අධ්‍යාත්මික වංචනිකයෝ | දිනමිණ

අධ්‍යාත්මික වංචනිකයෝ

වංචනික ආත්මීය ගැලවුම්කරුවන් මෙන්ම ගුප්ත විද්‍යා විශාරදයන් සමාජය මත පිළිලයක් ලෙස පැතිරයාම භයානක වසංගතයකි. සෑම උදෑසනක ම රූපවාහිනියෙන් පෙනී සිටින මෙම වංචනිකයෝ ජන ජීවිතයේ ස්වභාවික ගලා යාම විකෘති කොට මිථ්‍යා බලපෑම් මගින් සමාජයේ ඉදිරි ගමනට බාධා පමුණුවති.

කලින් කළ විවිධ අධ්‍යාත්මික හාස්කම්කරුවෝ මෙම දිවයින මත පහළවෙති. විශ්ව ශක්තිය, දෙවිදේවතාවන්ගේ බලවේග, මළවුන්ගේ බැල්ම, යක්ෂයන් ලවා වැඩගැනීම, බන්ධන, අණවින හූනියම්, අධි මානසික බලය වැනි සරළ සිල්ලර දෑ මගින් නිදන්ගත ලෙඩ රෝග සුව කිරීම සහ ප්‍රාතිහාර්ය පෑම වැනි දෑ ගැන ඔවූහූ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, සමාජ මාධ්‍ය විශේෂයන් ම YouTube මගින් පුරසාරම් දොඩවති.

මෑතක දී එවන් වංචනිකයෙක් හොරොව්පතාන ප්‍රදේශයේ රෝගීන් සුවකිරීමට ගොස් සිය රෝග ව්‍යාධිය කෙසේ වෙතත් කීපදෙනෙක් ජීවිතයෙන් සමුගැනීම අවධානයට ලක්කළ යුතු සිදුවීමකි.රාජ්‍යය සිය භූ සීමාව තුළ එවන් වංචනිකයන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩහැරීම ජනයාගේ මූලික අයිතිවාසිකම් පැහැර හැරීමකි.ප්‍රෝඩාකාරී අදහස් ප්‍රචලිත කිරීම, අහිංසකයන් සතු සම්පත් මංකොල්ලය, පිළිගත් වෛද්‍යවරයකු නොවන අයකු රෝගාබාධයන්ට නො නිසි ප්‍රතිකර්ම කිරීම සහ ජීවිත හානියට මඟ පෑදීම ද දරුණු අපරාධයකි.

එහෙත් රාජ්‍යය සිය භූ සීමාව තුළ සිදුවන එවන් අපරාධ හමුවේ නිහඬවීම හෝ මඟහැරයාම නිසා අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට යහපත් අවස්ථාවක් උදා වේ. ආගමික ලෝගුධරයෝ මෙම ව්‍යසනයේ කොටස්කරුවෝය. ඔවුහු ඕනෑම මංපහරන්නකුට සුදු පිරුවට පලවා කමටහන් දීමට තරම් දීන වී සිටිති. අධ්‍යාත්මික (විශ්ව) බලය ඇත්තන් ලෙස පෙනී සිටින සියලු දෙනා සමාජ අපරාධකරුවන් සහ වංචනිකයන් ය. ඔවුහු ආගමික සහ දේශපාලන කඩතිර පසුපස ආවරණය වී 21 වන සියවසේ සමාජය වසර දහස් ගණනක් පිටුපසට ගෙනයාමට වෙහෙසෙති.

අතීතයේ ද මෙවන් වංචනික කොල්ලකරුවෝ විවිධ වෙසින් පෙනී සිටියහ. වර්තමානයේ ඔවූහු තාක්ෂණය උපයෝගි කරගනිමින් අහිංසක මිනිසුන්ගේ අධ්‍යාත්මික ගැලවුම්කරුවන් මෙන් පෙනී සිටිති. ඒ සඳහා ඇතැම් ආගමික ලෝගුධාරීන් සහ ලාභය ම සොයන නො හික්මුණු මාධ්‍ය සමාගම්, කූඨ ව්‍යාපාරිකයන්ට සහාය දැක්වීම නිසා වංචනිකයන්ට සමාජයේ මානසික දුර්වලත්වය කොල්ලකෑමේ අවස්ථාව උදා වේ. අසල්වැසි ඉන්දියාව සහ නේපාලයේ ද වංචනික අධ්‍යාත්මික ගැලවුම්කරුවෝ, සාධුවරු, යෝගීවරු, ෆකීර්වරු, බබාවරු විවිධ වේශයෙන් කලඑළියට පැමිණ සමාජය සූරාකෑමේ යෙදී සිටිති.

වරෙක වංචනිකයෙක් තමා රහත් වූයේ යැයි ප්‍රකාශ කරයි. තවත් අයෙක් මාර්ගඵලයට පැමිණ ඇතැයි සහතික ඉදිරිපත් කරයි. තවෙකෙක් තමාට විශ්ව ශක්තිය ඇතැයි පුරසාරම් දොඩයි. මෙවන් වංචනිකයෝ ප්‍රථම උත්සාහය අසාර්ථක වූ විට ආගමික ලෝගුවට වහන් වී වෙනත් නමකින් සහ වේශයකින් නැවත පෙනී සිටිති. සියල්ල එළිදරව් වූව ද මෙම සමාජය එකී වංචනිකයා මහත් හරසරින් පිළිගෙන අති පූජ්‍යයැයි ඉහළට ඔසවා තබයි. සැබවින්ම මොවුන් මානසික උන්මාදයෙන් පෙළෙන රෝගියෝය. අදෘෂ්‍යමාන ශක්තීන් ඇතැයි පවසන වංචනිකයෝ, අහිංසක ජනයාගේ ජීවිත මත සිය බලය පැතිරීම 21 වන සියවසේ සමාජ ආපදාවකි.

සමාජයේ දරීද්‍රතාව ඉහළ යාම සහ විචාරාත්මක සාක්ෂරතාව පිරිහීම ගතානුගතික ආගම් සහ ගැලවුම්කරුවන්ගේ පහළවීමට විවෘත වේදිකාව නිර්මාණය කරයි. මානව ජීවිතය මත පිළිලයක් ලෙස දලු දමා වැඩී යන ගුප්ත ආගමික උන්මාදය නිදන්ගත මනෝ ව්‍යාධියකි. ගතානුගතික ආගමික මනෝගතයන් ප්‍රචාරණයට පවතින නීතියෙන් කිසිදු බාධාවක් නොමැත.

එමෙන් ම නොහික්මුණ මාධ්‍ය ප්‍රෝඩාකාරී වැඩවසම් චින්තනය විකාශයට, දිවා රාත්‍රියේ සැ දී පැහැ දී සිටියි. එමඟින් ඕනැම වංචනිකයකුට ආත්මීය ගැලවුම්කරුවකු ලෙස ඉස්මතුවීමට ඉඩප්‍රස්ථාව සැලෙසේ. පසුගිය මාර්තු මාසයේ නව දිල්ලි පොලීසිය ‘මුරාත් ද්විවේදි’ නම් අධ්‍යාත්මික වංචනිකයා සිය ආගමික මූලස්ථානයේ දැවැන්ත ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බව හෙළිදරව් වීම නිසා අත්අඩංගුවට ගනු ලැබීය. ‘පරමහම්ස නිත්‍යානන්ද’ නමැත්තා බැංගලෝර් නගරයේ සිය ආරාමයට පැමිණෙන බැතිමතියන් දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් විය.

නාගරික මධ්‍යම පංතිය සහ වෙළෙඳ ප්‍රජාව මොවුන්ගේ අන්ධ අනුගාමිකයන්ය. පසුගිය සතියේ දිල්ලි මහාධිකරණය සිසු සිසුවියන් විභාග සමත්වීම සඳහා ‘නක්ෂත්‍ර’ උපදෙස් ලබා දීම ගැන උසස් විද්‍යාල පරිපාලනයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. ශිෂ්‍යත්ව සහ වෙනත් විභාග සඳහා පෙනීසිටින සිසු දරුවන්ට උසස් සමාර්ථ ලබාදීම සඳහා කාබන් පෑන්වලට ආගමික වතාවත් කර දෙන ආගමික ආයතන මෙම දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබුණි.

ශාක පූජා සහ වෙනත් පුද පූජා මගින් දරුවාගේ පිරිසුදු මනස විකෘති කිරීම මවුපිය අනුදැනුම යටතේ සිදුවෙයි. වංචනික ආත්මීය ගැලවුම්කරුවන් මෙන්ම ගුප්ත විද්‍යා විශාරදයන් සමාජය මත පිළිලයක් ලෙස පැතිරයාම භයානක වසංගතයකි.

සෑම උදෑසනක ම රූපවාහිනියෙන් පෙනී සිටින මෙම වංචනිකයෝ ජන ජීවිතයේ ස්වභාවික ගලා යාම විකෘති කොට මිථ්‍යා බලපෑම් මගින් සමාජයේ ඉදිරි ගමනට බාධා පමුණුවති. විශ්ව ශක්තිය ගැන පුරසාරම් දොඩන කිසිදු වංචනිකයකු එහි අරුත පවා නො දනිති. භෞතිකවිද්‍යා න්‍යායක් මත පදනම් විශ්ව ශක්තිය කිසිදු ප්‍රාතිහාර්යයකින් එක් මානවයකුගේ සිරුර තූළට ඇද ගත නො හැකිය. එමෙන්ම එමගින් රෝගාබාධ සුව කළ හැකි යැයි යමෙක් ප්‍රකාශකරන්නේ නම් හෙතෙම මානසික රෝගියෙකි.

අධ්‍යාත්මික අපරාධකරුවෝ

ඉකුත් දශක කීපය පුරා මෙවන් අධ්‍යාත්මික වංචනිකයන්ගේ අයථා මූල්‍ය ගනුදෙනු, දේශපාලන කුමන්ත්‍රණ, ලිංගික අපහරණ සහ මනුෂ්‍ය ඝාතන ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. ‘භගවාන් රාජ්නීෂ්’ ( ඕෂෝ) 20 වන සියවසේ ඉන්දියාවෙන් ඉස්මතු වූ තවත් වංචනික අධ්‍යාත්මික ගුරුවරයෙකි. මාජවාදය, මහත්මා ගාන්ධි සහ අනෙක් ආගමික ආයතන දැඩි විවේචනයට ලක් කළ ඔහු විකෘති ලිංගික ක්‍රියාකාරකම් සඳහා සිය අනුගාමිකයා මෙහෙය වූ අධ්‍යාත්මික ව්‍යාපාරිකයෙකි. ‘රාජ්නීෂ්’ ජනප්‍රිය වූයේ ලිංගික ගුරු යන වෙළෙඳ සන්නාමයෙනි.

ඔහු එංගලන්තයේ සහ ඔරෙගන් ප්‍රාන්තයේ සිය අනුගාමිකයන් ගබ්සාවට පෙළඹූයේයැයි චොදනා ලැබීය. රාජ්‍ය නීති සම්මත සමාජ අගයන් නොසැලකූ හේ සිය මනාපය පරිදි කාම නිකායක් නිර්මාණය කළේය. ඔහු සතුව ‘රොල්ස් රොයිස්’ ට (Rolls-Royces) රථ 96 ක් තිබිණි. 1984 වසරේ ඔහුගේ ජීවත්‍රස්ත (bioterror) ප්‍රහාරය එක්සත් ජනපදයේ ප්‍රථම ජීවත්‍රස්ත පහරදීමයි.

ඔරෙගන් ප්‍රාන්තයේ තානායම් 10 ක ආහාරවලට ‘සල්මොනෙල්ලා’ බැක්ටීරියා යොදා ආහාර විෂකර වීම නිසා 751 ක් දෙනෙක් රෝගාතුර වූහ. එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම තවත් චෝදනාවකි. 1985 වසරේ දී ආගමන විගමන නීති උල්ලංඝනය නිසා චොදනා ලැබූ හේ සියලු අනුගාමිකයන් (sannyasins) මත් ද්‍රව්‍ය සහ විවෘත ලිංගික හැසිරීම් සඳහා පෙළඹවීමේ අනෙක් චොදනා ලැබීය.

දකුණු ඉන්දියාවේ පුත්තපාර්තී හි විසූ ‘භගවාන් සත්‍ය ශ්‍රී සායිබාබා’ ලොව පුරා රාජ්‍යයන් 126 ක මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසකගේ අධ්‍යාත්මික ගුරුවරයා ය. 2011 වසරේ මියයන විට ඔහු ඉන්දියාවේ විශාල වත්කමක් සහිත අධ්‍යාත්මික ව්‍යාපාරිකයෙකි.

ඉන්ද්‍රජාලක ප්‍රාතිහාර්යයන්, පෑ සායි බාබාට ලිංගික අපයෝජන චෝදනා තිබුණි. අහසින් විභූති අළු මැවීම, රන් භාණ්ඩ මැවීම ආදිය කළ ඔහු අනුගාමිකයන් මෝහනයට පත් කළ වංචනික මායාකරුවෙකි. ඉන්දියානු බුද්ධිවාදීහු මෙම අතිසරළ මැජික් ක්‍රියා දැඩි විවේචනය ලක් කළහ. එහෙත් කිසිදු විවේචනයකින් අන්ධ බැතිමතුන් ගේ විශ්වාසය පළුදු කළ නොහැකි විය. 1993 ජූනි මස 6 දින ආශ්‍රමය තුළ බැතිමතුන් දෙ දෙනකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීම, අයතා ක්‍රම මගින් ඉන්දියානු රුපියල් කෝටි 40.000 ක්, රත්ත්‍රන් කිලෝ 98 ක් සහ රි දී කිලෝ 307 ක් උපයාගැනීම සම්බන්ධව ඔහුට එරෙහි චෝදනා එල්ලවිය.

හර්යානා ප්‍රදේශයේ බර්වාලා හි ආශ්‍රමයක් පවත්වාගෙන යන ‘රාම්දේව්ආනන්ද්’ පංජාබය, උත්තර ප්‍රදේශ්, රාජස්තානය, මධ්‍ය ප්‍රදේශ් සහ දිල්ලියේ ලක්ෂ 25 ක බැතිමතුන් පිරිසකගේ අන්ධ භක්තියට පාත්‍ර වූ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන තවත් ආත්මීය වංචනිකයෙකි. 2006 වසරේ ‘ස්වාමි දයානන්ද් සරස්වතී’ ගේ ආර්‍ය සමාජ සාමාජිකයන් සමඟ ඇති වූ ගැටුමේ දී එක් පුද්ගලයකු මිය යාම ඔහු පිළිබඳ කරුණු අනාවරණය වීමට හේතුවක් විය. ඔහුට එරෙහි ව මනුෂ්‍ය ඝාතන නඩු කීපයක් ඉන්දියානු අධිකරණයේ විභාග වෙයි.

තවත් අධ්‍යාත්මික වචනිකයකු වූ ‘අශ්‍රම් බාබු’ සතුව ආරාම 425 ක් සහ ගුරු කුල 50 ක් ඇත. පසුගිය මාසයේ වයස අවුරුදු 16 ක අහිංසක දලිත් ගැහැනු දරුවකු ජොද්පූර් ආශ්‍රමයේ දී ලිංගිකව අපහරණය කිරීම ඔහුට එරෙහි ව ඇති චොදනාවකි. අක්කර 700 ක ඉඩමක් බලහත්කාරයෙන් සතු කර ගැනීම පිළිබඳ ව ඔහුගේ පුත්‍රයාට එරෙහිව අධිකරණය නඩු දමා ඇත.

‘ස්වාමි නිත්‍යානන්’ යනු ද භාවනා වැඩසටහන් නිසා ජනප්‍රිය අධ්‍යාත්මික ගුරුවරයකු යැයි Watkins’Mind Body Spirit සඟරාව ප්‍රකාශයට පත් කළ පසු YouTube.com හි මිලියන 14 කගේ ආකර්ෂණයට ලක් වූ චරිතයකි. අමෙරිකවේ වෙසෙන ඉන්දියානු ජාතික ආර්ථි රාවෝ නමැති කාන්තාව දූෂණය කිරීම ඔහුට එරෙහි එක් චෝදනාවකි. තවත් වංචනිකයකු වන ‘රාම්දේව් බාබා’ ට අයත් රාම්දේව් භාරය බදු වංචා සහ නිත්‍යානුකූල නොවන මුදල් රැස්කිරීම ගැන ඉන්දියානු රජය පරීක්ෂණ පවත්වයි. ශරීරයේ ඕනෑම අවයවයක ඇති පිළිකා, මාත්ෂරික ගැටිති සුව කිරීමට තමාට ශක්තිය ඇතැයි හෙතෙම මාධ්‍ය මගින් කියා සිටියි.

විනිමය වංචා

‘චන්ද්‍රස්වාමි’ ඉන්දියාවේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ අධ්‍යාත්මික ගුරුවරයාය. ඔහුට විරුද්ධව ඉන්දියානු ඉහළ උසාවිය විදේශ විනිමය වංචා නඩු 13 ක් සඳහා රුපියල් කොටි 9 ක දඩයක් පැනවීය. රාජිව් ගාන්ධි ඝාතන නඩුව විභාග කළ ‘ජෛයින් කොමිසම’ චන්ද්‍රස්වාමිගේ සම්බන්ධය පිළිබඳව සැක පහළ කළේය. ‘ජයෙන්ද්‍ර සරස්වතී’ කන්චි කාමකෝටි පීතම් හි 69 වන ෂංකරාචාර්යවරයාය. 2004 සැප්තැම්බර් 3 දින කන්චිපුරම් හි වර්ධරාජාපෙරුමාල් කොවිලේ කළමනාකරු සන්කර රාමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඔහුට එරෙහි අපරාධ චොදනාවකි. කංචිපුරම් කාමක්ෂි අම්මාන් කෝවිලේ රත්ත්‍රන් කිලෝ 83 ක් අතුරුදහන්වීම ඔහුගේ අනුදැනුම මත සිදු විය.

‘’ආගම සහ බැතිමතා යනු ජලය හා මත්ෂ්‍යයාට සමානය. මත්ෂ්‍යයා ජලයෙන් ඉවත් කළ නො හැකිය. එමෙන් ම බැතිමතා ද ආගමෙන් ඉවත් කිරීම ඉතා දුෂ්කරය. ජලයට මාළුවා ද මාළුවාට ජලය ද අවශ්‍ය මෙන් ම බැතිමතාට ආගම ද ආගමට බැතිමතා ද අවශ්‍ය වෙයි. එක් අයෙක් අනෙකා මත නිරතුරු ව යැපෙයි. එකෙක් අනෙකාගෙන් පෝෂණය වෙයි. යම් විදියකින් ජලයෙන් මාළුවා ඉවත් කළ හොත් ඒ ජීවියා ජලය නොමැති ව මියැදේ. එමෙන් ම බැතිමතා ආගමෙන් ඉවත් කළ හොත් ආගම විසින් බැතිමතාගේ ජීවිතයට එන්නත් කළ මරණ බිය නිසා හෙතෙම කැලඹෙයි. ප්‍රචණ්ඩ වෙයි.

අවසානයේ මානසික ව්‍යාධියෙන් රෝගාතුර වෙයි. වර්තමානයේ ආගමට එහි පැවැත්ම සඳහා බැතිමතා වෙනුවෙන් කළ හැකි කාර්යයන් දෙකක් තිබේ. පළමුවෙන් අන්ධ බැතිමතා මරණය තෙක් සුව නොවන මානසික ව්‍යාධියෙන් රෝගාතුර කළ හැකිය. නැතිනම් ආගම වෙනුවෙන් සිය දිවි පුදන (self-immolation) අන්තවාදී ප්‍රචණ්ඩ ත්‍රස්තවාදියකු බිහි කළ හැකිය. මෙම ව්‍යසනයෙන් අනාගත පරපුර මුදාගැනීම සඳහා විචාරාත්මක සාක්ෂරතාව මත පදනම් බුද්ධිමය සංවාදී අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව සමාජය මතුකර සිටී. ඒ සඳහා පෙළගැසීම බල දේශපාලනික අරගලයට වඩා වැදගත් වගකීමකි’’

නව අදහස දක්වන්න