රට ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් වෘත්තිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා | දිනමිණ

රට ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් වෘත්තිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා

මහින්ද අලුත්ගෙදර

බ්‍රිතාන්‍යයේ හිටපු නියෝජ්‍ය කතානායක ලෝඩ් නෙසබි

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව රට ඉදිරියට රැගෙන යාම සඳහා ශක්තිමත් වෘත්තිකයන් පිරිසක් ශ්‍රී ලංකාව සතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක ලෝඩ් නෙසබි මහතා පැවසීය.

රටක් දියුණු කිරීම සඳහා නායකත්වය ඉතා වැදගත් වන බව පෙන්වාදෙන ඒ මහතා එය පිරිමි ද කාන්තා ද කියා ගැටලුවක් නොවන බවද වෘත්තිකයන් නායකත්වය ලබා දෙන්නේ රට සංවර්ධනයට බවද කීය.

ඒ මහතා මේ බව සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පෙරේදා (17) පැවැති ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ 32වැනි වාර්ෂික සමුළුව අමතමිනි. ‘තිරසාර සංවර්ධනය‘ යන්න තේමාවා කරගනිමින් පැවැති මේ සමුළුව දින දෙකක කාලයක් පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකර තිබෙන අතර දිළිඳුකම, දේශගුණ විපර්යාස, පරිසර සාධක, නීතිය හා සාමය ආදි අංශ කෙරෙහි මේ සමුළුවේ දී විශේෂ අවධානය යොමු කෙරිණි. එළඹෙන 2030 පමණ වනවිට මේ තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක ලෝඩ් නෙසබි මහතා- ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සමුළුවට සහභාගී වෙන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඉතාම වැදගත් සමුළුවකට මම අද සහභාගි වී තිබෙනවා. දකුණු ආඅසියාවට අයත් රමණීය රටක් ශ්‍රී ලංකාව. 2004 වසරේ දී ශ්‍රී ලංකාව ජාතික ව්‍යසනයකට ලක්වුණා. 2009 වසරේ දී ශ්‍රී ලංකාව දරුණු යුද්ධයක් අවසන් කළා. මුහුණට මුහුණ සටන් කර ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරමින් යුද්ධයක් දිනූ පළමු රට ශ්‍රී ලංකාවයි. ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට යම් යම් වැදගත් පියවර රැසක් අනුගමනය කර තිබෙනවා. ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ දී තිරසාර සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමුකර තිබෙනවා.

අද වනවිට ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර විශාල සංවර්ධනයක් ළඟාකරගෙන තිබෙනවා. යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් එම ප්‍රදේශවල විශාල දියුණුවක් දකින්න පුළුවන්. රටක දියුණුවට නායකත්වය ඉතාම වැදගත්.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් වූ කාලයේ පුද්ගලයන් 40,000ක් මියගිය බවට විවිධ පාර්ශ්ව වෙතින් ශ්‍රී ලංකාවට චෝදනා ආවා. නමුත් මම ඒ සම්බන්ධයෙන් සොයා බලද්දී එවැනි පිරිසක් මියගිය බවට කිසිඳු වාර්තාවක් තිබුණේ නැහැ. එසේ විශාල පිරිසක් මියගියා නම් පරීක්ෂණවලින් හෙළි වෙනවා.

දෙවැනි ලෝක යුද සමයේ දී ශ්‍රී ලංකාව විශාල වශයෙන් බ්‍රිතාන්‍යයට සහාය ලබාදී තිබෙනවා. අද වනවිට ශ්‍රී ලංකාව තම රටට සුදුසු සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති නිශ්ශංක පෙරේරා- තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙවර ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ 32 වැනි වාර්ෂික සමුළුව පවත්වනවා. පසුගිය වසරේ දී අපි ඩිජිටල්කරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සමුළුවක් පැවැත්වූවා. අද වනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල ආපදා තත්ත්වයන් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ද කල්තියා අවධානය යොමුකිරීම අවශ්‍ය වෙනවා. තිරසාර ජාතික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබෙනවා. රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා- තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. එළඹෙන 2030 පමණ වනවිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙහිදී ලෝඩ් නෙස්බි සාමිවරයා වෙත විශේෂ තිළිණයක් පිළිගැන්වූ අතර ඔහු ජනාධිපතිවරයාට ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

ඡායාරූප - සුදත් මලවීර, ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න