වෛද්‍යවරයකුගේ අට හැවිරිදි දරුවා පැහැරගෙන කෝටි 10ක කප්පම් ගන්නා වෑයම වරදී | දිනමිණ

වෛද්‍යවරයකුගේ අට හැවිරිදි දරුවා පැහැරගෙන කෝටි 10ක කප්පම් ගන්නා වෑයම වරදී

දේවාලයක වැඩ කරන යුවළකගේ කොන්ත්‍රාත්තුවක්

වෛද්‍යවරයකුගේ අට හැවිරිදි දරුවකු රුපියල් කෝටි 10 ක කප්පමක් ලබාගැනීමට පැහැරගැනීමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනකු පොලිස් නිළ ඇඳුම්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත් තොගයක් සමග පසුගිය (21) දා අත්අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලිසිය කියයි. එම දරුවා කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුගේ දරුවකු වන අතර කළුතර ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක හතර වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. එම දරුවා පැහැරගෙන රුපියල් කෝටි 10 ක කප්පමක් ලබාගැනීමට මොවුන් උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි .

මෙම දරුවා පන්තියේ අනෙකුත් දරුවන් අභිබවා දක්ෂතා දක්වන නිසා පැහැරගෙන වදහිංසා කර පියාගෙන් කප්පම් ලබා ගන්නා ලෙස දොඩන්ගොඩ ප්‍රදේශයේ දේවාලයක කටයුතු කරන යුවලක් මෙම කොන්ත්‍රාත්තුව දුන් බව සැකකරුවන් පාපොච්චාරණය කළ බව පොලිසිය කියයි .

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දොඩන්ගොඩ බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා සහ කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහත්වරුන්ගේ උපදෙස් අනුව දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් ක්‍රිශාන්ත මහත්වරු ඇතුළු නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදු කරති.

මීගහතැන්න සමූහ

නව අදහස දක්වන්න