වැටුප් ප්‍රශ්නයට ජී.එම්.ඕ.ඒ. එකත් වගකිව යුතුයි | දිනමිණ

වැටුප් ප්‍රශ්නයට ජී.එම්.ඕ.ඒ. එකත් වගකිව යුතුයි

වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න ලේකම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

රටෙහි මේ වන විට වෘත්තීය සමිති සටන් කිහිපයක් පවතින අතර වෛද්‍ය වර්ජනය ද ඒ අතරින් එකකි. ලොව අන් කිසි තැනක නොමැති ආකාරයට මෙරට වෛද්‍යවරුන් වර්ජනය කරන්නේ මන්ද ? වෛද්‍ය වෘත්තිකයන්ට ඇති වැටුප් ප්‍රශ්නයේ සුලමුල කුමක්ද ? රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින්නේ ද යන්න පිළිබඳ එහා ඉවුර අවධානය යොමු කරන්නේ එහෙයිනි.

*සෑම කාලයක ම වර්ජන රැලි මතුවෙනකොට වෛද්‍ය වෘත්තිකයිනුත් වර්ජනය කරනවා. මොකක් ද මේ අර්බුද ය?

පළවෙනි කාරණය තමයි සෑම වර්ජනයකට ම සෑම වෛද්‍යවරයෙක් ම සහභාගී නොවීම. මේ වර්ජනවලට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොටසක් සහභාගී වෙනවා. මේ වර්ජන පිටු පස්සේ තියෙන්නේ දේශපාලනය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිහා හොඳට බැලුවොත් ඔවුන් වෘත්තිය ප්‍රශ්න විසඳගන්න වර්ජනය කරලා නෑ කියලා පේනවා. මේ අවස්ථාවේදී හදිසියේ ඉදිරිපත් කරන වැටුප් විසමතාවය කියන ප්‍රශ්නයේ සාධාරණත්වයක් තියෙනවා. නමුත්, වැටුප් විසමතාවය විසඳන්න වගේ වර්ජනය කළාට පිටුපස්සේ තියෙන ඇත්ත වුවමනාව වෙනස්.

* වැටුප් විසමතාවය සම්බන්ධයෙන් හඬනැඟීම, ඔබ පවසන වෘත්තීය සංගමයේ අයිතියක් නොවෙයි ද?

මේ ප්‍රශ්නය ගැන මගේ විශ්ලේෂණයට අනුව, පහුගිය රජයටත්, වත්මන් රජයටත් වැඩියෙන් ම කරුණු පෙන්නලා දුන්නේ මම. මේ වැටුප් විසමතා ප්‍රශ්නය තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසමේ ඉඳලා, 6/2006 වැටුප් පරිවර්තනය දක්වා යන එකක්. තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසමේ නිර්දේශ මත තමයි 6/2006 වැටුප් හැදුවේ. එතකොට වෛද්‍යවරුන්ගේ වැටුප් හදන්න හැම කොමිසමක් සමඟම හා ආයතනයක් එක්කම සම්බන්ධ වුණ පුද්ගලයා ඔහු කියලා රජයේ වෛද්‍ය සංගමයේ සභාපතිවරයා පිළිගෙන තියෙනවා. 6/2006 වැටුප් ප්‍රතිපත්තියටත් ගියේ එතුමා. එතුමා ඇවිත් උදම් ඇනුවා මේ වැටුප් ප්‍රතිපත්තිය බිහි කළේ මම යි කියලා. එහෙම කියලා කිව්වේ වෛද්‍යවරුන්ගේ වැටුප් ඉහළ තැනක තිබ්බා කියලයි.

* ඔබ චෝදනා කළත්, වැටුප් විසමතාවය ඉවත් කරන්න කුමන හෝ දායකත්වයක් ලබාදී තිබෙන්නේ ඒ සංගමය නේද?

මේ ගැන හොයලා බැලුවොත්, ඉතා ඈත අතීතයේ ඉඳලාම වැටුප් තලවල අමාත්‍යාංශ ලේකම්ට පස්සේ පරිපාලකයින් සහ වෘත්තීයවේදීන් හිටියා. ඒ වෘත්තීන් අතරිනුත් පරිපාලකයින්ට වඩා වෘත්තීයවේදීන්ගේ වැටුප් ඉහළින් තිබුණා. ඒ අතරිනුත්, වැඩිම වැටුපක් තිබුණේ වෛද්‍යවරයාට. පරිපාලක සහ වෘත්තීයවේදීන්ට පසුව තිබුණේ, ලිපිකරු, තාක්ෂණික සහ විධායක කියන වැටුප් තල. විධායක කියන වචනය තිබුණේ වෘත්තීයවේදීන්ට පස්සේ. ඒ නිසා අපි 6/2006 විසඳුම දකින්නේ ඉතිහාසයේ කළ දුර්වලම වැටුප් විසමතා ඉවත් කිරීමක් විදිහටයි.

එදා මේ චක්‍රලේඛයට වෛද්‍ය සංගමය විරුද්ධ වුණේ නැහැ. ඒකෙන් වුණේ විධායක කියන තනතුර ඊට උඩින් ඉන්න තනතුරකට සමානව තියෙන තැනකට ගියපු එක. එතකොට වෙලා තියෙන්නෙ දීපව්‍යාප්ත සේවයේ හිටපු පරිපාලකයෝ සහ දැන් ඉන්න විධායකයෝ එක පියවරින් පියවර 15ක් ඉස්සරහට ආපු එක. මෙතැනදී වෛද්‍යවරු හලලා අනෙක් අය සේරම විධායක ශ්‍රේණියේ සීනියර් ලෙවල් වන් කියලා දැම්මා. වෛද්‍යවරයා විධායක ශ්‍රේණියේ ලෙවල් ටූ කියලා දැම්මා. ඉලක්කම ලොකු වුණාට අනෙක් හැමෝට ම වඩා පහළට යන ආකාරයට වෛද්‍යවරයාගේ වැටුප හැදුවා. දැන් අපි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්, විධායක තත්ත්වයත් වෛද්‍යවරයාට නෑ නේද කියලා අහනකොට , අපිට පිස්සු කියලා කියනවා.

* ඔබ කියන ආකාරයට මෙතැන තියෙන්නේ 6/2006 චක්‍රලේඛයේ ගැටලුවක් ද?

පරිපාලනය කරන්නේ ආයතන සංග්‍රහය අනුව තමයි . යම් කිසි නිලධාරි කාණ්ඩ දෙකක් ගත්තාම, ඒකෙන් උසස් නිලධාරියා වන්නේ, ආරම්භක වැටුපත්, වැටුප් වර්ධකත්, විශ්‍රාම යන වැටුපත් ගත්තාම දෙකක් වැඩියෙන් තියෙන තනතුර හිමි කෙනා කියලා ආයතන සංග්‍රහයේ පැහැදිලිව කියලා තියෙනවා. අපේ ආරම්භක වැටුප දීප ව්‍යාප්ත සේවාවේ හැමෝටම වඩා වැඩි වුණාට, ඒක විසමතාවක්. ඒ කාලේ නීතී නිලධාරීන්ට වඩා වැඩි වැටුපක හිටපු අපි අද ඉන්නේ ඒ අයට වඩා අඩු වැටුපක. විශ්‍රාම යනකොට අපි අපිට වඩා අඩු වැටුපක හිටපු විධායක ශ්‍රේණියටත් වඩා අඩු වැටුපකට විශ්‍රාම යනවා. වෛද්‍යවරයාට තියෙන වගකීමත් එක්ක එහෙම වෙන්න විදිහක් නෑ. අපි ඒ ගැන වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට කිව්වා ම, ඒ අය මේ කාරණය වහනවා.

එහෙම කරලා අපි කියන්නේ බොරු කියලා, එදා හිටපු අමාත්‍යාංශ ලේකම් හරහා වෛද්‍යවරු හැමෝ ම විධායකයෝ ය, කියලා චක්‍රලේඛයක් ගැහුවා. මුළු රාජ්‍ය සේවයට ම පොදුවේ නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට උඩින් යන්න අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍රලේඛයට බැහැ. මේ කාරණය අපි වරින් වර පෙන්නුවා. එතකොට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා ඒ අය කියන එක පිළිගන්න, අපි කියන එක පිළිගන්න එපා කියලා. මේ අර්බුදය හින්දා තමයි අද GMOA එක කැඩිලා යන්නේ.

* ඔබ වෘත්තීය සංගමයට හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ අර්බුදය වැටුප් කොමිසමට පෙන්නලා දෙන්න පුළුවන්කම තිබියදී එහෙම නොකරන්නේ ඇයි?

රජයේ නිලධාරීන්ගේ සංගමය හැම වැටුප් කොමිසමකට ම මේ කාරණය පෙන්නලා දුන්නා කියලා කිය කිය යනවා. මම අභියෝග කරනවා එහෙම කරලා තියෙනවා නම්, ඒ ලිඛිත සාක්ෂි පෙන්වන්න කියලා. එහෙම ඒ අය පෙන්නලා දීලා නැහැ. අපි වෙනම වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන මේ අර්බුදය විසඳගන්න සටන් කරනවා. අපි වෘත්තීයවේදීන් විදිහට මේ ගැන මහින්ද රාජපක්ෂ රජයටත්, වත්මන් රජයටත් නියමානුකූලව පෙන්නලා දීලා තියෙනවා. කොයිම වෙලාවකවත් වර්ජන කළේ නෑ, තර්ජන කළේ නෑ. අපි වැදගත් විදිහට මේ ප්‍රශ්නය කතා කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ප්‍රශ්නය විසඳන්න කියලා වැටුප් කොමිසමට කිව්වා. මේ රජයේත් වරදක් තියෙනවා. වැටුප් කොමිසමත් එක්ක අපි තුන්පාරක් සාකච්ඡා කළා. මෙතැන අසාධාරණයක් තියෙනවා කියලා ඒ හැම වරක ම අපි ඔප්පු කළා. අපි පෙන්නලා දුන්න කාරණා ඇමැතිවරුත් පිළිගත්තා.

අගමැතිවරයාත් මේ ප්‍රශ්නය විසඳන්න එකඟ වුණා. එහෙම තිබියදීත් මේ අය ප්‍රශ්නය විසඳුවේ නැහැ. අපේ ප්‍රශ්නය එතැන ම තිබියදී නීති නිලධාරීන්ගේ විතරක් වැටුප් වැඩි කළා. එහෙම වැඩි කළා කියලා අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත්, එක පිරිසකට විතරක් ඇයි එහෙම කළේ කියලා අපිට අහන්න වෙනවා. රජය, දීපව්‍යාප්ත සේවයේ ඉන්න විධායක නිලධාරීන්ගේ වැටුප් විසමතාවය විසඳනවා කියලා කිව්වා. ඒක හරි, ඒත් ඒ තනතුරටත් පහළින් අපි තිබ්බ නිසා, අපේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකියන්න ඕනෑ. මේ ප්‍රශ්නයේ නිර්මාතෘ GMOA එක. අපි රජයට කියනවා මේ වෛද්‍ය සංගමයේ සභාපතිවරයා වෛද්‍යවරුන්ට කරලා තියෙන විනාශය ආපස්සට හරවන්නය කියලා.

* මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා නොකර වර්ජනයට යාම අසාධාරණයි කියලා රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා ප්‍රකාශ කළා?

එතුමා කියපු එකයි, තලතා ඇමැතිවරිය කළ ප්‍රකාශය ගැනයි සතුටක් අපිට නෑ. මේ ආණ්ඩුව බිහි වුණ ගමන් අපි මේ බණේ ඒ අයට කිව්වා. අපි ලක්ෂ ගණන් ඉල්ලුවේ නැහැ. වැටුප් වර්ධක දෙනකොට අඩුම වැඩුප් වර්ධකය දීලා තියෙන්නේ වෛද්‍යවරුන්ට. මේ ආණ්ඩුවෙන් වැටුප් වර්ධක දෙකක් හැදුවා. දීප ව්‍යාප්ත සේවාවේ ඉන්න හැමෝට ම 1,600ක වර්ධකයක් තියෙනවා.

අපිට තියෙන්නේ 1,345ක්. ඒකෙනුත් දෙකයි හැදුවේ. ඉතිරි ටික තවම හදන්න තියෙනවා. අපි තරමක් ඉදිරියට ඇවිල්ලා තිබුණත්, ඉතිරි ටික ඉස්සරහට යන්න රජය ප්‍රමාණවත් තරමින් උදව් කරන්නේ නැහැ. ඕනෑම ආණ්ඩුවක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වගේ කෙනෙක් තියාගෙන මේ ප්‍රශ්නය ඉස්සරහට අරන් යනවා කියලා අපිට හිතෙනවා. එයාලා කරන්නේ මේ වෘත්තිය විනාශ කරන එක. එයාලා අනෙක් විධායකයොත් එක් සන්ධානයක් ගහගෙන ඉදලා, ඒ අයගේ වැටුප් වැඩි වෙනකොට මෙයා වර්ජනය කරනවා. දැන් සන්ධානය කැඩිලා. එතකොට රජය කියනවා ඔයාලාගේ වැටුප් වැඩි කරනකොට GMOA විරුද්ධ වෙන නිසා වැටුප් වැඩි කරන්න බැරිලු. මේ වැඩේ හින්දා ඕනෑම ආණ්ඩුවකට මේ ප්‍රශ්නය විසඳන්නෙ නැතිව ලස්සනට යන්න පුළුවන්.

* ඔබ මුලින් GMOA එකට චෝදනා කළේ දේශපාලනය කරනවා කියලයි. නමුත් වෘත්තිකයන් විදිහට දේශපාලන මතයක් දරන්න ඔවුන්ට අයිතිය තියෙනවා නේද?

වෘත්තීය සමිති තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. අපි රජයේ සේවකයෝ විදිහට තියෙන ප්‍රශ්න පවතින රජයත් එක්ක සුහදව විසඳගන්න ඕනෑ. අපි වෘත්තීය සමිති ආඥා පනතේ තියෙන අභිප්‍රායන්ට අනුව ඉන්නවා. ඒ අභිප්‍රායන්ට පිටින් යන්නේ නැහැ. GMOA එක කරන්නේ ඒ අභිප්‍රායන්ගෙන් පිට වැඩ කරනවා. මේ අය කරන්නේ මොනව ද කියලා විශ්ලේෂණයක් කරන්න වෘත්තීය සමිති රෙජිස්ටාර්ට පුළුවන්. මේ අය තනිකරම දේශපාලනිකයි. දින 56න් ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ, මේ අගමැතිවරයාට එන්ට දෙන්න එපා කියලා ජනාධිපතිතුමාට ගිහින් කිව්වා.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කිව්වා. ඒවා කියන්න වෘත්තීය සමිති ආඥා පනතේ තියෙනවා ද? GMOA සභාපතිගේ දැන් වැටුප් පත්‍රිකාවකුයි, 2014ට කලින් තිබුණ වැටුප් පත්‍රිකාවකුයි අරන්, මේ ආණ්ඩුව ආවට පස්සේ සිදු වෙලා තියෙන වෙනස කොහොම ද කියලා බලන්න. අනෙක් වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි වෙන්න ඕනෑ නැද්ද? මේ ප්‍රශ්නයෙන් බැට කන්නේ පැත්තක ඉන්න රෝගීන් නෙවෙයිද?.

* රටේ ගෞරවනීය වෘත්තියක් විදිහට සැලකුණ වෛද්‍ය වෘත්තිය දැන් හෑල්ලු වෙලා කියලා රෝගීන් වෛද්‍යවරයාට ඇඟිල්ල දිගු කරනවා?

පිළිගන්නවා, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඇප කැප වෙන්න ඕනෑ. අපේ බඩවල් පුරවගන්න විතරක් ම බලනවාට වඩා රෝගියා ගැන මුලින් ම බලන්න ඕන. රෝගියාට කරන සේවාව හින්දා තමයි අපිට සුඛෝපභෝගී වාහනවල යන්න, ලොකු වැටුපක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. රජයක් විදිහට මේ කාරණා අවබෝධ කරගන්න ඕනෑ. වෛද්‍යවරයාගේ අභිවෘද්ධිය පැත්තකින් තියලා රෝගියා ගැන බලන්න කිව්වාට වැඩක් නැහැ.

අපි වෘත්තිය සමිති කරන්නේ අපේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන්, එතැනදී රෝගියා දිහා බලන්න අපිට බැහැ. එහෙම වුණත් අපි හැම වෙලාවෙම රෝගියාට ප්‍රමුඛත්වය දෙනවා. මේ දෙක සමාන්තරව පාලනය කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. 2006 ඉදලා එන මේ ප්‍රශ්නය ගැන කොයිතරම් අපි කතා කළා ද? ආණ්ඩුව කියනවා සුහදව විසඳ ගමු කියලා. අපි සුහඳව යනවා කෝ විසඳනවා ද? නෑ නේ. අරගලවලට නොයා මේ ප්‍රශ්නය විසඳගන්න අපි කැමැතියි.

* පහුගිය දවස්වල රට පුරා ඖෂධ හිඟයක් ගැන කතා වුණා. මොකක් ද එහි ඇත්ත නැත්ත?

අපි ප්‍රතිකාර කරන වෛද්‍යවරු. ඔය කියන තරම් ඖෂධ හිඟයක් මේ රටේ නැහැ. ඔය හිඟය කාලෙන් කාලෙට මතු වෙන්න පුළුවන්. යම් රෝහලකට කියන විදිහේ ඖෂධ හිඟයක් ඇති වුණොත්, මිලදී ගන්න හැකි ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. GMOA එක ආණ්ඩුවට ගහන්න මේක පුම්බනවා.

ඖෂධ නැහැ කියලා කියන්න කියලා ඔවුන්ගේ සෑම වෘත්තීය සමිති ශාඛාවකටම කිව්වා. මාරවිල වෘත්තිය සමිති ශාඛාව වගේ තැන් බොරු කියන්න බැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඒ වෘත්තිය සමිති සභාපතිවරයා මාරු කළා. ඔහු බොරු කියන්න බැහැයි කිව්වා ම යහපාලන රජයේ නිලධාරිනුත් ඔහුට ගහනවා. එයා මාරු කරනවා. ඒ නිලධාරියාට ගහන්න එපා කියලා ඇමැතිවරයාත් කියද්දී ලේකම්වරිය ඔහුට ගහනවා.

* ඔබ කියන්නේ, ලේකම්වරිය GMOA එකට සපෝර්ට් කියල ද?

මෙතැන නිලධාරිවාදයක් තියෙනවා. මේ ආණ්ඩුවට එරෙහිව වැඩ කරන්නේ ඒ අය. කනගාටුවට කරුණ තමයි මේ ඇමැතිවරයාවත්, ආණ්ඩුවවත් අපි පෙන්නපු කාරණා දිහා බැලුවේ නැහැ. ඒ නිසා වුණේ රාජ්‍යයට හිතවත් නිලධාරීන් මේකෙන් බැට කාපු එක. මේ කාරණයට කිසි දෙයක් රජය කළේ නැහැ. සමහරවිට තව මාස දෙකකින් උත්තර ලැබෙයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-කැලුම් ලියනගේ 

නව අදහස දක්වන්න