නෙළමු අපිත් අහස් වැස්ස | දිනමිණ

නෙළමු අපිත් අහස් වැස්ස

“අහසින් වැටෙන එක ම ජල බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලායෑමට ඉඩ නොදෙන්න” යැයි කියා සිටියේ මහා පරාක්‍රමබාහු රජු ය. එකී වදන්වල අරුත වටහාගත් අතීත රජවරුන් අහස් දියෙන් කෙත්වතු සරුසාර කිරීමට, මහා වැව් තැනවූ අතර අදටත් එම යෝධ වාරි තාක්ෂණය මෙරට කෘෂිකර්මාන්තයට දැවැන්ත ආශිර්වාදයක් ය.

කෙසේ වෙතත් සෑම වසරක ම පාහේ ගංවතුරින්, නියඟයෙන් අපමණ පීඩා විඳින ශ්‍රී ලාංකිකයන් පරිසරය හා සිදු කරන ගනුදෙනුවේදී බොහෝ දුරට අසමත් වග කිය යුතු ය. කලකට වැසි එමට ය. උතුරා ගලන මහා ජල කඳන් මතින් හරිහම්බ කළ සියල්ල පමණක් නොව, ඇතැම් විට ජීවිත ද ගසාගෙන යනු පෙනේ. තව කලෙක බීමට දිය පොදක් සොයා ඉරිතලා ගිය පොළොව මතින් ගව් ගණන් දුර පියමැනිය යුතු ය. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නියඟයට ලක්වීමේ ප්‍රවණතා ඇති ප්‍රදේශ වෙත ව්‍යසනවලට ඔරොත්තු දෙන, සුරක්ෂිත ආකාරයෙන් පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ඇරැඹීමට ලංකා වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංසදය (Lanka Rain Water Harvesting Forum) පියවර ගෙන ඇත්තේ, අත්‍යවශ්‍ය සමාජ සත්කාරයකට මුලපුරමිනි.

වැසි ජලය රැස් කිරීම ලෙස අර්ථ දැක්වෙන්නේ ගෘහස්ථ භාවිතය, කෘෂිකර්මාන්තය, පාංශු සංරක්ෂණය සහ පාරිසරික කළමනාකරණය සඳහා පොළොවේ ගලා යන ජලය එකතු කිරීම යි. වැසි ජලය පතිත වන ස්ථානයෙන් එකතු කර පසුව භාවිතයට ගැනීම සඳහා ගබඩා කරනු ලැබේ. රැස් කරගත් වැසි ජලය ගබඩා කරගත හැකි ක්‍රම දෙකකි. වහලට වැටෙන වැසි ජලය ටැංකියකට යොමු කිරීමත් පොළොවේ ගලාගෙන යන වැසි ජලය භූගත කිරීමත් එකී ක්‍රම දෙක වේ. ළිං ඇති තැන්වල වැසි ජල ටැංකියෙන් පිටාර ගලන වතුර පයිප්පය ළිඳට යොමු කළ හැකි අතර නැතිනම් වහලේ සිට නළ මඟින් වැසි ජලය ළිඳට යොමු කළ හැකි ය.

ආරක්ෂිත පානිය ජලය

ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනයෙන් 65%ක් පමණ ප්‍රයෝජනයට නොගෙන අපතේ යැවෙන අතර මෙම සංසදයෙන් සිදු කරන්නේ එම අපතේ යන වැසි ජලය නියඟයෙන් පීඩා විඳින පිරිසට ප්‍රයෝජනවත් වන පරිදි යොදාගැනීමට කටයුතු යෙදීම ය.

සංසදය විසින් ක්‍රියාත්මක කරන ලද දැනට අවසාන අදියරේ පවතින වැසි ජලය රැස් කිරීමේ ව්‍යාපෘතිය මඟින් කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ජනතාවගේ ජන ජීවිතවලට එක්කොට ඇත්තේ නව පිබිදීමකි. 2016 වසරේ දී ආරම්භ වූ ගංවතුර හා නියඟයෙන් පිඩා විඳින ප්‍රදේශවලට ආරක්ෂිත පානිය ජලය සැපයීමේ තුන් අවුරුදු ව්‍යාපෘතිය මඟින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ ගංවතුර හා නියං කළමනාකරණයට අදාළ ආපදා අවදානම් අවම කිරීමේ ප්‍රතිපත්ති සහ භාවිතයන් ආයතනීකරණය කිරීම සිදු වේ. USAID (United states Agency For International Development ) මේ සඳහා අනුග්‍රහය දක්වයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය සමඟ සහයෝගයෙන් කටයුතු කරන පාම් පදනම (PALM Foundation) විසින් මඩකළපුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 25ක පවුල් 4200ක් සඳහා ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ද සපයා දී ඇති අතර සිසුන් 10 000ක් පමණ එහි ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටිති. මෙම ග්‍රාම නිලධාරි කොට්ඨාස ගංවතුරට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අතර වඩාත් ම අවදානමට ලක්විය හැක්කේ අඩු ආදායම්ලාභී පවුල් ය. සමස්ත මඩකළපුව දිස්ත්‍රික්කයේ ම නිවාස 30%ක් සඳහා පමණක් නළ ජල ජහසුකම් ඇති අතර බොහෝ දෙනකුට ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය මගින් ජලය ලබා ගැනීමේ පහසුකම් නොමැත.

ගංවතුරින් සහ නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවලට ආරක්ෂිත පානීය ජලය සැපයීමේ තුන් අවුරුදු ව්‍යාපෘතිය මඟින් කිලිනොච්චිය, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල නිවාස 391ක පුද්ගලයන් 17,900කට ආසන්න පිරිසකට ආරක්ෂිත පානීය ජලය ලබාදී ඇති අතර පාසල් 48ක සහ ග්‍රාමීය රෝහල් 10ක වැසි ජල ටැංකි පද්ධති ස්ථාපනය කර තිබේ. ගබඩා පහසුකම් සහ ධාරිතාව අනුව ලීටර් 8,000ක ධාරිතාවයකින් යුත් ගබඩා ටැංකි ගෘහස්ත භාවිතය සඳහා ද, රෝහල් සඳහා ලීටර් 10,000 සිට 16,000ක් දක්වා ධාරිතාවකින් යුත් ටැංකි ද, පාසල් සඳහා ලීටර් 30,000ක ධාරිතාවයකින් යුත් ටැංකි ද ලබාදී ඇත.

වාර්ෂික ව මිලිමීටර් 900ට වඩා අඩු වර්ෂාපතනයක් ලබන වියළි කලාපයේ සවිකර ඇති ගෘහස්ථ වැසි ජලය රැස් කිරීමේ පද්ධති මගින් අවම වශයෙන් ලීටර් 60 -70 අතර ජල ධාරිතාවක් ආහාර පිසීම සහ බීම සඳහා වියළි කාලගුණයක් සහිත දිනවලදී වර්ග මීටර් 50ක වර්ගඵලයකින් යුක්ත වහලයක් මඟින් ලබාගැනීමේ හැකියාව පවතී. වැසි ජල ටැංකි කොන්ක්‍රීට්වලින්, ගඩොලින්, ෆෙරෝ (Ferro) සිමෙන්ති තාක්ෂණයෙන් හෝ ප්ලාස්ටික්වලින් සාදාගත හැක.

වැසි ජලය පිරිසුදු ව එක්රැස් කරගැනීම උදෙසා ක්‍රම දෙකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ටැංකියට වැසි ජලය පිරවීමේදී පළමු වැස්ස ඉවත දැමේ. වැසි රහිත දිගු කලකට පසු ව ඇදහැලෙන වැසි ජලය පහළට ගලා එන්නේ වහලේ රැඳී ඇති කොළ රොඩු, කුණු, දුහුවිලි ද සමඟින් බැවිනි. මුල් ම වැස්ස ගබඩා කරගැනීමෙන් වැළකී සිටීම වැදගත් වන්නේ එබැවිනි. එම ජලය වෙනත් මාර්ගයකින් පිටතට යොමු කරයි. වැසි ජල ටැංකියට ජලය පුරවා ගන්නේ ඉන්පසුව ය. එසේ යොමු කරන විට ද ටැංකියට පෙරණයක් සවි කර ඇත්තේ වැසි ජලය සමඟ ගලා එන කොළ රොඩු ආදිය ටැංකියට එක් වීම වළක්වාලීමට ය.

වැසි ජලය ගුණාත්මක භාවය අතින් යහපත් මට්ටමක පවතී. රසායනික ද්‍රව්‍ය ද අඩංගු නැත. ඇතැම් විට බැක්ටීරියා වැනි යම් විෂබීජයක් ඇතුළත් වීමට හැකියාව පැවතිය ද බීමට ගන්නා ජලය උණු කර පාවිච්චියට ගන්නා විට එම බලපෑම ද අවම වනු ඇත.

සංසදයේ අරමුණු

විවිධ ක්ෂේත්‍රවල කටයුතු කළ කුඩා කණ්ඩායමක් විසින් ලංකා වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංසදය ආරම්භ කළේ 1996 වසරේදී ය. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස එය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ව ඇත. ප්‍රතිපත්ති සැකසීම වැනි කාරණාවලදී මේ සඳහා රජය මැදිහත් වේ. වැසි ජලය ගෘහස්ත පරිභෝජනය සඳහා භාවිත කරන ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දීම සංසදයේ අරමුණ විය. එම අරමුණ හා බැඳුණු විශේෂිත ක්‍රියාපටිපාටියක් පවතින අතර වැසි ජලය භාවිතයට ගැනීමේ ක්‍රියා පිළිවෙත ප්‍රචලිත කිරීම ඉන් එක් පියවරකි. ඒ අනුව ආදර්ශ ටැංකි සකස් කිරීම, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පුහුණු කිරීමේ වැඩමුළු පැවැත්වීම ජල තත්ත්වය පරීක්ෂා කිරීම හා පෙදරේරුවන් සහ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවගේ සිට ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සඳහා මෙම තාක්ෂණය ලබාදෙමිනි.

එපමණක් නොව මෙම ජල ටැංකි භාවිතය සහ ඉදිරියේ දී අවම වියදමකින් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යයනයන් සහ පර්යේෂණ ද සිදු කෙරේ. ජල ටැංකි ප්‍රජාවට ම සකසා ගත හැකි අයුරින් හඳුන්වා දීම, මෙලෙස එක්රැස් කරගන්නා ජලයේ ගුණාත්මකභාවය සහ මේ සම්බන්ධයෙන් අනාවරණය කරගන්නා තොරතුරු ජනගත කරන ආකාරය පිළිබඳව ද මේ වන විට පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. සංසදය විසින් වැසි ජලය රැස් කිරීම සඳහා තාක්ෂණික හා අනෙකුත් තොරතුරු අත් පත්‍රිකා සහ අත්පොත් මගින් සපයනු ලැබේ. එසේ ම වැසි ජලය රැස් කිරීම සඳහා පද්ධති දිවයින පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරන අතර මෙම වැඩපිළිවෙළේදී සංසදය මාධ්‍ය සමඟ ද සහයෝගයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන ජල හිඟයට පිළිතුරක් වශයෙන් වැසි ජලය යොදාගන්නේ කොයි ආකාරයෙන්ද? යන වගත් තම තමන්ට හැකි පමණින් ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දිය හැකි ආකාරය පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. කුඩා ටැංකියක් හෝ සකස්කොට ගෙන අහසින් ඇදහැලී පොළොවට කිඳා බහින වැසි ජලයෙන් කුඩා ප්‍රමාණයක් හෝ රඳවා ගැනීමේ හැකියාව බොහෝ පිරිසකට පවතින නමුත් එවන් උත්සාහයක් හෝ දැරීමට උත්සුක වන්නේ අතිශය සුළු පිරිසකි. නිවෙසේ වහලට එකතු වන වැසි ජලය පීලි මඟින් එකතුකර ගෙන කුඩා ගෙවතු වගාවකට හෝ නිවෙසේ සේදීම් කටයුතු ආදියට යොදාගත හැකිය. අවශ්‍ය නම් උණුකර පෙරා බීමට ද ගත හැකිය. නාගරික ප්‍රදේශවල ජල සම්පාදනයෙන් ලබාදෙන වතුර පාවිච්චි කරන විට ජල බිලක් ගෙවීමට සිදු වේ. ජනතාවගෙන් ඒ වෙනුවෙන් අයකරන්නේ සුළු මුදලක් වුව ද ඒ සඳහා රජයෙන් ද විශාල පිරිවැයක් දැරිය යුතු ය. වැසි ජලය රැස්කර තබාගෙන පරිහරණය කිරීම මඟින් නගරබද ජනතාවට ගෙවීමට සිදු වන ජල බිල ද යම් පමණකට අඩු කරගත හැකිය.

රජයේ වගකීම

වැසි ජලය ප්‍රයෝජනයක් නොගෙන ම අපතේ යෑම වළකා එයින් ප්‍රයෝජනයක් ලබාගැනීමට මහජනයාට ඉඩ සැලසීම වෙනුවෙන් රජයට ද යම්කිසි ආකාරයකින් දායක විය හැකි ය. එසේ ම සංසදයේ ක්‍රියාකාරීත්වයට ආධාර උපකාර කරමින් ශක්තියක් වීමට ද රජයට හැකියාව පවතී. ජල ටැංකි සකස් කරගැනීමට ජනතාවට යම් ආධාර මුදලක් ලබාදීමට ද මෙම වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රචාරණයක් ලබාදීමට ද රජය කටයුතු කරන්නේ නම් වැදගත්ය. විශේෂයෙන් ම උතුරුමැද වැනි පළාත්වල ජලයේ අඩංගු වන රසායන ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශවාසීන් වකුගඩු රෝගවලට ගොදුරු වෙමින් සිටීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති අතර බදුල්ල, මොනරාගල වකුගඩු රෝගීන් බහුල බවට හඳුනාගත් ප්‍රදේශ කිහිපයක ම මෙම වැසි ජලය එක්රැස් කිරීමේ ව්‍යාපෘති අරඹා ඇත. එහිදී වැසි ජල ටැංකි බෙදාදීමක් ද සිදු කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වියදම් ඇතැම් විට සංසදයට දැරිය නොහැකි තරම් ය.

වැසි ජල ටැංකි සඳහා අධික ඉල්ලුමක් පවතින අතර රජයෙන් ජනතාවට වැසි ජල ටැංකියක් ස්ථාපිත කරගැනීමට සහනයක් සලසන්නේ නම් මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති පවතින නමුත් ගැටලුව වන්නේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම යි.

දේශගුණ සහ කාලගුණ වෙනස්වීම් සමඟ අපට ලැබෙන වර්ෂාපතනයේ නිරන්තර වෙනස්වීම් පවතී. ඇතැම් විට කෙටි කාලයක් ඇතුළත වැඩි වර්ෂාපතනයන් ලැබෙන අතර ඉන්පසු දීර්ඝ කාලයක් මුළුල්ලේ අත්විඳින්නට සිදුවන්නේ නියඟයේ පීඩාවන් ය. නොඑසේ නම් වැසි රහිත කාලගුණයක් ය. මේ හේතුවෙන් යම් ආකාරයකට වැසි කාලවලදී වැසි ජලය එක්රැස්කොට තබාගත හැකි නම් වැසි රහිත කාලවලදී ජල අවශ්‍යතා සපුරා ගැනීමට එය යම් තරමක හෝ අස්වැසිල්ලක් වනු ඇත.

වැසි ජලය රැස් කර ප්‍රයෝජන ගැනීම අපට අලුත් දෙයක් නොවන්නේ අතීත රජවරුන් වැව් තනවා වැසි සමයන්හීදී මෙන් ම වැසි රහිත සමයන්වලදී ද වගා කටයුතුවලට ජලය සැපයීමට කටයුතු කළ බැවිනි. එහෙත් වර්තමානයේදී නව තාක්ෂණය හා අත්වැල් බැඳ සිටින අපට පැරණි ක්‍රම මඟ හැරී ගොස් ඇත. වර්තමානයේ අප කරන්නේ ජලය ලබාගැනීම වෙනුවෙන් යම් ප්‍රදේශයක විශාල ජලාශයක් තනවා එමඟින් නගරවලට ජලය පොම්ප කිරීම යි. එහිදී ජලය පොම්ප කරවීම සඳහා ද විශාල පිරිවැයක් ද දරන්නට සිදු වේ. වැසි ජලය ප්‍රමාණවත් පරිදි එක්රැස් කොට තබා අවශ්‍ය කාලවලදී ප්‍රයෝජනයට ගැනීම මඟින් එම වියදම් ද යම් ප්‍රමාණයකට අවම කරගැනීමේ හැකියාව පවතින බව පැහැදිලි ය. එබැවින් අහස් දියෙන් ප්‍රයෝජන ගැනීම සඳහා වන මෙම ව්‍යාපෘතිය වඩාත් විධිමත් ව දීප ව්‍යාප්ත කිරීමට වගකිව යුතු පාර්ශ්වවල උපරිම සහයෝගය ලැබිය යුතු බව සිහිපත් කළ යුතුය.

සටහන-කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න