කොන්දේසිවලට යටත්වී කාගෙන්වත් සහය ගන්නෙ නෑ | දිනමිණ

කොන්දේසිවලට යටත්වී කාගෙන්වත් සහය ගන්නෙ නෑ

එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඕනෑම කෙනෙකුට ජනාධිපති අපේක්ෂකයා විය හැකියි 
- ඇමැති මංගල සමරවීර

කිසිදු කොන්දේසියකට යටත්ව කිසිම පාර්ශවයකින් සහයෝගය ලබා නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී ඊයේ (17) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

සිවිල් සමාජ, ග්‍රාමීය සහ නාගරික ජනතාව යන සියලු දෙනාගේ සහය ලබා ගැනීමට මා කටයුතු කරනවා. යම් පරස්පරයක් තිබෙනවා නම් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සංහිදියාවෙන් එය විසඳා ගැනීමට හැකියි. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, මා ප්‍රජාතන්ත්‍රවාදියක්.

වර්තමාන දේශපාලන වාතාවරණය තුළ එළඹෙන ජනාධිපතිවරයේ දී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ යම් අදහසක් ලබාදෙන්න මේ මාධ්‍ය හමුව කැඳවුයේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මා එළෙඹ තිබෙන තීන්දුව ගැන ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව ඉල්ලීමක් කළා. අපේක්ෂකත්වය පිළිබඳ ගැටලුවක් තිබේ නම් හෝ තවත් අයෙක් එම අපේක්ෂකත්වය ඉල්ලන්නේ නම් හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු කණ්ඩායමත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයත් කැඳවා සාකච්ඡා කර තීන්දු තීරණ ගන්න කියා ඒ අනුව ඉල්ලීමක් කළා. මම ඒ පිළිබඳ ඊයේ දවසෙත් ප්‍රකාශ කළා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අරමුණත් ඔබ සැම දැනුම්වත් කිරීම. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. සමහර කණ්ඩායම් වගේ මේ පක්ෂය තුළ තීන්දු තීරණ ගන්නේ එක පවුලක් කේන්ද්‍රකර ගෙන වත්, එක ඥාති පිරිසක් කේන්ද්‍රකර ගෙනවත්, එක සමාජමය කොටසක් කේන්ද්‍ර කරගෙනවත් නොවේ. එ. ජා. ප. ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලුම ජාතීන් නියෝජනය කරන එක් සිත් භාවය තිබෙන මිත්‍රශීලී පක්ෂයක්. මේ එක්සත් පක්ෂය තුළ තීන්දු තීරණ ගැනීමේ දී අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුගමනය කරනවා. සමහර කණ්ඩායම් වගේ අපේ පක්ෂය පවුලක් කේන්ද්‍ර කරගෙන කාමරයක සාකච්ඡාකර මොනම හේතුවකටවත් අපේක්ෂකයෙක් තෝරා පත් කරගන්නේ නැහැ. මෙතන වෙනස තිබෙන්නේ ආඥාදායකත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර වෙනස. පවුල් බල කේන්ද්‍රීය දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අතර වෙනස. එ. ජා. ප. ය තුළ ප්‍රජාතන්ත්‍රවාදිව තීන්දු තීරණවලට ඒමට අපට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරණ පැවැත්වීමේ දින වකවානු තීන්දු කිරීම ලහි ලහි ප්‍රකාශයට පත් කරන්න සූදානම් මොහොතක මගේ විශ්වාසය හැකි ඉක්මනින් පාර්ලිමේන්තු කණ්ඩායමත්, ක්‍යතෘධිකාරී මණ්ඩලයත් කැඳවා සාකච්ඡාකර, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් තීන්දු තීරණවලට එළඹීම ඉතාම ඉක්මනින් කළ යුතුය යන්නයි. එ. ජා. ප. ය ප්‍රජාතන්ත්‍රවාදීව මේ කටයුතු කරන බව මා නැවත නැවතත් ප්‍රකාශ කරනවා. අපේ පක්ෂයේ න්‍යාය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ අපේ පක්ෂය මේ කාරණාවේදීත් ඒ ආකායෙන්ම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා.

මාධ්‍යවේදියා

ඔබතුමා ලිපිය යැවූ පසු අගමැතිතුමා පිළිතුරු ලබා දුන්නාද?

සජිත් ප්‍රේමදාස මහතා

තවම නැහැ.

මාධ්‍යවේදියා

මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නට යම්කිසි හේතුවක් තිබෙනවාද?

සජිත් ප්‍රේමදාස මහතා

මම කියන්නේ අපේකෂකයා තෝරන කටයුතු කඩිනමින් සිදු කරන්න කියා. ඒ ගැන අගමැතිවරයාට දැනුම් දුන්නා.මේ සතියේ හෝ ලබන සතියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාවි.

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන්න පෙර අපේක්ෂකයා පත් කළ යුතුයි කියා සිතනවාද?

සජිත් ප්‍රේමදාස මහතා

අනිවාර්යයෙන්ම

මාධ්‍යවේදියා

මේ අර්බුදයෙන් විපක්ෂයේ අපේක්ෂකයාට වාසියක් ඇතිවේ යැයි හිතෙන්නෙ නැද්ද,

මුදල් ඇමැති මංගල සමරවීර මහතා

සමාවෙන්න, අර්බුදය කියන වචනය පාවිච්චි කරන්න එපා. මේ අර්බුදයක් නොවේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට ඒ පක්ෂයේ ඕනෑම කෙනෙකුට ජනාධිපති අපේකෂකයා ලෙස ඉදිරිපත් වෙන්න ඉඩකඩ තිබෙනවා. අැමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටිස් පක්ෂයේ අපේක්ෂකයන් 10ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එංගලන්තයේ තෙ‍ෙර්සා මේ අගමැතිනිය ඉවත් වෙන විට ඒ සඳහා කිහිපදෙනෙක් ඉදිරිපත් වුණා. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ලක්ෂණයක්. අපේ පක්ෂය එක පවුලක් තමන්ගේ නිදන කාමරයට වෙලා අපේක්ෂකයන් තෝරන්නේ නැහැ. නිල වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙනවා කියා දැනුම් දී තිබෙනවා. තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා නම් එයත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ දී සාකච්ඡාකර බැලිය හැකියි. මෙය අර්බුදයක් නොවෙයි පක්ෂයේ ශක්තිය.

මාධ්‍යවේදියා

සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව ඉන්න අය ගැන විනය පරීක්ෂණ කරනවා කියා මතවාදයක් යනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

සජිත් ප්‍රේමදාස මහතා

දේශපාලන ක්‍රියාවලියේ දී මෙවැනි දේ සිදුවෙනවා. මේවා ගණන් ගත යුතු නැහැ.

මාධ්‍යවේදියා

එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලැබුණොත් මොකද කරන්නේ?

සජිත් ප්‍රේමදාස මහතා

එහෙම මතයක් මගේ ළඟ නැහැ. මට පූර්ණ විශ්වාසයක් තිබෙනවා අපේක්ෂකත්වය ලැබෙන බව. ඒ විශ්වාසය හා පිළිගැනීම තුළ ඔබ සදහන් කළ ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ.

මාධ්‍යවේදියා

කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ හෝ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ බහුතරය ලබා ගන්න පුළුවන් කියා ඔබට විශ්වාසයක් තිබෙනවාද?

සජීත් ප්‍රේමදාස මහතා

ඒ නිසාමයි මම ඉදිරිපත් වෙලා තිබෙන්නේ.

මාධ්‍යවේදීයා

2015 වසරේ ජනාධිපතිවරණයේ දී රාජිත, චම්පික රණවක, අර්ජුණ රණතුංග වැනි නායකයන් එක්සත් ජාතික පෙරමුණට සහයෝගය දැක්වූවා. ඔබටත් ඔවුන්ගේ සහාය ලබාගන්න පුළුවන් වේවි කියා හිතනවාද?

සජිත් ප්‍රේමදාස මහතා

සිවිල් සමාජ, ග්‍රාමීය ජනතාව, නාගරික ජනතාව වැනි කොටස් රාශියක් සිටිනවා. ඒ සියලුදෙනාගේ සහාය ලබාගැනීමට කටයුතු කරනවා. මේ ඇමැතිවරුන්ගේ බරපතල විරෝධතාවයක් නැහැ. සාකච්ඡාවෙන් සම්මුතියෙන්, සංහිදියාවෙන් අපිට යම් පරස්පරයක් තිබෙනවා නම් විසඳා ගැනීමට හැකියි. මම පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියා කියන්න කැමැතියි. ඒ නිසා එක දවසක නිදාගෙන හීනයක් දැක්ක කියා එය මගේ වත් පක්ෂයේවත් ප්‍රතිපත්තිය වෙන්නේ නැහැ. පොදු ජනමතයට මා ඇහුම්කන් දෙනවා. පොදු ජනතාව කිව්වොත් ඔබතුමා විශ්‍රාම යන්න කියා. මා මෙයින් අයින් වෙනවා. දේශපාලනය නමැති ජීවන ගමන නැතුව මම නැතිවෙන්නේ නැහැ. කාර්යක්ෂම ඇමැතිවරයකු ලෙස මමත් ඉදිරියෙන් සිටිනවා. ජනහිතකාමීව ප්‍රගතිශිලී ලෙස කැපකිරීමකර රටට සේවයක් කරන්න මට හැකි බව විශ්වාසයි.

මාධ්‍යවේදියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කළාද? ඔවුන්ගේ සහයෝගයත් තිබෙනවාද?

සජිත් ප්‍රේමදාස මහතා

දේශපාලන ක්ෂේත්‍රයේ සෑම දෙනා එක්කම අපි සාකච්ඡා කරනවා. පොහොට්ටුවේ යම් යම් සමාජිකයන් සමඟත් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා සියල්ල ඉදිරියේදී අප අනාවරණය කරන්නම්.

මාධ්‍යවේදියා

දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන විට ඔබතුමාට යම් යම් කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවාද?

සජිත් ප්‍රේමදාස මහතා

මම කිසිදු කොන්දේසියකට යටත් වෙන්නෙ නැහැ. කොන්දේසි මත කිසිදු පාර්ශවයන්ගේ සහයෝගයක් ලබාගැනීමේ අරමුණක් අපට නැහැ. නමුත් මනුෂ්‍යත්වය මත අපි ප්‍රතිපත්ති තීන්දු තීරණවලට එළඹෙනවා.

අගමැතිවරයාට යැවූ ලිපියෙන් මා දැනුම් දුන්නේ ජනාධිපතිවරණයට තරඟ වැදීමට මා අපේක්ෂා කරන බව. තවත් එවන් අපේක්ෂාවෙන් සිටින අය ඇත්නම් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් එම තීරණය ගන්නා ලෙසත් දැනුම් දුන්නා. පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය අතර ඉක්මන් හමුවක් මා ඉල්ලා සිටියා. එහි දී සිදු වන විනිවිද භාවයෙන් යුතු සාකච්ඡාවලින් විවිධ අදහස් මතු විය හැකියි. තවත් අපේක්ෂකයින් සිටී නම් ප්‍රජාතන්ත්‍රවාදීව රහස් ඡන්දයක් පවත්වා අදාළ තීරණය ගත හැකියි. ජනතාවගෙන් විශාල පිරිසක් ඉදිරියට පැමිණෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට කැමැත්තෙන් තවත් අය සිටිනවා නම් ඔවුන් ඉදිරියට එනවා නම් මම බොහොම කැමතියි.අපේ පක්ෂය තුළ අධිපතිවාදයක් ඒකාධිකාරයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් ලැබෙන ප්‍රතිඵලය අනුව අපට ඉදිරි කටයුතු කළ හැකියි.

ටී. එන්. ඒ පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තුවේදී, සංවර්ධන කටයුතු මෙහෙයවන අවස්ථා වලදීත්, යාපනයේ පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හිදීත් හමු වුණා. විධායක ජනාධිපති ධූරය පවත්වා ගෙන යන්නේ ද නැත්නම් එය අහෝසි කරනවා ද යන්න පිළිබඳව විද්‍යාණුකූල සමීක්ෂණයක් සිදු කර නැහැ. කෙසේ වෙතත් අවසානයේ දී මම සෑම අවස්ථාවකම සවන් දෙන්නේ මේ රටේ ජනතාවටයි. 2015 දී විධායක ජනාධිපතිධුරය පිළිබඳ අප පොරොන්දුවක් දුන්නා ඒ අනුව මූලික වශයෙන් අප බලතල අඩු කිරීමට කටයුතු කළා.

මේ වන ජනාධිපතිධුරය පවත්වා ගෙන යනවාද හෝ අහෝසි කරනවාද යන්න පිළිබඳ විශේෂඥ උපදෙස්, සාකච්ඡා කරමින් අදාළ සාකච්ඡා සිදු කරමින් පවතිනවා. සෑම විටම ජනතා අදහස් සමගයි. මා ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් මිස ඒකාධිපති නායකත්වයක් අපේක්ෂා කරන්නේ නැහැ. අප කාලයත් සමග ජීවත් විය යුතුයි. නව ප්‍රතිපත්ති සකස් කිරීම පුළුල් දැක්මක් සහිතව සිදු කළ යුතුයි.

2015 දී සිදු වූ සෑම දෙයක්ම රටක් වශයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගොස් තිබෙනවා. එ විධායක ජනාධිපතිධුරය සඳහා පමණක් නොවේ ආර්ථික, සමාජ, වෙළෙද ආදි ප්‍රතිපත්තීන් සහ සියලු ගැටළු සඳහා කාලයට අනුව හැකි පුළුල්ම උපදේශනය ගෙන විසඳිය යුතුයි. අපේ පක්ෂයේ දේශපාලන රාජවංශයක් නැහැ. පවුලේ ආධිපත්‍යය දැරීමක් දේශපාලනයේ නැහැ. ඒ නිසා මා මුළින් ප්‍රකාශ කළ පරිදි ඡන්දයකට නොයා සිටීම අප පක්ෂය තුළ සිදු වන්නේ නැහැ.2015 ආර්ථික සමාජ සන්දර්භය තුළ අප බොහෝ දුරට වෙනස් වී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදී වී තිබීම එක් උදාහරණයක්. යහපාලන ආයතන ස්ථාපිත කළා. නීතිය ඇතුලු ‍සියලු ක්ෂේත්‍රයන් හි යහපත් වෙනස්කම් රාශියක් සිදු කර තිබෙනවා.

ජනාධිපතිධුරයේ බලතල හා කාලය අඩු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සමාජය තුළ ස්ථාපිතකර තිබෙනවා. එම ක්‍රියාවල ප්‍රතිලාබ ලබන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාව. මෙය ජනතාවගේ අනාගතය සහ එහි ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලන ඒකාධිකාරී දේශපාලන ආඥාදායකත්ව තත්ත්වයකට නැවත වරක් මේ රට යාමට අපට ඉඩ දිය නොහැකියි. ඒ නිසා අපි අපේ මව්බිම ආඥාදායකත්වයෙන් බේරා ගත යුතුයි. මගේ අපේක්ෂකත්වය තුළ සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් මේ රට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බවට පත්වේවි.

රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් කර්මාන්ත ඇමැති කබීර් හෂිම්, කන්තා හා ළමා සංවර්ධන ඇමැති චන්ද්‍රානි බණ්ඩාර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

චමීර ඇල්ලදෙණිය සහ ක්‍රිසාන්ති විතාරණ 
ඡායාරූපය - වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න