ග්‍රන්ථ ප්‍රකාශනය කර්තෘ භාගයේ විසම භාග | දිනමිණ

ග්‍රන්ථ ප්‍රකාශනය කර්තෘ භාගයේ විසම භාග

ඕනෑම රටක සමාජ, ආර්ථික, අධ්‍යාපනික සහ සංස්කෘතික ක්ෂේත්‍ර කෙරෙහි ග්‍රන්ථ ප්‍රකාශනය ඍජු බලපෑමක් ඇති කරයි. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සැලකිය හැකි ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය ජීවනෝපාය කරගත් පිරිස අති විශාල බව ශ්‍රී ලංකාව තුළ ඒ පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් අනුමාන කළ හැකිය. ග්‍රන්ථ ප්‍රකාශක,ලේඛක, පාඨක සහ වෙළෙඳ ව්‍යාපාරික යන පාර්ශ්ව හතර මෙහි ප්‍රධාන කොටස්කරුවෝ වෙති. ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා කරන ආයෝජනය සහ ඉන් ලැබෙන ආදායම මෙම පාර්ශ්ව හතර අතර සාධාරණ ලෙස නිසි ක්‍රමවේදයකට අනුව බෙදී යන්නේද යන්න විමසා බැලිය යුතු ය.

පසුගිය සියවසේ මුල් වකවානුවේදී ලේඛකයන් සංඛ්‍යාව සීමාසහිත විය. එහෙත් වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී ඇති අතර සාක්ෂරතාව ඇති බොහෝ දෙනෙක් පොත් පළ කිරීමට පෙළඹී සිටිති. (මෙය ඇතැම් විට පොත්පත්වල ගුණාත්මකභාවයට හානිකර අහිතකර තත්ත්වයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.) 20 වැනි සියවස ආරම්භයේදී නවකතා පොතකින් පිටපත් 25000 ක් පමණ අලෙවි වූ අවස්ථා තිබූ බව වාර්තාගතය. එහෙත් එම සියවස අවසාන වන විට අලෙවිය පහත වැටී තිබූ අතර නවකතා පොතක මුද්‍රණය කරනු ලැබුවේ ද පිටපත් 2000 ක් පමණ සංඛ්‍යාවකි. මේ වන විට මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව 500 තරමට පහත වැටී ඇත.

1977 දී ඇති කරනු ලැබූ පාසල් පොත් නොමිලේ සැපයීමේ ප්‍රතිපත්තිය නිසා ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය ශීඝ්‍ර බිඳවැටීමකට ලක්විය. රටපුරා විසිර තිබූ පොත් අලෙවි හල්වලින් සියයට අනූවටත් වැඩි ප්‍රමාණයක් වැසී ගියේ ය. ඉතිරි පොත්හල්වල පවා පොත් විකිණීම දෙවන තැනට පත්වී වෙනත් භාණ්ඩ අලෙවි කිරීමට ප්‍රමුඛස්ථානය හිමි විය. 20 සියවසේ අවසාන දශකය වන විට මෙම තත්ත්වයෙහි වෙනසක් ඇතිවෙනු දක්නට ලැබේ. විවිධ රාජ්‍ය ආයතනවලට, පාසල් පුස්තකාලවලට, විශ්වවිද්‍යාලවලට සහ පළාත් පාලන ආයතනවලට පොත් මිලට ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබීමත් සමඟ අලුතින් පොත් පළකිරීමේ අවශ්‍යතාව මතු විය. මේ නිසාම දිවයින පුරා අලුතින් පොත්හල් බිහිවන්නට විය.

පොත් මිල කිරීම සහ අලෙවිය

වර්තමානයේ පොතක මිල නියම කරනුයේ නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කිරීමෙනි. නිදසුනක් වශයෙන් පොතක පිටපතක් මුද්‍රණය සඳහා යන වියදම රුපියල් 100 ක් නම් එහි වෙළෙඳ මිල රුපියල් 300 ක් ලෙස නියම කෙරේ. පොත් නිෂ්පාදන වියදම ලෙස සලකා බැලෙනුයේ පරිගණක අක්ෂර සංයෝජනය, කඩදාසි, මුද්‍රණ වියදම, පොත සැලසුම් කිරීමට යන වියදම සහ පිටකවරයට යන වියදම ආදී භෞතික කාරණා පමණකි.

පොතක වැදගත්ම අංගය වන අන්තර්ගතය සඳහා වන බුද්ධිමය දායකත්වය වෙනුවෙන් කිසිදු මුදලක් නිෂ්පාදන වියදමට ඇතුළත් කරනු නොලැබේ. මේ අනුව පොත්වල මිල නියම කිරීම තර්කානුකූල හෝ විද්‍යානුකූල පදනමක් මත නොපිහිටා සිදුකෙරෙන ක්‍රියාවලියක් බව පෙනී යයි. මේ අනුව බලන විට අභ්‍යාස පොතක් සහ අන්තර්ගතයකින් යුත් පොතක් නිෂ්පාදනයට යන වියදම අතර වෙනසක් තිබිය නොහැකිය.

පොත් බෙදාහැරීම සහ අලෙවිය සම්බන්ධයෙන් වර්තමානයේ කටයුතු කරන ආකාරය වන්නේ පොතක විකුණුම් මිලෙන් සියයට 10 ක් සහ මුද්‍රණය කරන ලද පිටපත් සංඛ්‍යාවෙන් සියයට 1 ක් කර්තෘ භාගය වශයෙන් වෙන් කිරීමයි. සමහර ප්‍රකාශකයෝ පොතේ සියලුම පිටපත් විකිණී ඇත යන උපකල්පනය මත පිහිටා පොත නිකුත් කරන අවස්ථාවේම කර්තෘ භාගය ගෙවති. විකිණී ඇති පිටපත් සංඛ්‍යාව අනුව කර්තෘ භාග ගෙවන අවස්ථා සහ පොත පළ කිරීමෙන් වසරක් හෝ ඊට පසුව කර්තෘ භාග ගෙවන අවස්ථා මෙන්ම කර්තෘ භාගය කොහෙත්ම නොගෙවන අවස්ථා ද ඇත.

පොතක විකුණුම් මිලෙන් සියයට හතළිහක් සිල්ලර වෙළෙන්දන්ට වට්ටම් වශයෙන් ලබාදේ. එවිට ග්‍රන්ථ ප්‍රකාශකයාට ඉතිරි වන්නේ විකුණුම් මිලෙන් සියයට 59 ක් පමණි. පොත මුද්‍රණය සඳහා සියයට 33 ක වියදමක් දැරීමට සිදුවන අතර ආයතනයේ පරිපාලන කටයුතු, සේවක වැටුප් සහ ප්‍රවාහන ගාස්තු සඳහා තවත් සියයට 15 පමණ වැය කිරීමට සිදුවෙයි. එවිට ලාභය වශයෙන් ඉතිරි වනුයේ සියයට 11 පමණ ප්‍රමාණයකි. මෙම ගණන් බැලීම සිදුකර ඇත්තේ පොතක සියලුම පිටපත් සංඛ්‍යාව දින කීපයක් තුළ අලෙවි වී ඇත යන උපකල්පනයේ පිහිටා ය.

එහෙත් යථාර්ථය ඊට බෙහෙවින් වෙනස්ය. පිටපත් 1000 ක් මුද්‍රණය කළ පොතකින් මුද්‍රණ වියදම පියවා ගැනීම සඳහා පමණක් අවම වශයෙන් පිටපත් 400 ක් පමණ අලෙවි කළ යුතු වෙයි. පිටපත් 400 ක් අලෙවි කිරීම දවසකින් දෙකකින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. එම කාලය සඳහා තමන් ආයෝජනය කළ මුදලට කිසිදු ප්‍රතිලාභයක් ප්‍රකාශකට නොලැබේ. බැංකු ණයක් ලබාගෙන පොත් ප්‍රකාශනය කළේ නම් අදාළ කාලය සඳහා ද පොලී ගෙවීමට ප්‍රකාශකට සිදුවේ. ප්‍රචාරක කටයුතු සඳහාද පොත් කීපයක් මාධ්‍ය ආයතනවලට ලබා දීමට ප්‍රකාශකට සිදුවෙයි. ඊට අමතරව මුද්‍රණ දෝෂ, එකලස් කිරීමේ අඩුපාඩු, ගබඩාවේදී නාස්ති වීම් ආදිය නිසාද පිටපත් 100ක් පමණ ඉවත දැමීමට සිදුවෙයි.

මේ කාරණා දෙස බලන විට පොත් ප්‍රකාශනය සඳහා ආයෝජනය කළ මුදලට සරිලන ලාභයක් ලැබීම දුෂ්කර බව පෙනී යයි. පොත් ප්‍රකාශකට තමන්ගේම අලෙවි හලක් තිබේ නම් අර්බුදයෙන් යාන්තමින් ගොඩ යා හැකිය. එසේ නොමැති ප්‍රකාශකයා අසීරු තත්ත්වයකට පත්වෙයි. සමහර පොත් ඉතා ශීඝ්‍රයෙන් අලෙවි වන පොත් වැඩි සංඛ්‍යාවක් පොත් සාප්පුවල රාක්කවල දිරාපත් වෙමින් තිබේ.

අලෙවි නොවන පොත් නිසා සිදු වූ පාඩුව අවම කර ගත හැක්කේ ලාභ ලබන පොත්වල අලෙවියෙනි. බැලූ බැල්මට පෙනී යන ආකාරයට ග්‍රන්ථ ප්‍රකාශනය ලාභදායක ව්‍යාපාරයක් නොවේ. එහෙත් දැන් දැන් පොත් ප්‍රකාශනයට ප්‍රවිශ්ට වන පිරිසගේ වැඩිවීමක් දක්නට ලැබේ. රාජ්‍ය ආයතනවලට, පළාත් පාලන ආයතනවලට සහ වෙනත් පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමට ප්‍රතිපාදන ලබා දීම මෙයට එක් හේතුවකි. අනෙක් හේතුව මෙම ව්‍යාපාරය පිටුපස ඇති දූෂිත ගනුදෙනුය. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු වේ.

වෙනත් රටවල ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ තත්ත්වය සොයා බැලීම වැදගත් ය බොහෝ දියුණු රටවල ග්‍රන්ථ ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස පිලිගෙන එයට වෘත්තිමය තත්ත්වයක් ලබා දී ඇත. ලේඛකයා පොතක අත්පිටපත ඉදිරිපත් කළ පසු සමීක්ෂණයක් කොට එය පළ කිරීමට සුදුසු තත්ත්වයක පවතින්නේද වෙනස්කම් සිදු කළ යුතුද යන කාරණා සොයා බැලේ. පොත ප්‍රකාශනයට සුදුසු බව තීරණය කළහොත් පොත සැලසුම් කිරීම, මුද්‍රණය, සෝදුපත් බැලීම, පිටවැස්ම සකස් කිරීම ආදී කාර්යයන් ප්‍රකාශන ආයතනය විසින් සිදු කරනු ලැබේ. ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන් යොදවා සිටින බැවින් එම පොත්වල අක්ෂර වින්‍යාස දෝෂ, පිටු එකලස් කිරීමේ දෝෂ ආදී විවිධ අඩුපාඩු දක්නට නොලැබේ. පොතක මිල නියම කිරීමට පෙර සාමාන්‍යයෙන් වෙළෙඳපොළ සමීක්ෂණයක් සිදු කෙරේ. මෙහිදී පාඨක අවශ්‍යතා, පාඨකයාට පොත මිලට ගැනීමට ඇති හැකියාව, පොතේ අන්තර්ගතයේ වටිනාකම ඇතුළු කරුණු ගණනාවක් සැලකිල්ලට ගනු ලැබේ.

නිෂ්පාදන වියදම

පොතක මිල නියම කරනුයේ අපේ රටේ කරන්නාක් මෙන් නිෂ්පාදන වියදම සලකා බලා නොවේ. පොතේ අන්තර්ගතයේ වටිනාකම සලකා බලාය. වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය සහ වෙනත් විවිධ විෂයයන් අළලා ලියැවෙන පොත්වල මිල අධික එබැවිනි. එම පොත්වලට බොහෝ අවස්ථාවල පර්යේෂණවල ප්‍රතිඵල ඇතුළත්වේ. මිල නියම කිරීමේදී එම පොත රචනා කිරීමට වැය වූ බුද්ධිමය ශ්‍රමයටද මූල්‍යමය වටිනාකමක් දෙනු ‍ලැබේ. එවිට එහි ආර්ථික වාසිය හැමවිටම හිමිවන්නේ පොතේ කර්තෘවරයාට ය. තම කෘතිය අසහාය එකක් බවට කර්තෘවරු විශ්වාස කරති. එහෙත් සියලුම පාඨකයන්ට තම පොත වැදගත් නොවන බව පිළිගැනීමට මැළිවෙති. නිදසුනක් වශයෙන් ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ලියැවෙන පොතක් අන්තර්ගතය අතින් කෙතරම් වැදගත් වුවත් එය අවශ්‍ය වනුයේ එම විෂයය පිළිබඳ උනන්දුවක් දක්වන සීමිත පාඨක පිරිසකට පමණකි. එවැනි පොතකින් පිටපත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම අවශ්‍ය නොවේ.

පොත්වල මිල නියම කිරීමේදී පාඨකයන්ට පොත් මිලට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ද විමසිලිමත් විය යුතුය. ගැටවරයන් සඳහා ලියැවුණ පොතක් නම් එහි මිල අඩු විය යුතුය. එවැනි පොත් මුද්‍රණය සඳහා වැඩි පිරිවැයක් දැරිය යුතු නොවේ. එහෙත් වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, නීතිය වැනි විෂයයනට අදාළ පොතක් වැඩි පිරිවැයක් යොදා හොඳ කඩදාසියේ මුද්‍රණය කොට ශක්තිමත් පිටවැස්මක් යොදා වෙළෙඳපොළට නිකුත් කළ යුතුය. එවැනි පොතක මිල වැඩි වුණත් එය ගැටලුවක් නොවන්නේ එම පොත මිලට ගැනීමට අපේක්ෂිත පාඨක පිරිසට ඒ සඳහා හැකියාව ඇති බැවිනි.

එවැනි පොතකට අඩු මිලක් නියම කළහොත් එය පිළිබඳ පාඨක විශ්වාසය බිඳ වැටී එය මිලට නොගෙන සිටීමටත් ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. එවැනි පොත්වල කර්තෘ භාගය නියම කිරීමේදී ප්‍රකාශක හා කර්තෘ අතර මිල නියම කිරීම පිළිබඳ එකඟතා ගිවිසුමක් ඇති කර ගත යුතුය. කර්තෘවරයා ඉල්ලා සිටින ප්‍රමාණයේ කර්තෘ භාගයක් ගෙවීමට ප්‍රකාශක අකමැති නම් එම කර්තෘවරයා වෙනත් ප්‍රකාශකයකු සොයා යනු ඇත.

පාරිභෝගිකයා පොතක් මිලට ගැනීමේදී එම පොත තමාට වැදගත් වන ආකාරය සහ එහි වටිනාකම සලකා බලයි. පොතේ මිල අඩු නම් එය මිලට ගැනීමට පාරිභෝගිකයා සූදානම්ය. පොතේ මිල වැඩිවුවත් එය තමාට අත්‍යවශ්‍ය නම් මිල ගැටලුවක් කර නොගනී. පොත්වල මිල නියම කිරීමේදී එම පොත අයත් වන ක්ෂේත්‍රය, එම පොත මිලදී ගනීවි යැයි උපකල්පනය කළ හැකි පාඨක සංඛ්‍යාව, අදාළ විෂයය සම්බන්ධයෙන් වෙළෙඳපළේ ඇති අනිත් පොත්වල මිල ගණන් ආදී කරුණු සැලකිල්ලට ගත යුතුය.

නිදසුනක් වශයෙන් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අති විශාල පිරිසක් පෙනී සිටින බැවින් ඊට අදාළ පොත් පිටපත් වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කළ යුතුය. එවිට පිටපතක මිල අඩු කළ හැකිය. අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට අදාළ පොත් සඳහාද නිශ්චිත ඉල්ලුමක් ඇත. එම පොත් අවශ්‍ය පාඨකයා පොත්හලට ගොස් ඒවා මිලට ගනී. එබැවින් එවැනි පොත් සඳහා සිල්ලර වෙළෙන්දාට සියයට 40 ක් වට්ටමක් ලබා දීම අවශ්‍ය නොවේ. එහි වාසිය පාඨකයාට ලබා දිය හැකිය.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මේ සඳහා කදිම නිදසුනකි. එහි පොත්වල මිල නියම කරන්නේ නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කිරීමෙන් නොවේ. එම ආයතනයෙන් සිල්ලර වෙළෙන්දාට ලබා දෙනුයේද සියයට විස්සක වට්ටමකි. එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන්නේ අධ්‍යාපන විෂයයන්ට අදාළ පොත් පමණක් බැවින් ඒ සඳහා නිශ්චිත ඉල්ලුමක් ඇත. මිල නියම කිරීමේදී සහ වට්ටම් දීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ලාභය ප්‍රධාන අරමුණ කර නොගැනීම නිසා එම ආයතනයට පාඨකයන්ට අඩු මිලට පොත් ලබාදීමේ හැකියාව ලැබී ඇත.

ප්‍රබන්ධ කෘතිවලට මිල නියම කිරීමේදී එක් එක් කෘතිය වෙන වෙනම සලකා බැලිය යුතුය. නවකතා පොත් මිලට ගන්නා පිරිසට වඩා පරිවර්තන කෘති මිලට ගන්නා පිරිස වැඩිය. කවි පොත් මිලට ගන්නා පිරිස අඩුය. එහෙත් මේ සියලුම පොත්වලට මිල නියම කිරීමේදී යොදාගනුයේ එකම හැන්දකි. එනම් නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කිරීමේ ප්‍රතිපත්තියයි. මේ නිසා පොතක මිල වැඩිවෙයි.

ප්‍රබන්ධ කෘති මිලදී ගැනීමට පාඨකයන් දක්වන්නේ අඩු සැලකිල්ලකි. ප්‍රබන්ධ කෘති අත්‍යවශ්‍ය නොවන බැවිනි. අඩු පිරිවැයක් යොදා එනම් වටිනාකමින් අඩු කඩදාසි පාවිච්චි කර සිල්ලර වෙළෙන්දාට දෙන වට්ටම අඩු කළහොත් කවි පොත් මීට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කරගත හැකිවනු ඇතැයි උපකල්පනය කළ හැකිය. පොතක කර්තෘවරයාට විකුණුම් මිලෙන් සියයට 10ක් ලබා දෙද්දී පොතේ නිෂ්පාදනයට හෝ අන්තර්ගතයට කිසිදු දායකත්වයක් නොදක්වන සිල්ලර වෙළෙන්දාට සියයට 40 ක වට්ටමක් ලබාදීම එක්තරා ආකාරයක ගැටලුවකි.

සිල්ලර වෙළෙන්දා තම පොත්හලට පැමි‍ෙණන පාඨකයාට පොත විකුණා සියයට 40 ක ලාභයක් උපයතත් ඔහු පොතේ ප්‍රචාරයට හෝ නිෂ්පාදනයට කිසිදු දායකත්වයක් නොදක්වයි. 1977 න් පසුව පොත් හල් වැසී යාමේ අවදානම පැවති සමයේ මෙලෙස සියයට 40 ක වට්ටමක් සිල්ලර වෙළෙන්දාට ලබා දීමට සිදුවී ඇත්තේ එවකට පොත් වෙළෙඳපොළේ පැවති තත්ත්වයට අනුව ය.

එහෙත් දැන් එම අවදානම පහව ගොසිනි. එබැවින් සිල්ලර වෙළෙන්දාට වැඩි වට්ටමක් ලබාදීම ගැන නැවත සලකා බැලිය යුතුය. එහි වාසිය පාඨකයාට ලබාදිය හැකි නම් අගනේය. අලෙවිහලක් ඇති ප්‍රකාශකයා තම අලෙවිහලට පැමිණෙන පාරිභෝගිකයන්ට පොත් විකුණා වැඩි ආදායමක් ලබයි. ඔහු පොත නිෂ්පාදනයට දැරූ වෑයම සමඟ සසඳන විට එහි සාධාරණත්වයක් දක්නට ලැබේ. එපමණක්ද නොවේ. බොහෝ ප්‍රකාශකයෝ තම අලෙවිහලට පැමිණෙන පාරිභෝගිකයන්ට සියයට 10 සිට 30 දක්වා වට්ටමක්ද ලබා දේ.

මිල සූත්‍රය

තමන්ට සියයට 40 වට්ටමක් ලබා නොදුනහොත් අලෙවි හල පවත්වාගෙන යා නොහැකි බවට සිල්ලර වෙළෙන්දන්ගේ පැත්තෙන් තර්කයක් නැගිය හැකි බව ඒ සමඟම පෙනී යයි. තමන්ට ලැබෙන සියයට දහයක කර්තෘ භාගය ප්‍රමාණවත් නොවන බවට බොහෝ කර්තෘවරු මැසිවිලි නගති. සිල්ලර වෙළෙන්දාට සියයට 40 ක් ලබා දෙද්දී තමන්ට සියයට 10 කින් සෑහීමකට පත්වීමට සිදුව ඇති බවට කර්තෘවරු තර්ක කරති. එහෙත් තමන් අතින් ලියැවෙන පොත අලෙවි කිරීම පහසු කාර්යයක් නොවන බව ඔව්හු අවබෝධ කර නොගනිති. දැන් දැන් පළවන බොහෝ පොත්පත් පළ කිරීමට තරම් සුදුසු තත්ත්වයක නොපවතී. සියයට දහයක කර්තෘ භාගය වැඩි කරන ලෙස ඉල්ලීමට වඩා ප්‍රකාශකගෙන් වැඩි කර්තෘ භාගයක් ඉල්ලා සිටිය හැකි පරිදි ගුණාත්මක බවින් උසස් පොතපත ලිවීමට ලේඛකයන් ඉදිරිපත් විය යුතුය.

දැනට පවත්නා පොත්වලට මිල නියම කිරීමේ ක්‍රමය වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වාදීම වඩා යෝග්‍ය වේ. මිල සූත්‍රයක් හඳුන්වාදීම කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය, ජාතික බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, පොත් වෙළෙඳුන්ගේ සංගමය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ අලෙවි විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදුකිරීම යෝග්‍යය. අවසාන වශයෙන් කිව යුතු වන්නේ ග්‍රන්ථ ප්‍රකාශකයාට තම ආයෝජනයට සරිලන ආදායමක් සහ ලේඛකයාට තම බුද්ධිමය දායකත්වය වෙනුවෙන් සාධාරණ ගෙවීමක් ලබා ගැනීමටත් සිල්ලර වෙළෙන්දා ද සුරකිමින් පාඨකයන්ට අඩු මිලට පොත් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

බොබී ජී. බොතේජු

නව අදහස දක්වන්න