) දැක ගත හැකි ස්වභාවික සංසිද්ධියකි. ස්වභාවික වරණය සහ පිරිවර අතර පවතින බන්ධු සබඳතා මත මනා සම්බන්ධීකරණයෙන් යුත් සක්‍රීය නායකත්වයක් ක්‍රමිකව හැඩගැසේ පැවැත්ම සඳහා කණ්ඩායමක් කරන අනවරත ක්‍රියාවලියේ දී විවිධ හැසීරීම් රටා මගින්, හැකියාව සහ අත්දැකීම් මත එක් සාමාජිකයකු නායකත්වය සඳහා ඉහළට ඔසවා තබයි.

චිම්පන්සියා මානවයාගේ සමීපත ම ජානමය බන්ධුවරයාය. අප වසර මිලියන හයකට පෙර සිට පොදු එක් මිත්තණියකගෙන් පැවත එන සනුහරයක සාමාජිකයන් ය. චිම්පන්සියා නිරතුරුව සිය භු කලාපය අනෙකාගෙන් (වෙනත් කණ්ඩායම්වලින්) රැකගැනීම සඳහා මුර සංචාරයේ යෙදෙයි. කුඩා පිරිමි කණ්ඩායමක් අවට පරිසරය විපරම් කර, ස්වභාවය සහ වෙනස්කම් ගැන සියුම් ව නිරීක්ෂණය කර සාමාජිකයන් දැනුවත් කරයි. ඇතැම් පිරිමි චිම්පන්සි මෙම ක්‍රියාවලියේ දි අනෙක් සාමාජිකයන් අභිභවා කටයුතු කරන හෙයින් එමගින් ප්‍රජාවේ ගැහැනු සතුන්ගේ ආකර්ෂණය (තෝරාගැනීම) දිනා ගැනීමට සමත්වෙයි. එකී ආකර්ෂණය නිසා ප්‍රජාවේ අඛණ්ඩ පැවැත්ම උදෙසා සක්‍රීය ස්ත්‍රී සහ පුරුෂ එක්වීමෙන් දෙවන පරපුර බිහිවෙයි. එය සවිභාවික වරණයයි.

ස්ත්‍රී නායකත්වය

ක්ෂීරපායි සත්ත්ව ජානමය සබඳතා අනුව චිම්පන්සීන්, ඩොල්ෆින් මත්ෂ්‍යයන්, මීර්කැට්ස්, අලි - ඇතුන්, සිංහයන් සහ හයිනාවන්ගේ හැසිරීම සත්ත්ව චර්යාවිද්‍යාඥයන් විධිමත්ව වාර්තා කර ඇත. අප්‍රිකානු අලි ඇතුන් 25 ක - 50 ක පමණ රංචු දැක ගත හැකි අතර, ඔවුන් විවිධ මවුවරුන්ට අයත් දූ දරුවන් ය. කණ්ඩායම් නායකත්වය මාතෘත්වය මත තීරණය වන අතර නායකත්වය කණ්ඩායමේ වයස්ගත ගැහැනු සත්ත්වයකුට (මවකට) හිමි වෙයි. එම නායකත්වයට රංචුවේ වෙනත් කිසිවෙක් අභියෝග නො කරයි. ඇය වයෝවෘධ ව සෙමෙන් පසුබසින විට අත්දැකීම් බහුල වෙනත් ජ්‍යෙෂ්ඨ ස්ත්‍රියකට ස්වභාවිකව ම නායකත්වය මාරුවෙයි. සමාජ ආරක්ෂණය, බුද්ධිමත්භාවය සහ ප්‍රේමණීය හැසිරීම් රටා අලි - ඇතුන්ගේ පරිනාමය තුළ සිදුවූ සුවිශේෂී ලක්ෂණයි. සෞඛ්‍ය සම්පන්න අලි - ඇතුනට වසර පනහක් හෝ ජීවිත කාලය පුරා සතුරා සහ මිතුරා මතක තබා ගැනීමේ හැකියාව ඇත.

සමාජ - සංස්කෘතික පරිනාමය

සහසබඳතාව මෙන්ම ජීවිතය බෙදාගැනීම අනෙක් කුසලතාවන්ය. නියං සමයේ කෙන්යාවේ අලි - ඇතුන් ජලය සොයායාමේ දී ස්ත්‍රිය නායකත්වය ගනියි. සමුද්‍ර ක්ෂිරපායි සත්ත්ව විශේෂයක් වූ ඔර්කා තල්මසුන්ගේ හැසිරීම් මෙන් ම මාතෘ නායකත්වය අලි - ඇතුන්ගේ චර්යාවට සමානය. කිසිවිටෙක පිරිමි සතුන් නායකත්වය උදෙසා අරගල නොකරන අතර කණ්ඩායමෙන් දුරස්ථ ව වාසය කරන බව 1970 වසරේ සිට වයෝවෘද්ධ ස්ත්‍රී ඇතින්නන් පිළිබඳ පර්යේෂණයක නිරත වූ අලි - ඇතුන් සඳහා වූ අම්බොසෙලි භාරකාරත්වයේ පුරෝගාමී සින්තියා මොස් පවසන්නීය.

සිංහ සමාජයේ අල්ෆා පිරිමි නායකත්වය සිය කණ්ඩායමට ආරක්ෂාව සැපයීමේ දී සැමවිටම තරගකාරී අනෙකාගේ අභියෝගයට නතු වෙයි. මෙම ස්වභාවය සැමවිටම මානව සමාජයේ ද දැක ගත හැකි ලක්ෂණයකි. ක්ෂීරපායි සත්ත්ව විශේෂ අතර සමානතා නිරීක්ෂණයේ දී තීරණ ගැනීම, කණ්ඩායම් හැඩගැසීම සහ කණ්ඩායම් පාලනය බෙදාගැනීම ප්‍රවාහයක යාන්ත්‍රණයක් මත ක්‍රියාත්මක වෙයි.

මානව සමාජයේ වෙනස නම් ප්‍රජාව තුළ තරගකාරී විශේෂ භූමිකා නිර්මාණය වී එකිනෙකා අභිභවනය කිරීමට කණ්ඩායම තුළ සටන් නිර්මාණය වී සමාජය කම්පනයට පත් ව ව්‍යසනයක් දක්වා පසුබෑමයි. සංකීරණ මානව සමාජයක වුව ද ව්‍යාජ සහ කෘත්‍රිම එකමුතු ක්‍රියාකාරකම් සහ සහයෝගිතා දැක ගත හැකිය. එහෙත් ඒවා බලය මත දෝළනය වන තාවකාලික ව්‍යුහයන්ය.

පැවැත්ම සඳහා වැදගත් වූ ප්‍රජනන ක්‍රියාවලිය ක්ෂීරපායි සත්ත්ව සමාජයේ තීරණාත්මක සාධකයකි. නිරෝගී පරපුරක් බිහිකිරීම සඳහා ක්ෂීරපායි නායකත්වය අනුගමනය කරන සක්‍රීය ක්‍රියාමාර්ග සහ පිළිවෙත් මොනවා ද? අලි ඇතුන්, තල්මසුන්, සිංහයන්, තිත් හයිනාවන්, බොනෝබෝස්, ලෙමුර් සහ හයිනා සත්ත්ව විශේෂ ස්ත්‍රී නායකත්වය මත රඳා පවතී. නව විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ආසන්න වශයෙන් ක්ෂීරපායි සත්ත්ව විශේෂ 5000 ක් පමණ ස්ත්‍රී නායක්වය යටතේ හැඩගැසේ. නො නැසී පැවැත්ම සඳහා වූ ප්‍රහේළිකාව විසඳීමේ දී මානව සමාජය ස්ත්‍රියට නායකත්වය පිරිනැමීමට සූදානම් ද? මෙය සත්ත්ව සමාජයෙන් උගත හැකි වැදගත් පාඩමකි; එහෙත් විවාදාත්මක අදහසකි. සත්ත්ව විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව එය නිවැරදි පිළියමකි. ගැටුම් විසඳාගැනීමේ දී සත්ත්ව විශේෂ 76 ක් තුළ ඉතා සාර්ථක ව ඉදිරියෙන් සිටින්නේ ස්ත්‍රී නායකත්වයයි. පුරුෂයා මෙන් ඒකාධිපති බලයක නො පිහිටා සහයෝගිතා ක්‍රියාකාරකමක සිට විසඳුම වෙත ළඟාවීම ස්ත්‍රී ස්වභාවය යි. ආහාර සොයායාම, සතුරාගෙන් ආරක්ෂාවීම, ළමා ළපටින් රැකබලා ගැනීම, ඉදිරිපත්වීම සහ දරාගැනීම ස්ත්‍රී නායකත්වයේ කැපී පෙනෙන අනිත් අපරාංගයන් ය.

ඩී.එන්.ඒ. ඥාතිකම්

මානව DNA 99% ක් ආසන්න ප්‍රිමාට ඥාතීන් වූ චිම්පන්සි සහ බොනොබෝස් සත්ත්ව DNA රටාවන්ට සමාන්තර වෙයි. එහෙත් චිම්පන්සින්ගේ කණ්ඩායම පුරුෂ පාර්ශ්වය විසින් මෙහෙයවෙන අතර බොනොබොස් කණ්ඩායම ස්ත්‍රීන් අතින් මෙහෙයවේ. ස්ත්‍රී නායකත්වය ආහාර සොයා සංචාර සැලසුම්කරන බව සහ ප්‍රථමයෙන් ආහාර ගැනීමේ අයිතිය ස්ත්‍රියට සහ පැටවුන්ට හිමි බව කොන්ගෝවේ බොනොබොස් ප්‍රජාව ගැන දීර්ඝ අධ්‍යයනයක් කළ ජපානයේ කියොතෝ සරසවියේ තකේෂි ෆුරුයිචි (Takeshi Furuichi) පවසයි. චිම්පන්සින් අතර නිරතුරුව ඇතිවන ගැටුම් සමඟ සසැඳීමේ දී බැබුන් ප්‍රජාව තුළ ගැටුම් ඉතා අවම තත්ත්වයක පවතී. පුරුෂ පක්ෂයේ සෑම ගැටුමක දී ම ස්ත්‍රිය මැදිහත් සාම ක්‍රියාකාරිනියකි. එමෙන්ම බොනොබොස් ස්ත්‍රී නායකත්වය නිරතුරුව ම ගැටුම නොව ප්‍රේමය සහ සහයෝගිතාව සිය කණ්ඩායම තුළ වර්ධනය කරයි. දඩයමේ දී හයිනා පුරුෂ පක්ෂය පෙරමුණ ගන්නා අතර, සැමවිටම ප්‍රථමයෙන් පහර දෙන්නේ ස්ත්‍රියයි. හයිනා ස්ත්‍රිය පුරුෂයාට වඩා ශක්තිමත් සහ ශරීර ප්‍රමාණයෙන් විශාලය. එමෙන් ම වෙනත් කණ්ඩායම් අතර සිදුවන ගැටුම් නිරාකරණයේ දී ස්ත්‍රිය මැදිහත් වෙයි. හයිනා සහ බැබුන් ස්ත්‍රියගේ හැසිරීම් රටා අධ්‍යයනයේ දී පෙනෙන්නේඑම නායකත්වයේ මූලික පදනම සහයෝගය සහ සංහිඳියාව යි. කණ්ඩායමේ හැකියාවන් සහ සුසංයෝගය ඉස්මතුකර ගැනීමේ දි ස්ත්‍රිය ගොඩනගන්නා වූ සහයෝගිතාව ප්‍රජාවේ ප්‍රබෝධයට හේතු වෙයි.

ප්‍රාථමික මානව (දඩයක්කරුවන් සහ ආහාර එකතුකරන්නන්ගේ) කුඩා කණ්ඩායම් අචේ (පැරගුවේ), ඉනියුට් (කැනඩාව), හිම්බා සහ බුෂ්මන් (අප්‍රිකාව) නිකොබා සහ ජරාවා (සෙන්ටිනන්ටල් සහ අන්දමන්) සමඟ සැසඳීමේ දී ලේ ඥාතීන්ගේ (පුනාලුවා) සංවිධානයට අයත් සංචාරක Nomadic ප්‍රජාවන් තූළ විධිමත් නායකත්වයක ධූරාවලියකට අනුව හැඩගැසුණු ආයතන, නීතියේ ආධිපත්‍යය, පෞද්ගලික ඉඩම් අයිතිය, බල දේශපාලනය සහ එකිනෙකා අභිභවන තරගකාරිත්වය දකින්නට නොලැබේ. එම පරිනාමයේ මුල් කාලීන ලක්ෂණ සමාජවල අන්තර්ගත ව ඇත. නූතන මානවයන් වන අප පරිනාමයේ 99% ක් ම මඟ ගෙවා ඇත්තේ එවන් සමාජ සංස්කෘතික රටාවක අත්දැකීම් සමඟ මඟය. එය අපේ විඥානයේ තැන්පත් ව තවමත් වරින් වර ඉස්මතු වෙයි. වර්තමාන සංකීරණ සමාජ ජීවිතයේ විවිධ අභියෝගවලට මුහුණදීමේ දී කණ්ඩායම් සහයෝගිතාව අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් ව්‍යවස්ථාපිත නීතිය සහ බල අධිකාරිය මත භ්‍රමණය වන නූතන සමාජය සැමවිටම කම්පනයට පත් ගැටුම් නිර්මාණය වෙයි. එය පුරුෂ ආධිපත්‍යයයේ මූලික ලක්ෂණයකි. මක්නිසාද යත් බලය සහ මුදල කේන්ද්‍රීය වූ පුරුෂ සමාජයේ එකිනෙකා අභිභවායාමට වෙර දැරීම නිසා සැමවිට ම ආපදා නිර්මාණය වන බැවිනි.

නව අදහස දක්වන්න