සුළු පිරිසක් ශ්‍රීලනිපය සුරකින මුවාවෙන් එජාපයට හේත්තු වෙලා | දිනමිණ

සුළු පිරිසක් ශ්‍රීලනිපය සුරකින මුවාවෙන් එජාපයට හේත්තු වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූරකින මුවාවෙන්, පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කර විනාශ කිරිමට සුළු පිරිසක් උත්සාහ දරන බවත් එවැනි කූඨ උපක්‍රමයන්ට හසුනොවන ලෙස සියළු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරන ලද පිරිසක් ‍විසින් මේ උත්සාහය දරන බවත් මේ උත්සාහය වෙනුවෙන් විශාල ලෙස මුදල් පවා වියදම් කරන බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කෙළේය.

පක්ෂය සුරකින මුවාවෙන් පෙනී සිටින මෙම කණ්ඩායමේ සැබෑ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීම වුවද පක්ෂයේ හා රටේ පැවැත්ම වෙනුවෙන් ගතහැකි නිවැරදිම තීන්දු ව ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

මේ සන්ධානගත වීම තුළින් පක්ෂ දෙකේ කිසිඳු පාක්ෂිකයකු හට අසාධාරණයක් නොවන බවත් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ද අදහස් දැක්වූ අතර ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිදුවූ සන්ධාන ගතවීම හේතුවෙන් තවත් පක්ෂ විස්සක් පමණ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහා‍ය දැක්වීමට තීරණය කර ඇති බවයි.

එහිදි වැඩිදුර‍ටත් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගියදා‍ අවසන් වුණා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි දැඩි වෙහෙසක් දැරුවේ නැහැ. පක්ෂය තුළ තිබූ විවිධ අර්බුද වෙනුවෙනව් අපි එම වකවා‍නුවේදී විශාල මහන්සියක් දැරුවා. කොහොම වුනත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි බලාපොරොත්තු වුනාට වඩා ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවන ලද පළමු මැතිවරණ ව්‍යාපාරය ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ්‍ය සඳහන් කළ හැකියි. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන්නේ සියයට විසිහතරක් වැනි ප්‍රතිශතයක්. කොහොම වුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව වැඩ කරනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බලවේගය බවට පත්වූ බව පැහැදිලියි. ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ ලෙස අපි එක්ව සියයට හැටනවයකට අධික ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකිවූවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා

අපගේ පක්ෂ දෙක මේ වනවිට සන්ධානගතවී සිටිනවා. එම සන්ධානගතවීම ඔස්සේ පක්ෂ දෙකේම කිසිම සාමාජිකයකු හ‍ට හානියක් නොවන පරිදි අපි දෙපාර්ශ්වයම කටයුතු කළ යුතුයි. ඒ වගේම වෘත්තිය සමිති සමඟත් අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.‍ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ දෙකේම වෘත්තිය සමිති, පාක්ෂිකයින් ඒකරාශි කරගනිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමයි අපි සියලු දෙනාගේ අරමුණ. පක්ෂ දෙකේම නියෝජිතයින් ඒකාබද්ධ කර ගනිමින් මැතිවරණ කමිටු පිහිටුවනවා. ඒ වගේම අපි පක්ෂ දෙක ලෙස ගිවිසුම් ගතවූයේ විධිමත් භාවයකින් යුතුවයි. එක් පක්ෂයකවත් කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි අපි කටයුතු කළ යුතුයි. අපි පක්ෂ දෙක ලෙස ගිවිසුම් ගතවීමේදී ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා‍.පළාත් පාලන මැතිවරණ වලදී සමාන නියෝජිතත්වයක් ලබාදීම, ප්‍රතිපත්ති සම්පාදනයේදී දායකත්වය ලබා ගැනීම, ඉන් කිහිපයක්.‍

ඒ වගේම හිටපු ජනාධිපතිනි , අපගේ පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා මා සම්බන්ධ වූ කතාබහක් මේ දිනවල සමාජ ගතවී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ යන පක්ෂ දෙක සන්ධාන ගතවීමට අපි තීරණය කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයක් අනුවයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමඟ මගේ කිසිම අමනාපයක් නැහැ. එතුමිය පක්ෂය ගත් තීන්දුව විවේචනය කරමින් මට වට්ස්ඇප් පණිවුඩයක් එවා තිබුණා. මමත් එයට වට්ස්ඇප් පණිවුඩයකින්ම පිළිතුරු දුන්නා. එය සමාජ ජාලය තුළ විවිධ ආකාරයෙන් සංසරණය වෙනවා. එතුමිය අපගේ පක්ෂය වෙනුවෙන් බොහෝ දේවල් කළා. අවුරුදු 17කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කළේ එතුමියයි‍ .අපේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා . එහිදි ආසන සංවිධායකවරුන්ගේ ඉල්ලීම වූයේ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා‍ට කව්රුත් විරුද්ධ වූයේ නැහැ. අපේ නායක ජනාධිපතිවරයා මෙවර ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන්නට ගො‍ඩක් අය උත්සාහ කළා. වෙල්ගම මහතා ඉදිරිපත් කරන්නටත් උත්සාහ කලා. නමුත් මේ අයගේ අවංක උත්සාහය වුනේ මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම නොවෙයි. එක්සත් ජාතික පක්ෂයට හිතවාදී ලෙස දේශපාලන ව්‍යාපාරය මෙහෙයවීමයි. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් ඇතැමුන් මේ උත්සාහයන් තවමත් දරනවා. ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා

අපගේ පක්ෂ දෙක අතර සන්ධාන ගතවීම තුළින් පක්ෂ දෙකේම කිසිවකුට අගතියක් වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදිම ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි අපේක්ෂා කරන්නේ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි. අද වනවිට ආර්ථිකය කඩා වැටිලා, සංචාරක කර්මාන්තය කඩා වැටිලා. අපේ රටේ ඉඩම් වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක් නැහැ. සංචාරක කර්මාන්තය වෙනුවෙන් අපගේ රටේ ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් විදේශිකයින්‍ට හිමිවි තිබෙනවා. මේ දේවල් නිවැරදි විය යුතුයි. නිවැදි ඉඩම් ප්‍රතිපත්තියක්, නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් ආදිය සකස් විය යුතුයි. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැක්මක් තිබෙනවා.

ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාර මා‍ලව සමඟ ජනාධිපතිවරයා අපකීර්තිය‍ට පත්කරන්නට ඇතැමුන් උත්සාහ කලා. ඒ වෙනුවෙන් විශේෂ කාරක සභා ඇතිකළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිටුපස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනුත් සිටින බවයි මගේ විශ්වාසය. පක්ෂය ඇතුළේම මේ විරෝධතා දිගින් දිගටම මතුවෙන ආකාරය දකින්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ. පක්ෂ නායකයින්ගේ කමිටුවේදීත් මේ කාරණාව අපි සාකච්ඡා කළා. ජනාධිපතිවරණ රැස්වීම් වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ට හූ කියන බවට ඇතැමුන් කියනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ලෙස සහභාගී වූවන්ගෙන් හූ කිව්වේ දුමින්ද දිසානායක මහතා‍ට පමණයි. හූ කියපු අනෙක් අයගෙන් වැඩි පිරිසක් පොදුජන පෙරමුණට අයත් මන්ත්‍රීවරුන්මයි. මම දන්නා පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ක්‍රියාවට දැඩිව විරෝධය පළකර තිබෙනවා. මෙය නතර කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත් දැඩිව කියා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා‍

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා බලයට පත්වුනත් ක්‍රියාවට නංවන්නේ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාලනය ගෙන යන වැඩපිලිවෙළයි. මේ අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ, ජයග්‍රහණය කරන්නට උත්සාහ කරන්නේ වෙනම ඊලමක් ඉල්ලා සිටි දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගනිමින්. ඒ වගේම පාස්කු ප්‍රහාර පිළිබඳව චෝදනා එල්ලවූ පිරිස්වල සහාය ද ඇතිවයි. ඉතින් එවැනි කණ්ඩායමකින් වෙනසක් අපේක්ෂා කරන්නට පුළුවන්ද. පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට අපි තීරණය කළේ රට වෙනුවෙන්.

ස්වර්ණා විජේකෝන්, සඳුනි රණසිංහ

නව අදහස දක්වන්න