ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව: අතුරු තහනම දෙසැ. 20 දක්වා | දිනමිණ

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව: අතුරු තහනම දෙසැ. 20 දක්වා

නෙල්කා මැදගෙදර

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදි කිරීමට රුපියල් මිලියන 33ක් රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන දෙසැම්බර් මස 20 දින තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීරණය කෙළේය.

එම නඩුව අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ නියෝගය කරන ලදි.

එම පෙත්සම් විභාගය දෙසැම්බර් මස 10 දින ආරම්භ කිරීමට ද නියම කෙරිණි.

බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මේ පෙත්සම ඊයේ (11) කැඳවන ලදි.

එහි දී පෙත්සම් විභාගය වෙනත් දිනයක සිදු කරන ලෙස පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විරෝධය පළ කෙළේය.

කෙසේ වුවද පෙත්සම් විභාගය කල් තැබීමට අධිකරණය තීරණය කෙළේය.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදි කිරීමට ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33ක් වැය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි නීතිපතිවරයා ‍විසින් නඩු පවරා තිබිණි.

එම නඩුව විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණි.

එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නඩුව විභාගවීම අත්හිටුවමින් ලබන 15වැනි දා තෙක් ක්‍රියාත්මක වන පරිදි අතුරු තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.

නව අදහස දක්වන්න