සජිත් ජනපති සටන ජය ගන්නා බව සමීක්ෂණවලිනුත් හෙළි වෙලා | දිනමිණ

සජිත් ජනපති සටන ජය ගන්නා බව සමීක්ෂණවලිනුත් හෙළි වෙලා

නුවන් කොඩිකාර

සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හොත් අනිවාර්යෙන් දිනන බවත්, එසේ නොමැතිව වෙන කවුරු හෝ ඉදිරිපත් වුණොත් අනිවාර්යෙන්ම පරදින බවත් සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්න හොත් තමන් පරාජය වෙන මැතිවරණවලට ගොස් කාලය කා නොදමා සුපුරුදු දේශපාලනයට පැමිණීමට පෙර කළ රැකියාව කරගෙන නිදහසේ ඉන්නා බවද හෙතෙම කීවේය.

යම් හෙයකින් ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතාගේ නම ඉදිරිපත් වීමක් සිදුවුණහොත් ඊට වඩාත් සුදුසු කවුරුන් දැයි එහිදී ඡන්දයක් පවත්වා තෝරාගත හැකි බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ඒමේ සටන ජයග්‍රහණය කිරීමට නොහැකි වුණහොත්, තිබූ ජයග්‍රහණය වැළැක් වූ පුද්ගලයකු ලෙස ඉතිහාසය එක් නොවී දේශපාලනයට පැමිණීමට පෙර කළ ඉගැන්වීම් හා ව්‍යාපාර කටයුතුවල යළි නිරත වන බව කියා සිටියේය.

එහෙත් අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙන බවත් එලෙස නොදුන හොත් එය ගන්නා හැටි දන්නා බවත් ඒ මහතා පැවැසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාට නොදී ඉන්න බැහැ. අපිත් සමඟ එකතු වෙලා ඉන්න පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කර ප්‍රකාශ කළේ ඔවුන් සජිත් මහත්තයට සහාය ලබා දෙනවා කියායි. ඒ අය සෘජුව කියනව නම් සජිත් මහත්තයට දෙන්න කියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අති බහුතරයක්, පාක්ෂිකයන් ඉල්ලනව නම් එය නොදී ඉන්න බැහැ. අපි මේ වෙලාවේ කරන්න ඕනේ බහුතරයගේ කැමැත්තට ඉඩ දීමයි. එහෙම නැතුව පරදින අපේක්ෂකයෝ දාගෙන පහසුවෙන් ජයගන්න තිබෙන දේ වළක්වා ගත යුතු නැහැ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට ගෙන ආයෝජනාව සම්බන්ධව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ එය නින්දිත, පරාජීය මානසිකත්වයෙන් ගෙන ආ යෝජනාවක් බවයි. අපි කිසිම වෙලාවක ඒ දේට සහය දෙන්නේ නැහැ. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති කෙනෙක් පත් කරගන්න අවස්ථාව තිබියදීත් මෙවැනි දේ කිරීම විහිළුවක්. සමහරු පෞද්ගලික න්‍යාය පත්‍ර, එහෙම නැත්නම් විවිධ කොන්ත්‍රාත් තමා මේ කරන්නේ. අපි එවැනි කිසි දෙයක් ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නේ නැහැ.

නව අදහස දක්වන්න