ගිනිගත් ලොවක ඕසෝන් දිනය | දිනමිණ

ගිනිගත් ලොවක ඕසෝන් දිනය

ධම්මික සෙනෙවිරත්න

ඉකුත් ජුනි මාසයේදී අධික උෂ්ණත්වය දරාගැනීමට අසීරු වීම හේතුවෙන් ප්‍රංශයේ පාසල් 4000 ක් තාවකාලිකව වසා දැමීමට සිදුවිය. දෙමසක් තුළ රුසියාවේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 17 ක් විනාශ වූ අතර ඇලස්කාවේ අක්කර මිලියන 2.4 ක් ගින්නෙන් දැවිණි. පසුගිය දිනවල ඇමසන් වනයේ ඇතිවූ දහස් සංඛ්‍යාත ලැව්ගිනිවලට හේතුව ද දේශගුණික විපර්යාසයන්ය.

‘ජාත්‍යන්තර ඕසෝන් දිනය‘ සැප්තැම්බර් 16 වැනිදාට යෙදිණි, මෙවර තේමාව වූයේ ‘සුවපත් කිරීමේ වසර 32 ක්‘ යන්නය. ‘මොන්ට්‍රියල් ප්‍රඥප්තිය‘ යටතේ ‍ඕසෝන් වියන සුරැකීමට මෙන්ම දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දරන ලද ප්‍රයත්නය ඉන් අරුත්ගැන්වේ. එමෙන්ම නිරෝගී මිනිසුන් සහ නීරෝගී මිහිතලයක් පිළිබඳ අවශ්‍යතාව ලෝකයට සිහිපත් කිරීම ද ඉන් අරමුණු කෙරේ. මෙවර ඕසෝන් දිනය සැමරුවේ ‘දේශගුණික විපර්යාස‘ යනු හුදු මාතෘකාවක් නොව එහි ඵල විපාක ලෝකය අත්විඳිමින් සිටියදීය. ගෝලීය උණුසුමෙන් ඔබ්බට ගොස් මිහිතලය දැවෙමින් තිබීම ගැන කතා කරන්නට අද ලෝකයට සිදුව තිබේ.

දැවෙන මිහිතලය සිසිල් කරන්නේ කෙසේද යන්න ලෝකය ඉදිරිපිට ඇති දැවැන්ත අභියෝගයකි. එය ජයගැනීමට දරන ප්‍රයත්නයේදී ඕසෝන් වියන රැකගැනීම ද ඉහළින් ම ඇත.

මොන්ට්‍රියල් ප්‍රඥප්තියට අත්සන් තැබීම සිදුවූයේ 1987 සැප්තැම්බර් 16 වැනිදාය. එවක් පටන් එක්සත් ජාතීන්ගේ 49/114 යෝජනා සම්මතය යටතේ සෑම වර්ෂයකම සැප්තැම්බර් 16 වැනිදා දිනය ‘ජාත්‍යන්තර ඕසෝන් දිනය‘ ලෙස නම් කර සැමරීම සිදුවේ.

සූර්යයාගෙන් නිකුත්වන අහිතකර පාරජම්බූල විකිරණ මිහිතලයට පතිතවීම වැළැක්වීම සිදුවන්නේ ඕසෝන් වායු ස්ථරය මඟිනි. කුඩයක් අව්-වැසිවලින් අපට ආරක්ෂාව සපයන්නා මෙන් එම ස්ථරය වියනක් ලෙස ක්‍රියාකර මිහිතලය රැක ගනී. එසේ වුවද නොයෙක් නිෂ්පාදන ද ඇතුළුව මිනිස් ක්‍රියාකාරකම් හේතු‍ෙවන් වායුගෝලයට නිදහස් වන ක්ලෝරොෆ්ලොරෝන්කාබන් (CFC) හා හයිඩ්‍රෝෆ්ලුමොකාබන් (HFC) එම වියනට හානිකළ අතර ඕසෝන් වියන සිදුරුවීම යන්නෙන් අදහස් වන්නේ එම විනාශයයි. එම සිදුර පුළුල්වීමට වළක්වා ගැනීමට ගත හැකි විවිධ පියවර හා ක්‍රියාමාර්ග ගතවූ වසර 32 තුළ ගැනිණ. එහිදී මොන්ට්‍රියල් ප්‍රඥප්තියේ පාර්ශ්වකාර රටවල් 2016 ඔක්තෝබර් 15 වැනිදා ඇතිකරගත් ‘කිගාලි සම්මුතිය‘ වඩාත් වැදගත් පියවරකි.

‘ඕසෝන් වියන‘ පිළිබඳ සොයාගැනීම කළේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු වන ගෝර්ඩ්න් ඩොබිසන් ය. ඒ, වසර 1957 දීය. වායුගෝලයේදී විනයක් ලෙස රැඳෙමින් මිහිතලය රැකගැනීමට ක්‍රියාකළ ද බිම් මට්ටමේදී ඕසෝන් යනු ප්‍රබල මෙන්ම අනතුරුදායක වායු දූෂකයකි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන් වියනට තර්ජන ඇතිවීම අම්ල වැසි ඇතිවීම වැනි බියකරු ප්‍රතිවිපාකවලට හේතුවන බව විද්‍යාඥයෝ අනතුරු අඟවා සිටිති. ශාක ජීවන චක්‍රයට ඇතිවන බලපෑම් ඔස්සේ ආහාර දාමවලට ඇතිවන බලපෑම, සුළං රටා වෙනස්වීම, මිහිතලය උණුසුම් වීම වැනි දෑ ද එහි ප්‍රතිඵල අතර තිබේ.

ඕසෝන් වියනට හානිකරන ක්ලෝරො‍ෆ්ලොරෝන් කාබන් පරිසරයට මුදාහරින හෙයාර් ස්ප්‍රේ, ෆ්රෙෂනර්ස්, සුවඳ විලවුන්, ප්ලාස්ටික් ඇසුරුම් වැනි දෑ භාවිතය අවම කර ගැනීම මෙන්ම ගස් සිටුවීම හා වනාන්තර රැකගැනීම, ගෙවතු වගාවලදී හා වගාබිම්වලදී පරිසර හිතකාමී පොහොර එනම්, කාබනික පොහොර භාවිතය, වාහනවලින් දුම් පිටවීම අවමකර ගැනීම වැනි පියවර ඕසෝන් වියන රැකගැනීම වෙනුවෙන් අපට ගත හැකි පහසු මෙන්ම ඵලදායී ක්‍රියාමාර්ග වේ.

මොන්ට්‍රියල් ප්‍රඥප්තිය මඟින් CFC ඇතුළු ඕ‍සෝන් වියනට අහිතකර වායු හා සංඝටක නිදහස් කරන එවැනි රසායන ද්‍රව්‍ය හා ශීතකරණ, වායුසමීකරණ ආදී උපකරණවල එම දූෂණය 99% කින් වළක්වා ගත යුතු බවට තහංචි පනවා තිබේ. ඉන් බැඳී සිටින රටවල් ඊට එකඟ වී සිටිති.

සාමාජික රටවල් 197 විසින්ම සම්මත කර අපරානුමැතිය ලද එක්සත් ජාතීන්ගේ එකම ප්‍රඥප්තිය ද මොන්ට්‍රියල් ප්‍රඥප්තියය. එය ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටක්ම එකම මට්ටමින් සැලකෙන නමුදු ඒවාට පැවරෙන වගකීම් වෙනස් ය. කෙසේ වුවද, ‍වඩාත්ම වැදගත් වන්නේ සෑම රටක්ම ඉන් බැඳී සිටින අතර නිශ්චිත කාල රාමුවක් තුළ සපුරාලිය යුතු ඉලක්ක ලබා දී තිබීමය. මෙයින් පැහැදිලි වන පරිදි මොන්ට්‍රියල් ප්‍රඥප්තිය යටතේ එළැඹි එකඟතා ප්‍රායෝගිකව සපුරාගැනීම වෙනුවෙන් සමස්ත ලෝකයටම වගකීම පැවරී තිබේ.

මෙවර ජාත්‍යන්තර ඕසෝන් දිනයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මොන්ට්‍රියල් ප්‍රඥප්තිය යටතට ඇතුළත්. 2019 ජනවාරි 1 වැනිදා සිට බලාත්මක වූ කිගාලි සම්මුතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හදවතින්ම සහාය දක්වන ලෙසය. එම ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවහොත් මේ සියවස අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.4 කින් අඩුකර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම, ඕසෝන් වියනේ ආරක්ෂාව ද සැලසේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීමේ දරුණු ප්‍රතිවිපාකයක් වී ඇත්තේ ධ්‍රැව ප්‍රදේශවල හිම කඳු දියවීමට පටන්ගෙන තිබීමය. ඉකුත් ජූලි මාසයේදී පමණක් ග්‍රීන්ලන්තයේ ග්ලැෂියර ටොන් බිලියන 217 ක් ‍එලෙස දියවී ඇති බවට විද්‍යාඥයන් ගණන් බලා තිබේ. වැඩිම අයිස් ප්‍රමාණයක් දියවී ඇත්තේ ජූලි 31 වැනිදාය. එය ටොන් බිලියන 11 කි. ද්‍රව බවට පත්වන අයිස්, සාගර ජල මට්ටම ඉහළ දැමීමට හේතුවන අතර අනාගතයේදී ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ දැනටමත් අනතුරු අඟවා ඇත. මාලදිවයින වැනි දූපත් රාජ්‍ය ලෝක සිතියමෙන් මැකී යාම වළක්වා ගැනීමට සමස්ත ලෝක ප්‍රජාවටම බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

‘වොෂින්ටන් පෝස්ට්‘ වාර්තා කළ පරිදි පසුගිය ජූලි මස වාර්තා වූ මෙම ප්‍රබල ග්ලැෂියර් ඛාදන 2012 වර්ෂයෙන් පසු වාර්තා වූ එවැනි දරුණුම තත්ත්වයය. 2012 දී ග්‍රීන්ලන්තයේ මිදුණු අයිස්වලින් 97% ක් පමණ දියව ගිය බව නිරීක්ෂණය විය. 2019 වර්ෂයේදී මේ දක්වා 56% ක අයිස් ප්‍රමාණයක් දියවී ඇති බවට ගණන් බලා තිබේ. 2012 වසරට වඩා මේ වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ නැඟීම සෙල්සියස් අංශක 15 - 20 අතර ප්‍රමාණයක ඇත. ඉකුත් ජූලි මාසයේදී පමණක් එලෙස දියවූ අයිස් ප්‍රමාණය මුහුදු මට්ටම අඟල් 0.02 කින් ඉහළ දැමීමට තරම් ප්‍රමාණවත් බවට ගණනය කර ඇත.

මෑත භාගයේ වරින්වර අමෙරිකාවේ වෙරළබඩ ප්‍රදේශ ද ඇතුළුව ලොව නොයෙක් තැන්වලින් වාර්තා වූ ගොඩබිම මුහුදු ජලයෙන් යටවීම මේ තත්ත්වය නිසා සිදුවූවකි. ඉකුත් ජුනි මාසය ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයන් සහිත ජූනි මාසයයි. හිම කඳු දියවීමෙන් නොනැවතී ග්‍රීන්ලන්තයේ ඇතැම් ප්‍රදේශවලින් ගිනි ගැනීම් ගැන පවා වාර්තා විය. මෙවැනි වෙනස්කම් වසර 800,000 ක ඉතිහාසයේ නොසිදුවූ ඒවා බව නිරීක්ෂණය කර තිබේ. වරින්වර හටගන්නා දරුණු සුළි කුණාටුවලට ද මෙම දේශගුණික විපර්යාස බලපා ඇති බව පැහැදිලිය.

ඉකුත් ජූලි මාසයේ අයිස් දියවීම පිළිබඳ තතු එසේ වන විට එම ජූලි මාසය ඉතිහාසයට එක්වූයේ වැඩිම උණුසුමක් සහිත මාසය වශයෙනි. මෙතෙක් වැඩිම උණුසුම් මාසය ලෙස වාර්තා වී තිබුණේ 2016 ජූලි මාසයයි. ඊට වඩා සෙල්සියස් අංශක 0.04 කින් උෂ්ණත්වය වැඩිවීම නිසා ඉකුත් ජූලි මාසය එම වාර්තාව බිඳ දමා තිබේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි උණුසුම වැඩිම දිනයක්, සතියක් හෝ මාසයක් යනු හදිසි සංසිද්ධියක් නොව කලක් තිස්සේ සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. මිහිතලය උණුසුම් වීමට වැඩි දායකත්වයක් ලැබී ඇත්තේ මානව ක්‍රියාකාරකම් විසිනි. එම ක්‍රියාකාරකම් වැළැක්වීමෙන් තොරව උණුසුම අවම කළ නොහැකිය.

ඉකුත් ජූලි මාසය අප්‍රිකා මහාද්වීපයට උණුසුම වැඩිම මාසය විය. ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් සිය ඉතිහාසයේ උණුසුම්ම දවස් ගෙවා දැමුවේ ද ජූලි මාසයේදීය. එකී උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් සාගරයේ උෂ්ණත්වය ද ඉහළ ගියේය. විසිවැනි සියවසේ එම සාමාන්‍ය අගයට වඩා සාගරය ෆැරන්හයිට් අංශක 1.5 කින් වැඩිවිණි.

ඉකුත් ජූලි මාසය එක දිගට වැඩි උෂ්ණත්ව අගයක් සලකුණු කළ 43 වැනි ජූලි මාසයයි. එමෙන්ම වැඩි උෂ්ණත්ව අගයක් දැක්වූ 415 වැනි මාසයයි. මෙය දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයකි.

ඉකුත් ජුනි මාසයේදී අධික උෂ්ණත්වය දරාගැනීමට අසීරු වීම හේතුවෙන් ප්‍රංශයේ පාසල් 4000 ක් තාවකාලිකව වසා දැමීමට සිදුවිය. දෙමසක් තුළ රුසියාවේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 17 ක් විනාශ වූ අතර ඇලස්කාවේ අක්කර මිලියන 2.4 ක් ගින්නෙන් දැවිණි. පසුගිය දිනවල ඇමසන් වනයේ ඇතිවූ දහස් සංඛ්‍යාත ලැව්ගිනිවලට හේතුව ද දේශගුණික විපර්යාසයන්ය. දේශගුණික විපර්යාසයන් ඇතිවීමට හේතුව වනාන්තර විනාශය ද ඇතුළුව මිනිස් ක්‍රියාකාරකම් බව ඇමසන් ඛේදවාචකයෙන් ද සනාථ වේ.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා වන ක්‍රියාකාරී සමුළුවට ලෝක ජාතීන් ඉදිරි සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට රැස්වනු ඇත. මෙවර ඕසෝන් දිනය වෙනුවෙන් එ. ජා. මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිකුත් කළ පණිවුඩය මඟින් අවධාරණය කෙරුණේ මොන්ට්‍රියල් ප්‍රඥප්තිය යනු ගෝලීය අභියෝගයන් ජය ගැනීම සඳහා මනුෂ්‍ය වර්ගයාට ඇති හැකියාව දක්වන උත්තේජනාත්මක නිදසුනක් මෙන්ම වර්තමානයේ උද්ගතව ඇති දේශගුණික අර්බුද කළමනාකරණය පිළිබඳ ප්‍රධාන මෙවලමක් ද වන බවයි. නොපමාව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එමඟින් මහලේකම්වරයා පෙන්වා දී තිබිණි.

රටවල් 81 ක් අපරානුමැතිය ලබා දී ඇති කිගාලි සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ද ඉන් පෙන්වා දී ඇත. ධරණීය සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට නම් ඕසෝන් වියනේ යහපැවැත්ම තහවුරු කිරීම මෙන්ම හිතකර දේශගුණික තත්ත්ව පවත්වාගත යුතුය. තවත් දින කිහිපයකින් පැවැත්වෙන දෙශගුණික සමුළුව මේ අවශ්‍යතා තේරුම් ගන්නා මෙන්ම ඉලක්ක සපුරාගැනීම වෙත යොමු වූ හමුවක් වනු ඇත යන්න මහලේකම්වරයාගේ අපේක්ෂාවයි. මේ අභියෝගය තනි රටකට ජයගත නොහැකිය. ඒ සඳහා මුළුමහත් මිනිස් සංහතිය එක්ව නැඟී සිටිය යුතුය.

නව අදහස දක්වන්න