බණ්ඩාරපොළ නව කම්හලෙන් සුපිරි තේ මල්ලක් | දිනමිණ

බණ්ඩාරපොළ නව කම්හලෙන් සුපිරි තේ මල්ලක්

වතු ජනතාවට සහන රැසක්

අදින් දශක කිහිපයකට පෙර ලාංකීය ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනලද රාජ්‍ය ආයතන අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට හිමි වන්නේ මුල් තැනකි. ඒ රටෙහි ප්‍රධාන අපනයන භෝග වන තේ, පොල්, රබර් හැරුණු විට සාම්ප්‍රදායික නොවන අපනයන භෝග, දැව, ඛණිජ සම්පත් ඇතුළු වස්තු සම්භාරයකින් සමන්විත වතු හා වැවිලි සමාගම් විසින් රජයට උපයා සපයා දෙන ලද ධනස්කන්ධය රටේ දළ ජාතික ආදායමෙහි අගය වඩන්නට මහඟු පිටිවහලක් වූ බැවිනි. දැනුදු එමඟින් අපේ දළ ජාතික නිපැයුමට සපයනු ලබන දායකත්වය මහඟුය.

රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වැවිලි සමාගම් අතරින් ඇරැඹුමේ පටන්ම ශීඝ්‍ර සංවර්ධනයක් හා ඉහළ ආර්ථික ලාභයක් ලබා දුන් සමාගමකි ඇල්කඩුව වැවිලි සමාගම. වර්ෂ 1993 ජුලි මස 23 වැනිදා අරඹන ලද ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු නවයක් වන අතර ඉන් හයක්ම මාතලේ දිසාව තුළ පිහිටා තිබේ. රට මැද ඉතා සරුසාර භූමි ප්‍රදේශයක්ද පහතරට සරු සාර බිම් කොටසක්ද වසා පැතිරුණු ඇල්කඩුව සමාගම් සමූහය සතු මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 4053කි. ඇල්කඩුව, රත්වත්ත, බණ්ඩාරපොළ, පිටකන්ද, හුණුගල, සැලගම, නාලන්ද යන තේ වතුද නාලන්ද, මිල්ලවාන සහ සපුගස්පිටිය යන මිශ්‍ර භෝග වතුද ඊට අයත් වෙයි. නවසිය අනූතුන වසරේදී මෙට්‍රොපොලිටන් සමාගම යටතේ ඇරැඹුණ ඇල්කඩුව වැවිලි සමාගම එදා මෙදා තුර කලින් කලට පත්වූ රජයන් යටතේ විවිධ සමාගම් හා බලධාරීන්ගේ අතින් අතට මාරුවෙමින් විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමින් වර්තමානය වන විට යළිත් රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්ව තිබේ. ඒ අනුව සමාගම මේ ගෙවා දමන්නේ වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ පුරෝගාමීත්වය යටතේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී නාලක මඩවල මහතාගේ පාලන තන්ත්‍රයට අයත් යුගයයි. කලින් කලට වෙනස් වුණු රජයන් හා ඒවා මඟින් පත් කරන ලද ඇතැම් බලධාරීන්ගේ අදූරදර්ශී අකාර්යක්ෂම වැඩපිළිවෙළ නිසා මෑත අතීතයේදී ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් පැවැති ඇල්කඩුව වැවිලි සමාගම වත්මන් රජයේ ක්‍රියා පිළිවෙළ ඔස්සේ යළිත් ලාභ ලබන ආයතනයක් බවට පත්වෙමින් සිටින බව වාර්තා වෙයි. එලෙස ලාභ ලබමින් එකී ලාභයෙන් ප්‍රතිලාභ ලබන සමාගමෙහි දේපළෙන් යැපෙන ජනතාවට සැලසෙන සුබ සිද්ධිය හා සංවර්ධනය පිළිබඳ විමසන්නට පසුගියදා අපි සමාගමේ සභාපති නාලක මඩවල, සාමාන්‍යාධිකාරී සුරේෂ් නවරත්නම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කුඩා නුගවෙල, අලෙවි කළමනාකාර ලලිත් ජයනෙත්ති සහ බණ්ඩාරපොල වතුයායෙහි ජ්‍යෙෂ්ඨ වතු අධිකාරී ප්‍රභාත් කුමාර යන මහත්වරුන් හමු වුණෙමු. සිය සමාගම මෑත කාලීනව ජයගත් සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව ඔවුහු දිනමිණට මෙසේ අදහස් දැක්වූහ.

ඇල්කඩුව වැවිලි සමාගම මෙතෙක් අත්පත් කරගත් ජයග්‍රහණ අතුරින් සුවිශේෂ වන්නේ වසර දාහතක් මුළුල්ලේ වසා දමා තිබුණු සමාගමට හිමිව තිබූ බණ්ඩාරපොළ තේ කම්හල යළි පවරාගෙන එහි තේ නිෂ්පාදනය ඇරැඹීමට හැකි වීම යැයි සභාපති නාලක මඩවල මහතා පවසයි. ඇරඹුමේදී ඇල්කඩුව වැවිලි සමාගමට අයත්ව තිබූ බණ්ඩාරපොළ තේ කම්හලෙහි එම වතුයායට අයත් සියලු වතුවලින් නෙළන ලද දලු අඹරා තේ නිෂ්පාදනය කරනු ලැබිණි. එහෙත් 2002 වසර වන විට එවකට සමාගමෙහි පාලන අධිකාරිය විසින් බණ්ඩාරපොළ තේ කම්හල වසා දමන ලදී. වසර 2006දී ඇල්කඩුව වැවිලි සමාගම විසින් බණ්ඩාරපොළ තේ කම්හල ප්‍රයිඩ් ටී (PRIDE TEA) නම් පෞද්ගලික සමාගමකට බදු දෙනු ලැබිණේ ඉතාම අඩු මුදලකටය. එම සමාගම විසින් නියමිත පරිදි අදාළ බදු මුදල ද ඇල්කඩුව සමාගම වෙත නොගෙවීම හේතුවෙන් 2006 සිට 2019 වසර දක්වා එකී ප්‍රයිඩ් සමාගම රුපියල් මිලියන විසිහතක් ණය වී ඇතැයි ද සභාපතිවරයා කියයි. ඉතා අඩු මුදලකට කම්හල බදුදීමෙන්ද බදු මුදලද නිසි පරිදි නොගෙවීමෙන්ද මතු නොව සමාගමට අයත් තේ වතුවල දලු බැහැර දී තේ නිෂ්පාදනය කර ගැනීමට සිදුවීමෙන්ද එසේ නිපදවන ලද තේ සඳහා නියම මිලක් නොලැබී යාමෙන්ද සමාගමට සිදු වූ පාඩුව අතිමහත් වන්නේ යැයිද සභාපතිවරයා කියයි. එසේ පාඩු ලබමින් සිටියදී 2015 නව රජය බලයට පත්වීමත් සමඟ පත්ව ආ සභාපති නිලූ විජේදාස සභාපතිවරයා විසින් 2017 වසරේදී යළිත් එම තේ කම්හල ඇල්කඩුව වැවිලි සමාගම වෙත පවරා ගන්නට කටයුතු යොදා තිබේ. අනතුරුව සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟම සමාගමෙහි සභාපති ධුරයට පත්වූ නාලක මඩවල මහතාගේද නවීන් දිසානායක ඇමැතිවරයාගේද උත්සාහයෙන් එතෙක් තේ නිෂ්පාදනය සඳහා ඇල්කඩුව සමාගමට තේ මණ්ඩලයෙන් ලැබී නොතිබුණු නිෂ්පාදන අවසරය ලබා ගන්නට හැකි වූ බවත් අනතුරුව පසුගිය මස 17 දින සිට කම්හලේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ බවත් සාමාන්‍යාධිකාරී සුරේෂ් නවරත්නම් මහතා පවසයි.

බණ්ඩාරපොළ තේ කම්හලේ නිෂ්පාදන කටයුතු ඇරඹීම විශාල සටනකින් පසුව ලද ජයග්‍රහණයක් බවත් එමඟින් සමාගමට අයත් සියලුම වතුවල තේ දලු අඹරා ගැනීමට හැකිවීමෙන් සමාගමට විශාල මුදලක් ඉතිරි වන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කුඩා නුගවෙල මහතා පවසයි. වැවිලි සමාගමට අයත් තේ වතුවලින් උසස් මට්ටමේ තේ දලු නෙළනු ලබන අතර මෙතෙක් ඒ සඳහා නියම මිලක් ලබා ගැනීමටද නොහැකි වූ බව පවසන ඒ මහතා දලු බැහැර දී තේ නිෂ්පාදනය කිරීම සඳහා මෙතෙක් වැය කළ මුදලද තමන්ගේම කම්හලෙන් දලු ඇඹරීම හේතුවෙන් ඉතිරිවන බවද කියයි. පසුගිය සමයේ කම්හල නිසි පරිදි ක්‍රියාත්මක නොවූ අතර බණ්ඩාර‍පොල වතුයාය ඇතුළු අවට වතුවලද පෞද්ගලික කුඩා තේ වතු හිමියන්ගේද තේ නිෂ්පාදන කටයුතුවලට එයින් බාධා ඇති විය. කම්හල යළි ඇරැඹීමටත් අනතුරුව වත්තේ දලු නෙළන කම්කරුවාගේ සිට කම්හලට දර සපයන සුළු වෙළෙඳුන් දක්වා වූ ප්‍රදේශවාසී ජනතාවගේද අතමිට සරු වී තිබේ. කම්හලෙහි යළි වැඩ ඇරඹීම හා එයින් ජනතාවට සැලසුන යහපත පිළිබඳ අදහස් දක්වමින් බණ්ඩාර‍පොළ වතුයායෙහි ජ්‍යෙෂ්ඨ වතු අධිකාරී ප්‍රභාත් කුමාර මහතා මෙසේ පැවැසීය.

'බණ්ඩාරපොළ වතුයාය තේ අක්කර 300කින් සමන්විත වෙනවා. තේ වලට අමතර ආර්ථික භෝග ලෙස කරාබු නැටි වගා කර තිබෙනවා. ආර්ථික භෝග ලෙස දැව සපයන්නට වගා කළ වන වගාවන් ද හැඳින්වීමට පුළුවන්. මෙතෙක් කල් අප වතුයාය මෙන්ම සමාගමට අයත් සෙසු වතු වලින් ද නෙළන ලද තේ දලු පිටත කම්හල්වලට දී අඹරා ගන්නට විශාල වියදමක් දරන්නට සිදු වුණා. අප කොතරම් උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කළත් වෙළෙඳපොළෙහි ඊට නියමිත ‍මිල ලබා ගන්නට ද බැරි වුණා. දැන් සමාගමට තමන්ගේම කම්හලක් ඇති නිසා බැහැර ගිය වියදම ඉතිරි වෙනවා. අපේ වතුවල මෙන්ම අවට වතුවල තේ දලු අඹරා දීමෙන්ද සමාගමට අමතර ආදායමක් උපයා ගන්නට හැකි වෙනවා. දැනට වත්තේ ස්ථිර කම්කරුවන් දෙසීයක් සේවය කරනවා. කම්හලේ කාර්ය මණ්ඩලය විසි දෙනයි. දිනකට තේ දලු කිලෝ 500ක් අඹරනවා. සැප්තැම්බර් මාසය අග වන විට එම ප්‍රමාණය කිලෝ දහස දක්වා වැඩි කරගැනීමට අපේක්ෂා කරනවා. කම්හලේ සමස්ත නිෂ්පාදන ධාරිතාව කිලෝ විසිදහසයි. 2019 වසර අග වන විට ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුවල දලු මෙන්ම අවට පෞද්ගලික වතුවල දලුද ඇතුළුව සමස්ත නිෂ්පාදන ධාරිතාව ආවරණය වන පරිදි නිෂ්පාදනය වර්ධනය කිරීම අපේ අරමුණ' යැයිද වතු අධිකාරීවරයා පවසයි.

බණ්ඩාරපොළ වත්තෙන් සෘජුව යැපෙන පවුල් සංඛ්‍යාව හතළිහකි. දර සැපැයීම ඇතුළු වෙනත් සේවා සැපැයීමෙන් වත්තෙන් වක්‍රාකාරව යැපෙන පවුල් සංඛ්‍යාව සීයකට අධිකය. කම්හල යළි වැඩ ඇරැඹීම නිසා මේ පවුල් සියල්ලටම කලක් අහිමිව තිබූ ආදායම් මාර්ග යළි උදා වී තිබේ. පසුගිය සමයේ දෛනිකව වැඩ නොලිබීමෙන් ආර්ථික අහේනියට පත් කම්කරුවන් යළි කම්හලෙහි වැඩ ඇරැඹීමෙන් ප්‍රබෝධයට පත්ව සිටිති. ඒ පිළිබඳ අදහස් දක්වන ඔවුන් පවසන්නේ වසර ගණනාවක් පුරා තමන්ගේ පරම්පරා ගණනක් දිවි සරිකරගත් වතු කම්හල යළි රජයට පවරාගැනීම මහත් සෙතක් වන බවයි. තමන්ගේම වත්තේ කම්හලේ වැඩ ඇරැඹීමෙන් ඔවුනට දිනපතා වැඩ ලැබෙයි. දෛනික වැටුපෙන් දිවි ගෙවන කම්කරුවනට එය විශාල සහනයකි.

කම්හලේ පෞද්ගලික අංශයට පවරාගත් කාලයේ එකී සමාගම විසින් කම්කරුවනට හිමි වැටුප් හෝ අර්ථසාධක අරමුදල් සඳහා අය විය යුතු මුදල් වෙන් කර නොමැත. තේ කම්හල ඇල්කඩුව සමාගම වෙත යළි පවරා ගැනීමෙන් පසු ඉන් ලැබෙන ආදායමෙන් කම්කරුවනට නියමිත පරිදි වැටුප් ගෙවීමට මෙන්ම අර්ථසාධක අරමුදල් සඳහා මුදල් වෙන් කිරීමට මෙන්ම හිඟ වැටුප් ගෙවීමටද හැකි වන බවද වතු අධිකාරිවරයා පවසයි.

කම්කරු සුබ සාධනය හා සංවර්ධනය උදෙසාද සමාගම විසින් ඉටු කරන ලද මෙහෙවර විශාලය. මෙතෙක් ඔවුන් ජීවත්වුණු වර්ග අඩි 100ක නිවාස වෙනුවට වර්ග අඩි 500කින් යුතු කාමර දෙකක් සාලයක් ඉස්තෝප්පුවක් මුළුතැන්ගෙයක් සහ වැසිකිළියකින් යුතු ජල විදුලිය සහිත අලුත්ම නිවසක් සහිත පර්චස් හතක ඉඩම් කැබැල්ලක් සෑම කම්කරු පවුලකටම සින්නක්කරව ලබාදීමට කටයුතු යොදා තිබේ. වතු යටිතල හා කඳුරට ගම්මාන සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන ඉන්දීය ආධාර වැඩසටහන යටතේ වතු මානව සංවර්ධන භාරය මඟින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීමට ආධාර ලැබේ. මේ වන විට බණ්ඩාරපොළ වත්තේ මුල් අදියර වශයෙන් කම්කරු පවුල් පනහක් සඳහා ඉඩම් කට්ටි බෙදා අවසන් වන අතර එක් නිවසකට රුපියල් ලක්ෂ 10 බැගින් නිවාස ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 500ක් ලැබීමට නියමිත බවද අධිකාරි ප්‍රභාත් මහතා පවසයි.

වර්තමානයේ ලෝක වෙළෙඳ පොළෙහි දිසිඳි පොල් සඳහා වන මිල පහත වැටීම හා විවිධ අක්‍රමිකතා හේතුවෙන් ඇල්කඩුව තේ සඳහා නියමිත උපරිම මිල නොලැබීයාම පසුගිය වසරේ බලපෑ දැඩි නියඟය තේ වගාවට අනිසි ලෙස බලපෑම වැනි ඇතැම් පාලනය කළ නොහැකි හේතු මත 2018-19 වසර තුළ සමාගමෙහි ආදායම දළ පසුබෑමකට ලක්වුණද කලට වැසි ලැබීම හා බණ්ඩාර‍පොළ කම්හල යළි වැඩ ඇරැඹීම හා පසුගිය කාලයන්හි සිදු වුණු අක්‍රමිකතා මැඬලන්නට වත්මන් පාලන අධිකාරිය සමත්වීම යන කරුණු මත සමාගමෙහි සමස්ත ආදා‍යමෙහි ක්‍රමික වර්ධනයක් දක්වන බව අලෙවි කළමනාකරු ලලිත් ජයනෙත්ති මහතා පවසයි.

රට මැද අතිශය සරුසාර බිම් කඩක් වසා පැතිරුණු ඇල්කඩුව වැවිලි සමූහය සතු සම්පත්වලින් නිසි ඵල නෙළාගෙන ඒවායෙහි ප්‍රතිලාභය රටේ ආර්ථිකයට මෙන්ම සමාගමෙන් යැපෙන සියලු දෙනාගේම ආර්ථික හා සාමාජීය සංවර්ධනය උදෙසා කැප කිරීමට කටයුතු යෙදීම තම අරමුණ වන අතරම උසස්ම මැදරට තේ නිෂ්පාදනවල ඉමිහිරි රසය ලොවටම හඳුන්වා දෙමින් කේතලෙන් මල්ලක් වෙනුවට සුපිරි තේ මල්ලක් ඉතා ඉක්මනින්ම වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන බවද සභාපති නාලක මඩවල මහතා පවසයි.

සාගරිකා දිසානායක ජයසිංහ 
ඡායාරූප තිලක් පෙරේරා

නව අදහස දක්වන්න