දශක හතරක ගමන් මගේ තවත් දැවැන්ත පියවරක් | දිනමිණ

දශක හතරක ගමන් මගේ තවත් දැවැන්ත පියවරක්

ෆවුස් මොහොමඩ්

තව දින 1යි

මීට දශක හතරකට පෙර මෙරට පාසල් ක්‍රිකට් පිටියට නව ජීවයක් එක් කරමින් ඔබ්සර්වර් පුවත්පත විසින් ආරම්භ කරන ලද පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගැයීමට ලක් කරමින් සම්මානයයට පාත්‍ර කිරීම ජාතික ක්‍රිකට් තලය දස්කම් සපිරි ක්‍රීඩකයන් රැසකගෙන් පෝෂණය වීමට කදිම අඩිතාලමක් වූ බව ප්‍රකට කරුණකි.

ඉන් අනතුරුව පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ එවැනි සම්මාන උළෙලවල් කොතෙකුත් බිහිවූවද ලේක්හවුස් පුවත්පත් සමාගම විසින් හඳුන්වා දුන් මේ මාහැඟි පියවර මෙරට පාසල් ක්‍රිකට් පිටියේ නව සංස්කෘතියක් බවට පත්වී තිබෙන්නේ තරගකාරිත්වය ඉහළ නංවාලමිනි.

ඔබ්සර්වර් -මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලට ඇත්තේ තවත් දිනයක් පමණි. පසුගිය වසරවලදී මෙන්ම දහස් සංඛ්‍යාත පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් මෙම සම්මාන රාත්‍රියට එක්වීම සඳහා සැදී පැහැදී බලා සිටිති.

වසර 2018/19 පාසල් ක්‍රිකට් තරගවාරයේ දස්කම් පෑ විශිෂ්ට ක්‍රීඩකයන් සහ කණ්ඩායම් මෙවර සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. පාසල් ක්‍රීඩකයන් වෙනුවෙන් සම්මාන උළෙල ආරම්භ කරමින් ලේක්හවුස් සමාගම තැබූ දැවැන්ත පියවර තවත් පුළුල් කරමින් පාසල් ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රදානය කිරිම ද මේ වසරේ සිට ආරම්භ කෙරේ. එය මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි උනන්දුවකට හා අවධානයට ලක්වූ සිදුවීමකි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට දායකත්වය ලබා දෙමින් දැනට දශකයකට වැඩි කාලයක් පුරා ඔබ්සර්වර් පුවත්පත සමග අත්වැල් බැඳගත් මොබිටෙල් සමාගම මෙවර 12 වැනි වරටත් සිය අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ. මෙවර සම්මාන උළෙල වර්ණවත් කරමින් අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම බාර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන පිරි නැමීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන අරවින්ද ද සිල්වාය.

වසර 1996 ලෝක එක්දින කුසලානය ශ්‍රී ලංකාවට දිනා ගැනීමට පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද විශිෂ්ට දස්කම් පෑ අරවින්ද ද සිල්වා අතින් සම්මානයට පාත්‍ර වන වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා හෙට රාත්‍රියේදී පාසල් ක්‍රිකට් අඹර දීප්තිමත් කරන තරුවක් බවට පත්වනු ඇත.

නව අදහස දක්වන්න