නායකයන් ගතයුතු මඟ | දිනමිණ

නායකයන් ගතයුතු මඟ

මේ මොහොතේ මෙරට දේශපාලන පක්ෂවලට මෙන්ම ජනමාධ්‍යවලටත් වඩාත් වැදගත් ප්‍රශ්නය වී ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බව පෙනේ. ඒ අනුව රටෙහි පවතින ප්‍රධාන ගැටලු පිළිබඳ අවධානය වෙනතකට යොමු වී ඇති සැටියකි. රටේ පවතින තත්ත්වය කුමක්ද? එකී තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා දේශපාලන නායකත්වයටත් ජනතාවටත් පැවරෙන වගකීම කුමක්ද යන්න පිළිබඳ විද්වතුන් දක්වන අදහස්වලට මෙවර දේශපාලන කොලෝසියමේ ඉඩ වෙන්වේ.

රටේ හතර දිසාව ගැනම හිතලා වැඩ කරන්න ඕනේ
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අරාබි, ඉස්ලාම් සංස්කෘතික අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. එස්. අබ්දුල් බාරි

අපේ රටේ නායකයන් මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ රටේ හතර දිසා ගැනම හිතලයි. ඒ කියන්නේ උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර කියන දිසා හතර දෙසම සමාන හැඟීමෙන් බලන්නත් මේ දිසා හතරම එක විදියට සංවර්ධනය කරන්නත් රටේ පාලකයන් පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන්න ඕනේ. රටේ ජනතාව යම් නායකයෙක් හෝ පක්ෂයක් තෝරා ගන්නේ රට සංවර්ධනය කරන්නයි. එහෙම නැතිව නායකයා හෝ පක්ෂ නියෝජිතයෝ නියෝජනය කරන ප්‍රදේශ පමණක් දියුණු කරන්න ජනතාව ඡන්දය දෙන්නේ නෑ. ජනතාව ඡන්දය දෙන්නේ රටම සංවර්ධනය කරන්නයි. දැනට සිටින පාලකයන් මෙන්ම ඉදිරියට පත්වෙන පාලකයනුත් මේ බව හිතන්න ඕනේ. ප්‍රදේශයකට හෝ තමන්ගේ පවුලට හෝ තමන්ගේ ඥාතීන්ට පමණක් සේවය කරන්න ජනතාව පාලකයන් පත් කරන්නේ නෑ. සියලු පක්ෂවල නියෝජිතයන් කටයුතු කරන්න ඕනේ මේ යථාර්ථය තේරුම් අරගෙනයි. ඒ නිසා පෞද්ගලික දියුණුව ගැන හෝ තමන්ගේ ප්‍රදේශය ගැන හෝ පමණක් නොසිතා සතර දිසාවම දියුණු කරන්න පාලකයන් දැන් හෝ කටයුතු කරනවා නම් මේ රටේ ප්‍රශ්නවලින් බහුතරයක් විසඳෙනවා.

තමන්ගේ දරු පවුල් අතඇරලා රටට කරන්න කියන්නේ නෑ. තමන්ගේ දරු පවුලත් දියුණු කරන්න ඕනේ. නමුත් රට අත ඇරලා තමන්ගේ පොකට්ටුව ගැන විතරක් සිතීම කිසිම පක්ෂයක නියෝජිතයන් නොකළ යුතු දෙයක්. මෙතැනදී රටේ සම්පත්වලින් රට සංවර්ධනය කිරීමට මිස, රටේ සම්පත් කොල්ල කා ගනිමින් තම පවුල සංවර්ධනය කරගැනීමට පාලකයන් කටයුතු නොකළ යුතුයි. ඒ නිසා පැහැදිලිවම මේ මොහොතේ පාලකයන් කළ යුත්තේ රටට යමක් කිරීම නොව රට සංවර්ධනය කිරීමට රටේ සම්පත් යොදා ගැනීමයි. එහිදී භෞතික සම්පත ගැන වගේම මානව සම්පත ගැනත් අවධානය යොමු කළ යුතුමයි.

නීතිය සමාන මෙන්ම සාධාරණ ලෙස ක්‍රියාවට නැගීමටත් මේ මොහොතේ වගේම හැම වෙලාවකම කටයුතු කරන්න නායකයන් පියවර ගන්න ඕනේ. යම් වැරැද්දක් වුණාම, පවුලට, පාක්ෂිකයාට, ඥාතියාට එක විදියකටත් සෙසු පුද්ගලයන්ට තව විදියකටත් වෙන්න බෑ. හැම පක්ෂ නායකයකුම, ජනතා නියෝජිතයකුම මේ බව තේරුම් ගන්න ඕනේ. නීතිය හරියට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන්න නායකයන් ක්‍රියා කළොත් රටේ ප්‍රශ්න හුඟක් නිකම්ම විසඳෙනවා විතරක් නොවෙයි අලුත් ප්‍රශ්න ඇතිවීමත් වැලැක්වෙනවා.

රටේ නායකයන් යම් ගැටලුවක් ඇති වුණාම අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡාවට යා යුතුයි. ඔවුන් සමඟ එක් තීරණයකට ආ යුතුයි. එහෙම නැතිව ඔවුන් ඉදිරිපත් කරන විසඳුමට අකැමැතියි කියලා එතැනින් ඉවත් වෙන්න හොඳ නෑ. ඔවුන් සමඟ එකට ඉඳගෙන තීරණ ගත යුතුයි. ඒ තීරණ හරිද වැරදිද කියලා බලලා හරි නම් ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරන කොට තමනුත් ප්‍රායෝගිකව එතැන ඉන්න ඕනේ. තීරණය විතරක් දීලා බෑ. ක්‍රියාවටත් සහභාගි වෙන්න ඕනේ.

ඒ වගේම මීට වඩා හොඳ ශක්තිමත් බැඳීමක් අසල්වැසි රටවල් සමඟ ඇති කරගත යුතු සේම සෙසු රටවල් සමඟ වඩා හොඳ මිත්‍රශීලි පදනමකින් කටයුතු කරන්න ඕනේ. අපට අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නැතිව තනි කකුලෙන් හිට ගන්න බැහැ. ඒ අය එක්ක සහයෝගයෙන් අපට ගැලපෙන කොන්දේසි විතරක් පිළිගනිමින් කටයුතු කරන්න නායකයන්ට පුළුවන් වෙන්න ඕනේ. නැතිව ඒ ලැබෙන දේවල් තමන්ගේ පොකට්ටුවට යොදා ගන්න හොඳ නෑ.

මේ රට විවිධ ජනවර්ග ජීවත්වෙනවා. සියයට අසූවක් සිංහල ජනතාව. ඉතිරි සියයට විස්සත් සිංහල ජනතාවත් එකම සහෝදර පිරිසක්. මේ බව හැම ජනකොටසකටම ඇඟවෙන විදියට රටේ නායකයන් අවංකව කටයුතු කිරීමත් ඉතා වැදගත්.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් තෝර ගැනීම ඒ පක්ෂවල වැඩක්. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් තෝර ගන්න එයාලට අයිතියක් තියෙනවා සහ ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. මේ මොන කටයුතු අස්සේ වුණත් පාලකයන් රට ගැන හිතන්න ඕනේ. සතර දිසාවම දියුණු කරන හැම දෙනාටම එකවිදියට නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇති කරන්න ඉන්න නායකයන් මෙන්ම පත්වෙන නායකයන් කටයුතු කළොත් මේ ප්‍රශ්න හුඟක් විසඳෙයි.

මේ රටේ සියයට අනූවකට සාක්ෂරතාව තියෙනවා. එහෙම නම් රටේ ජනතාවත් රටට ගැලපෙන නායකත්වය තෝර ගන්න ඕනේ. එතැනදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන වගේම ඔවුන්ගේ ඉතිහාසය ගැනත් අවදියෙන් කටයුතු කරන්න ජනතාව මතක තියා ගන්න ඕනේ.

සුමේධා පොරොන්දු වෙනුවට ප්‍රතිපත්ති ගැන හිතන්න 
- රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දික ඉහළගෙදර

නිදහසින් පසු මෙරට දේශපාලනයේ දක්නට ලැබුණේ පොරොන්දු දේශපාලනයක්. මැතිවරණ ආසන්න සමයන්හි බොහෝ සෙයින් මෙරට දේශපාලනයේ ඇසෙන්නේ අවලාද, මඩ ප්‍රහාර, ඇනුම් බැණුම්, විවේචන ආදිය. ඒ නිසා ගෙවුණු දශක කිහිපය පුරා රට ආපස්සට ගමන් කළා. මේ නිසා පොරොන්දු දේශපාලනය වෙනුවට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන දේශපාලනයක් ඇති කිරීමට දැන්වත් පාලකයන් කටයුතු කරන්න ඕනේ. පොරොන්දු දේශපාලනය කියන මඩගොහොරුවේ රටම ගිලිලා. පසුගිය සෑම මැතිවරණයකදීම දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන්, තීරණාත්මක මෙන්ම බලපෑම් කළ හැකි සංවාදාත්ම මතෘකා පෙරට ගෙන තමයි ඡන්ද දිනා ගත්තේ. මැතිවරණයෙන් පසු ඒ සංවාද මාතෘකා යටපත් වුණා. නැවත මැතිවරණයක් එන තෙක් ඒවා හමස් පෙට්ටියේ.

දේශපලනඥයන් මෙන්ම ජනතාවද කැමත්තෙන් හෝ අකමැත්තෙන් මේ සංස්කෘතියට හුරු වෙලා. නිදහසින් පසු අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ පාට පක්ෂ දේශපාලනයක්. එය ප්‍රධාන ධාරා දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. අතිශය බහුතර ජනතාවගේ සිතුම් පැතුම් තවමත් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ පක්ෂ දෙක වටා. ලෝකයේ බොහෝ රටවල් ප්‍රධාන දේශපාලන ධාරවන්ගෙන් එහා ගොස් වෙනත් විකල්ප ධාරා නිර්මාණය කරගෙන තියෙනවා. එහෙත් අපේ ජනතාව එවැන්නකට ළඟාවීමට තවමත් සමත් වෙලා නෑ. යල්පැනගිය දේශපාලන සංස්කෘතීන්, ආකල්ප වෙනස්විය යුතුයි. ඒ සංස්කෘතිය මෙන්ම ආකල්ප ඔස්සේ රටක් ලෙස අපි පොදුවේ ලබා ගෙන ඇති ජයග්‍රහණ තියෙනවාද කියලා ආපසු හැරී බැලිය යුතුයි. මේ පොරොන්දු දේශපාලනය තුළම ගියහොත් අපට ඉදිරියට රටක් ඉතිරි නොවෙන බව පාලකයන් වගේම ජනතාවත් තේරුම් ගන්න ඕනේ.

ලෝකයේ අනෙකුත් රටවල මේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස්. රටක් ලෙස අපි නව දැක්මක් සකසා ගත යුතුයි. ඒ සදහා දේශපාලනඥයනට වඩා නිලධාරි කණ්ඩායම මේ තුළ ශක්තිමත් විය යුතුයි. හැබැයි එතැනදී නිලධාරිවාදය ඇති වෙන්න බෑ. නිලධාරීන් රට හා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ගත්තොත් නීතියේ අධිපත්‍යය ශක්තිමත් කරන්න පුළුවන්. මොකද මේ වෙලාවේ හැමෝටම සමානව, සාධාරණ ලෙස නීතිය ක්‍රියාවට නැගෙන බව ජනතාව දැනෙන්න ඕනේ. ඒ වෙනුවෙන් පාලකයන්ටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්න නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ. ජපානය, චීනය ඉන්දියාව වැනි රටවල් අද මේ තත්ත්වයට ඇවිත් තිබෙනවා.

නායකත්වයට වඩා ජනතා සුබසිද්ධිය බලන්න ඕන 
- කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ඔසන්ත තල්පාවිල

ජනතා නියෝජිතයෝ මේ වෙලාවේ කළ යුතු ප්‍රධානම දේ වෙන්නේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. රටේ ජනතාව මේ මොහොත වන විට විවිධ අර්බුදවලට මුහුණ පා සිටිනවා. රටේ ආරක්ෂාව, ආර්ථිකය, රාජ්‍ය ප්‍රතිපත්ති මේ කියන සියල්ල ගැන ජනතාව ඉන්නේ දෙගිඩියාවෙන්. ඒ නිසා පාලකයන් මුලින්ම කළ යුත්තේ ජනතා ගැටලුවලට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමයි. ඒ ක්‍රියාදාමයන් ජනතා විශ්වාසය දිනා ගත යුතුයි. ඒ නිසා පාලකයන් විසින් මේ මොහොතේ කළ යුත්තේ අපේක්ෂකයන් තෝර තෝර ඉන්නවාට වඩා රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ආර්ථිකය, රාජ්‍ය ආරක්ෂාව මෙන්ම ආයෝජන ගෙන්වා ගැනීම යන කාරණා ගැන මුල්තැන දී කටයුතු කිරීමයි. රටක් ඉදියට යන්න නම් අනිවාර්යෙන්ම ඒ දේවල්වලට මුල් තැන දිය යුතුයි. පාලකයන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ දේයි. එම නිසා පාලකයන් කළ යුත්තේ ජනතා අපේක්ෂා ඉටු කිරීමයි.

කළ යුතු දේවල් එහෙම වුණත් පසුගිය දිනක අපිට ඉතා කණගාටුදායක සිදුවීමක් දකින්න ලැබුණා. පාර්ලිමේන්තුවේ අසා තිබුණු ජනතා ප්‍රශ්නවලට උත්තර දෙන්න මැති ඇමැතිවරුන් හිටියේ නැහැ. ඇත්තටම මෙය කනගාටුදායක තත්ත්වයක්. ජනතාව විසින් මහජන නියෝජිතයන් පත්කර යවන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට සහ ඒවාට විසඳුම් ලබා ගැනීමටයි. එවැනි ත්ත්ත්වයක දී ඊට උත්තර දෙන්න මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ හෝ නැති තත්ත්වයක් තුළ ජනතා අභිලාසයන් ඉටු කර ගත හැකිද යන්න ගැටලුව පැනනගිනවා. මෙතැනදී ජනතාවත් බුද්ධිමත්ව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙන් නිසි ලෙස ප්‍රයෝජන ගැනීමට කටයුතු කළ යුතුයි.

මේ තත්ත්වයත් එක්ක රටේ අනෙකුත් වැඩ කටයුතු සාමාන්‍ය පරිදි ගෙවී යනවද කියන සැකයත් බොහෝ දෙනෙක් තුළ ඇති වී තිබෙනවා. දේශපාලන පක්ෂ කුමන ආකාරයට හැසිරුණත් ජනතාව තමන්ගේ වැඩ කටයුතු අතපසු කරගනී කියලා මම හිතන්නේ නැහැ. ඒ අනුව බලද්දි ජනතාව දෛනික කටයුතුවල නිරත වී සිටිනවා. ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් හා ඒ මඟින් දකින්නට ලැබෙන සිද්ධි දිහා බැලුවම ජනතාව දේශපාලන කාරණාවලට මුල් තැන දෙනවට වඩා තමන්ගේ ක්‍රියාකාරකම්වල නිරත වන බව මනාව වටහා ගත හැකියි. උපාධිධාරීන් උද්ඝෝෂණවල නිරත වෙනවා. විවිධ වෘත්තියවේදීන් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරනවා. ඒ විතරක් නෙවෙයි, විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එම නිසා ජනතාව දේශපාලනය දිහා බලාගෙන එයින් සිදුවන්නේ කුමක්ද යන්න බලාගෙනම ඉන්නවා කියන කාරණය පිළිගන්න බැහැ.

අනෙක් දේ තමයි අපේ රටේ ජනතාවගෙන් සියයට 20 ක් පමණ සංඛ්‍යාවක් තමයි දැඩි ලෙස පක්ෂ දේශපාලනයේ යෙදෙන්නේ. සියයට 60 ක් ඉන්නේ මධ්‍යස්ථව. ඒ අය කිසිම දිනක එකම පක්ෂයට ඡන්දය ලබාදෙන්නේ නැහැ. ඔවුන් ඒ මොහොතේ රටේ ඇති වන තත්ත්වය සැලකිල්ලට ගෙන තමයි සිය ඡන්දය භාවිතා කරන්නේ. පැවැති මැතිවරණ දිහා බැලුවම එය මනාව වටහා ගත හැකියි.

බල අරගලය වෙනුවට ජාතික ප්‍රතිපත්තියක් හදමු 
- රුහුණ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ආචාර්ය විජේසිරි ගමගේ

මේ වෙලාවේ රටේ නායකත්වය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පිළිබඳ දැක්මකින් දූරදර්ශීව කටයුතු කළ යුතු වෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය කියන මේ මොන අංශය ගැන වුණත් කටයුතු කරන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක් මත. නමුත් අතීතයේ පටන් එවැනි තත්ත්වයක් අපට දැක ගන්න නෑ. ඒ නිසා මේ කියන ප්‍රතිපත්ති හදිසියේ ඇති කරන්න පුළුවන්කමක් නෑ. ඒකට තව අවුරුදු විසිපහක්වත් යයි. නිසි ජාතික සැලැස්මක් හදන්න සුදුසු නායකත්වයක් දැනට රටේ නැති වුණත් ඊට ආරම්භයක් දීමට සුදුසු නායකත්වයක් දිය හැකි එක්කෙනෙක් දෙන්නෙක් ජනපතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමකින් ඉන්නවා. ඒ පුද්ගලයන්ට මීට ආරම්භයක් දෙන්න කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒ අය සමඟ එකතු වෙලා ඉන්න සෙසු දේශපාලන බලවේගවලට තියෙන්නේ වෙනත් අරමුණු. ඒ නිසා ඒ අයගේ බලපෑමෙන් ගැලවිලා මේ කියන නායකත්වයට ඒක කරන්න පුළුවන් වෙයිද කියන්න බෑ.

මේ වෙලාවේ රටේ දේශපාලන බලවතුන් ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයකට සූදානම් විය යුතුයි. එකිනෙකාගේ දේශපාලන අරමුණු මත ගොඩනැගුණ ප්‍රතිපත්තිවලට රට ගොඩගන්න බැහැ කියන කාරණාව මේ අය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරන්නත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට අවංක ලෙස කැපවෙන්නත් අපේ පාලකයන් කටයුතු කරන්න ඕනේ. ඒක ක්ෂණිකව කරන්න බැරි වුණත් ඒකට ආරම්භයක් දෙන්න මේ අයට පුළුවන්. මැලේසියාවේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, ජපානයේ මෙයිජි අධිරාජ්‍යයා, ඉන්දියාවේ නේරු, ගාන්ධි වැනි අය වගේම වර්තමාන ඉන්දියාවේ මෝදි, නිසි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නගමින් කටයුතු කළ අයයි. අපි මේ නායකයෝ ආදර්ශයට නොගෙන, ඒ අය ගැන නිකම් කතා කර කර හිටියට අපේ ප්‍රශ්න විසඳා ගන්න බෑ. අවාසනාවකට තවමත් අපේ පාලකයෝ සිටින්නේ තම තමන්ගේ න්‍යාය පත්‍රවලට කටයුතු කිරීමේ බල අරගලයක බව ජනතාවට පේනවා.

ශ්‍රී ලංකාවේ නායකත්වය අතීතයේ පටන් රට නැතිනම් ජනතාව ගැන දූරදර්ශීව කටයුතු කරනු වෙනුවට කළේ තමන්ගෙ න්‍යාය පත්‍රයකට. මේ තත්ත්වය පටන් ගත්තේ ජාතික නිදහස් සටනෙන්මයි. අපේ ජාති කනිදහස් ව්‍යාපාරයට නිසි දැක්මක් තිබු‍ණේ නෑ. එතැනට එකතු වෙලා සිටි අයට වෙන වෙන අරමුණු තිබුණා. එතැනින් පටන් ගත් මේ තත්ත්වය අද වෙන විට මුළු දේශපාලන සංස්කෘතියෙම ඔඩු දුවලා ඉවරයි. ඒ නිසා අතීතයේ සිට තිබූ පටු දේශපාලන අරමුණු ඔස්සේ රටේ නායකත්වය ක්‍රියා කිරීමේ ස්වභාවයේ උච්ඡතම අවස්ථාවක් තමයි දැන් පේන්න තියෙන්නේ. ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කරමින් රට ගොඩ නැගීමට අවංකව කටයුතු කරනු වෙනුවට අපේ නායකත්වය තවමත් බල අරගලයක නැතිනම් පටු දේශපාලන අරමුණු ක්‍රියාවට නැගීමේ දේශපාලන න්‍යාය පත්‍රයක සිරවෙලා ඉන්නවා. ඉන්දියාවේ ජාතික නිදහස් ව්‍යාපාරය කටයුතු කළේම දූරදර්ශී ලෙස රට ගැන සිතමින්. එතැන පටු දේශපාලන න්‍යාය පත්‍ර හෝ පෞද්ගලික වුවමනා තිබුණෙ නෑ. ඒ නිසා ඉන්දියාවට ගොඩනැගෙන්න පුළුවන්කම තිබුණා. පත්වෙන නායකත්වය රට ආපස්සට ගෙනියන්නේ නෑ. ඒ වගේම තමයි ජනතාවත්. ඔවුන් නිසි නායකයෝ පත් කර ගන්නවා. අපේ ජාතික නිදහස් ව්‍යාපාරයේ පටන් අපේ ජනතාව පාවිච්චි කළේ තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. එතැනින් ගැලවෙන්න අපේ ජනතාවටත් තවම බැරි වෙලා තියෙනවා.

අපි මේ වෙලාවේ විවිධ අර්බුදවලට මුහුණ දීලා ඉන්නේ. ඒ අතරේ ජනාධිපතිවරණයකුත් පැවැත්වෙන්න නියමිතයි. ජනාධිපතිවරණයක් තිබුණත් රටේ මූලික ගැටලු අමතක කරලා බලය වෙනුවෙන්ම වැඩ කරන්න ඒ අයට බැහැ. ඉතිහාසයේ පටන් ජනතාවට බොරු කරන ක්‍රමය දැන් නතර විය යුතුයි. මේ සියලු පාලකයෝ රටේ සැබෑ දියුණුව වෙනුවෙන් අවංකව කැපවෙන්න ඒකමතික තීන්දුවකට එන්න ඕනේ. 17 වැනි සියවසේ දී එංලන්තයේ තිබුණෙත් මේ වගේ පාලනයක්. වෛරය, අවිශ්වාසය, සැකය වැනි හැඟීම්වලින් තමයි රටේ පාලනය ගෙන ගියේ. එහිදී තෝමස් හොබ්ස් කියා සිටියා මේ තත්ත්වය නැති වෙන්න නම් ශක්තිමත් පාලකයෙක් එන්න ඕනේ කියලා. නීතියේ ආධිපත්‍ය රැකිය හැකි සෘජු ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන්න පාලකයෝ කටයුතු කරන්න ඕනේ. ප්ලේටෝ වරක් කිව්වා දාර්ශනිකයා පාලකයා වෙන්න ඕනේ - පාලකයා දාර්ශනික වෙන්න ඕනේ කියලා. ඒ අනුව උගත් බුද්ධිමත් පාලකයෙක් රටට අවශ්‍යයි. අපිට ඉන්නේ තුන්කල් දැකපු නායකයො නොවේ. ඉතිහාසයේ පටන් ඔවුන් ජනතාව තමන්ගේ ඉත්තෝ බවට පත්කරගත්තා. ජනතාවත් දැන් මේ පාවිච්චිවීමෙන් වලකින්න ඕනේ. ගැලරියට කතා කරන, නායකයෝ රටට වැඩක් නෑ. මුහුකුරා ගිය බුද්ධිමත් නායකයන් තෝර ගන්න එක ජනතාවගෙත් යුතුකම හා වගකීමයි.

ජාතික සංවර්ධනයට ජාතික මතවාදයක් ඕනේ 
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර

දේශපාලනය සහ රටක් කියන්නේ සංකල්ප දෙකක්. අපට දේශපාලනය පමණක් නොවේ මොන දේ කරන්නත් රටක් තිබෙන්න ඕනේ. අද ජනාධිපතිවරණයක් ඉදිරියේ තබා ගනිමින් කවුද තරඟ කරන්නේ කියලා පුද්ගල ප්‍රතිරූප ගොඩනගමින් ඉන්නවා. සෑම පක්ෂයකින්ම අරයා එනවා මෙයා එනවා කියලා පුද්ගල ප්‍රතිරූප පමණයි ගොඩනැඟෙන්නේ. මේ විදිහට දිගින් දිගටම ගියොත් අපේ රට එතැනමයි. රට කියන්නේ පුළුල් ජාතික කාර්යභාරයක් සිදු කරන ක්ෂේත්‍රයක්. අද අපේ රට දෙස බැලූ විට දැවන්ත ගැටලු කිහිපයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අවස්ථාව වන විට රාජ්‍ය යාන්ත්‍රණයම නතර වෙලා තිබෙන්නේ. සේවක වැඩවර්ජන පවතිනවා. රටේ සංවර්ධනයට වගේම රටේ ආර්ථිකයටත් මේ වර්ජන බලපානවා.

පරිපාලන නිලධාරීන්ගේ වැඩවර්ජන නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම නැවතිලා. මේ කාරණා සියල්ල යටපත් කරමින් දේශපාලනය ගැන පමණක් ම කතා කරමින් ජනාධිපතිවරණ අපේකෂකයන් ලෙස පුද්ගල ප්‍රතිරූප ගොඩනංවමින් සිටීම නිසා අපේ රටේ ආර්ථිකය තවත් පහළ යනවා. මේ නිසා ගොඩ ගන්න බැරි අතුරු ප්‍රශ්න රැසකට අපට මුහුණ දෙන්න වෙනවා.

මේ ගැටලු විසදන්නට හැකි අවස්ථාවේ විසඳන්නේ නැතිව පුද්ගල ප්‍රතිරූප කෙරෙහි අවධානය යොමු කරවමින් කටයුතු කිරීම පාලකයින් විසින් දැන්වත් නතර කළ යුතුයි. අපේ රටේ තරග විභාග රැසක් තිබෙනවා. පසුගිය කාලේ එයින් එක් විභාගයක් අවසන් වෙලා මේ වන විට ඇඟයීම් කටයුතු සිදු වෙනවා. තවත් විභාගයක් ඉදිරියේදී පැවැත්වෙනවා. මේවට ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවා. අධ්‍යාපනය කියන්නේ අද සමාජයේ චල්‍යතාවයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලබන සාධකයක්. මේ වෙනුවෙන් දරුවන් අමතර පන්ති යනවා. විවිධ පාඨමාලා හදාරනවා. ඒ පමණක් නොවේ. අනිවාර්ය අධ්‍යාපනය ඇති කරන්නට රජය අනෙක් පැත්තෙන් තීරණය කරනවා. ඒ වගේ ම පාසල් පද්ධතිය තුළ විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මේ සියල්ල අත හැර පුද්ගලයන් දෙතුන් දෙනෙක් අල්ලගෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පමණක් අවධානය දීමෙන් අපේ රට එකම තැන පල් වෙන තත්ත්වයක් තිබෙනවා.

පුද්ගලයින් පෙරටු කර ගෙන ඒ අයට රට කරන්න පුළුවන් කිව්වට පළක් නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවද කියලා බලන්නයි ඕනේ. චරිත උඩට ආවට හිතන තරම් සංවර්ධනයක් වෙලා නැහැ. ඒ නිසා රටට අවශ්‍ය වන්නේ අපේ ජාතික සංවර්ධනය සම්බන්ධයෙන් ජාතික වශයෙන් සිතා මතයක් ගොඩනැඟිමයි.

සමන්මලී ප්‍රියශාන්ති, ඉන්දික පොල්කොටුව, සුමේධා නවරත්න, නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න