මග නොදැන යන පුංචි ආණ්ඩු | දිනමිණ


 

මග නොදැන යන පුංචි ආණ්ඩු

සිය වගකීම් පිළිබඳ අංශු මාත්‍රයක අවධානයක් නොදැක්වීම සම්බන්ධයෙන් එක් උදාහරණයක් නම්, ප්‍රාදේශීය ආණ්ඩුවල අවිධිමත් කසළ බැහැර කිරීමේ ක්‍රමයයි. විවෘත භූමිවල කසළ බැහැර කිරීම හැර, වෙනත් කිසිදු තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේදයක් බොහෝ ප්‍රාදේශීය ආණ්ඩුවලට නැත. දූෂිත ලෙස කොන්ත්‍රාත් ලබා ගැනීම, අයථා මාර්ගවලින් මුදල් ඉපයීම, ජාතික දේශපාලකයන්ගේ පාතාල ගනුදෙනුවලට සහාය දැක්වීම, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනීමැරුම්වලට චෝදනා ලබා සිටීම බොහෝ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ නෛසර්ගික ලක්ෂණයන්ය.

ප්‍රාදේශීය ආණ්ඩු සිය වගකීම් අමතක කර ජාතික දේශපාලනයේ නිරතවීම අද ඊයේ සිදු වූවක් නොවේ. එහෙත් මෑත කාලීනව මෙම ප්‍රවණතාවයේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සහ ඒවායේ දේශපාලන නියෝජිතයන් බලය විමධ්‍යගතකරණය වෙනුවෙන් පෙනී නොසිට, ජාතික දේශපාලනයේ දැඩි මධ්‍යගත ව්‍යුහය තවත් ශක්තිමත් කිරීමට පෙළඹී සිටීම අප හඳුනාගත යුත්තේ කෙලෙස ද? මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආණ්ඩු ලෙස හඳුනාගන්නේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන තුන් ආකාරයේ ආයතනික ව්‍යුහයන්ය. මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන ත්‍රිවිධ නෛතික ලේඛන යටතේ මෙම ආයතන පාලනය වේ. 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 13 වැනි සංශෝධනය මගින් මෙම ප්‍රාදේශීය ආණ්ඩු පළාත් සභාවලට අයත් විෂයයක් බවට පත් කරන ලද අතර එතැන් සිට නිල බලයෙන්ම පළාතේ මහ ඇමතිවරයා පළාත් පාලනය විෂය භාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබේ. නූතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආණ්ඩු 341 ක් ක්‍රියාත්මක වේ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය

ප්‍රාදේශීය ආණ්ඩු සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට මුලදී යොදාගත් සමානුපාතික නියෝජන ක්‍රමය නුසුදුසු යයි පළ වූ මතවාදයන්හි ප්‍රතිඵලය වූයේ, 2012 දී, සමානුපාතික සහ සරල බහුතර නියෝජන ක්‍රමයන්හි එකතුවෙන් යුත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමයි. මෙහිදී යෝජනා වූයේ, සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නියෝජිතයන් 30% ක් ද, සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ නියෝජිතයන් 70% ක් ද වශයෙන් තෝරා පත් කරගත යුතු බවටයි. ජර්මනියේ ක්‍රියාත්මක වන දෙමුහුන් (hybrid) නියෝජන ක්‍රමය මේ සඳහා ආදර්ශයට ගන්නා බව සඳහන් කළත්, අසමාන ලෙස 30:70 වශයෙන් නියෝජන ක්‍රම මිශ්‍ර කිරීම බැලූ බැල්මටම අතාර්කික විය. පාර්ලි‌‌මේන්තුවේ සුළු ජාතික දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්‌ සඳහන් කළේ, මෙම මැතිවරණ සංශෝධනය හරහා ද්වීපක්ෂ ක්‍රමය තවත් ශක්තිමත් වී, සුළු ජාතික පක්ෂවලට ප්‍රාදේශීය ආණ්ඩුවල නියෝජනය අහිමි වී යනු ඇති බවයි. මෙම විවේචන නොතකා, කිසිදු විවාදයකින් තොරව පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම විශාල ප්‍රශ්න රාශියකට මග පෑදීය.

නව මැතිවරණ ක්‍රමය 2012 දී සම්මත වුව ද, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහය සකසා ගැනීම පිණිස කොට්ඨාස සීමා නිර්ණය කිරීමට අවශ්‍ය වූ අතර, මෙම සීමා නිර්ණය කිරීම මගින් පෙර පැවති පළාත් පාලන ආයතන ප්‍රමාණය ද, ඒවායේ නියෝජිතයන් ප්‍රමාණය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. පෙරදී සිටි නියෝජිත ප්‍රමාණය 4486 ක් වූ අතර, මැතිවරණ සංශෝධනය පදනම් කරගත් සීමා නිර්ණය හේතුවෙන් එම නියෝජිත සංඛ්‍යාව 8356 ක් බවට පත් විය.

අප කල්පනා කළ යුත්තේ, මේ තරම් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ප්‍රමාණයක් මහජන මුදලින් නඩත්තු කළ යුත්තේ කුමක් සඳහා ද යන්නයි; එසේම මෙම දේශපාලන නියෝජිතයන් සිය වගකීම් නිසි ලෙස ඉටු කරන්නේ ද යන්නයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආණ්ඩුවල නිල කාලය වසර හතරකි. 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීය යි ඇතැම් විරුද්ධ පක්ෂවලින් චෝදනා එල්ල වුව ද, කොට්ඨාස සීමා නිර්ණයේදී ඇති වූ සංකීර්ණතා සහ නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තිබූ පරස්පරතා මීට බලපෑ බව නොරහසකි. 2018 දී නව මැතිවරණ ක්‍රමය යටතේ මුල්වරට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීය. එහිදී සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නියෝජිතයන් 40% ක් ද, සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ නියෝජිතයන් 60% ක් ද වශයෙන් තෝරා පත් කරගන්නා ලදී. මුලදී තිබූ 30:70 අනුපාතයට සුළු ජාතීන් දැක් වූ දැඩි විරෝධය මෙසේ 40:60 අනුපාතය යොදා ගැනීමට හේතු විය.

ප්‍රාදේශීය ආණ්ඩු කුමකට ද?

බොහෝ ප්‍රාදේශීය බල ප්‍රදේශයන්හි මෙම මැතිවරණය ජයග්‍රහණය කළේ නව දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයයි. ප්‍රාදේශීය ආණ්ඩු 341 න් 231 ක් එම පක්ෂය විසින් දිනාගත් අතර, එක්සත් ජාතික පක්ෂය දිනාගත්තේ, ප්‍රාදේශීය ආණ්ඩු 34 ක බලය පමණි. එක් එක් පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය සැලකිල්ලට ගත් විට සමස්ත ප්‍රාදේශීය ආණ්ඩු ප්‍රමාණයෙන් 67.7% ක් ලබාගත් පොහොට්ටු පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය වූයේ 40.4% කි. මේ අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත් වූ ප්‍රථම පළාත් පාලන මැතිවරණය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ යම් විකෘති ලක්ෂණයක් පිළිබිඹු කරන බව පැහැදිලිය.

මැතිවරණ ප්‍රචාරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රාදේශීය සංවර්ධනය හෝ ප්‍රාදේශීය ගැටලු ආමන්ත්‍රණය කළේ නැත. තමා තරග කරන්නේ ප්‍රාදේශීය මැතිවරණයකට බව සියල්ලන්ට අමතක වී තිබුණි. සියලු මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වේදිකාවල සහ දැන්වීම්වල තිබුණේ, ජාතික තලයේ දේශපාලකයන්ගේ ඡායාරූප ය; ඔවුන්ගේ ජාතික තලයේ කාර්යයන් ය; යුද ජයග්‍රහණය, මහා පරිමාණ ව්‍යාපෘති, අලංකාරෝක්ති සහිත ජාතිවාදී ප්‍රකාශ ආදිය මිස, ප්‍රාදේශීය සංවර්ධනය කරනුයේ කෙසේ ද යන්න පිළිබඳ එකුදු වචනයක් හෝ දක්නට ලැබුණේ නැත. ජාතික තලයේ දේශපාලකයන් පසුබිමේ තබාගෙන තම ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමට උත්සාහ ගත් ප්‍රාදේශීය දේශපාලන අපේක්ෂකයන් සිය ආත්මාර්ථකාමී අනාගත දේශපාලන අරමුණු වෙනුවෙන් මිස, ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ගැටලු ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් පෙනී සිටියේ නැත. අනෙක් අතින්, ජනතාවට ද සිය ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයාගෙන් අපේක්ෂා කරනුයේ කුමක් දැයි කිසිදු අවබෝධයක් තිබුණේ නැත. සැබෑ ඛේදවාචකය වන්නේ මෙයයි. එනම්, ජනතාව සිය ඡන්දයෙන් පත් කරගන්නේ කවරෙක් ද යන්නයි. ඔවුන් සිය ඡන්දයෙන් පත් කරගන්නේ අනිවාර්යයෙන්ම ජාතික දේශපාලනයේ නියැලෙන්නන්ගේ ගැත්තන් පිරිසකි.

2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය මතු කළේ, ප්‍රධාන කාරණා දෙකක් පමණි. එකක් නම්, 2009 යුද ජයග්‍රහණය කළේ සිය නායක මහින්ද රාජපක්ෂ බවයි. දෙවැන්න නම්, යහපාලන ආණ්ඩුව මහබැංකු බැඳුම්කර සිද්ධියට වගකිවයුතු බවයි. ප්‍රාදේශීය දේශපාලන රැස්වීම් ආමන්ත්‍රණය කිරීමට නැතහොත් එම පක්ෂයේ ජය තහවුරු කිරීමට ජාතික තලයේ දේශපාලකයන් පළාත් පාලන මැතිවරණ වේදිකා මත නැගී ජනතාව අමතනු දැකගත හැකි විය. මේ කුමන ආකාරයේ ප්‍රාදේශීය ආණ්ඩුකරණයක් ද? ජාතික දේශපාලනයේ සටන් පාඨ ප්‍රාදේශීය දේශපාලනයට යොදා ගැනීමෙන් බිහි වන්නේ ජාතික දේශපාලනයේම ගැත්තන් පිරිසක් මිස, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් කැප විය හැකි අවංක ප්‍රාදේශීය නායකයන් පිරිසක් නොවේ. 

ජනතා අපේක්ෂා

ප්‍රාදේශීය ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ, ප්‍රාදේශීය ජනතාවගේ ද සහාය ඇතිව ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමයි. එහිදී තම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය, වීදි ලාම්පු නඩත්තුව, කසළ කළමනාකරණය, අපජල මාර්ග පද්ධතිවල නඩත්තුව, ක්‍රීඩා පිටි, මහජන පොළවල්, ප්‍රජා ශාලා සහ නගර ශාලා පවත්වාගෙන යාම, භෝජනාගාර, කඩ පොළවල්, විවේකාගාර, පොදු වැසිකිළි සහ තානායම් පිළිබඳ වගකීම ආදී බොහෝ කටයුතු කෙරෙහි අවධානය ලබාදිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආණ්ඩු මේ කිසිවක් නිසි ලෙස සිදු කරන්නේ ද?

සිය වගකීම් පිළිබඳ අංශු මාත්‍රයක අවධානයක් නොදැක්වීම සම්බන්ධයෙන් එක් උදාහරණයක් නම්, ප්‍රාදේශීය ආණ්ඩුවල අවිධිමත් කසළ බැහැර කිරීමේ ක්‍රමයයි. විවෘත භූමිවල කසළ බැහැර කිරීම හැර, වෙනත් කිසිදු තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේදයක් බොහෝ ප්‍රාදේශීය ආණ්ඩුවලට නැත.

දූෂිත ලෙස කොන්ත්‍රාත් ලබා ගැනීම, අයථා මාර්ගවලින් මුදල් ඉපයීම, ජාතික දේශපාලකයන්ගේ පාතාල ගනුදෙනුවලට සහාය දැක්වීම, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනීමැරුම්වලට චෝදනා ලබා සිටීම බොහෝ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ නෛසර්ගික ලක්ෂණයන්ය. මෙවැනි පිරිසකට සිය පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම ජාතික දේශපාලකයන්ට ගැතිකම් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. වඩාත් පුදුම සහගත කාරණය නම්, මෙවැනි දූෂිතයන්ට ජාතික දේශපාලනයේ නාමයෙන් ජනතා ඡන්දය ද හිමි වීමයි. ඉන් අනතුරුව පවා ජනතාව මෙම දේශපාලන නියෝජිතයන්ගෙන් ප්‍රශ්න නොකිරීම හේතුවෙන් ඔවුන්ට සිය දූෂිත ක්‍රියා තවදුරටත් පහසු කර දී ඇත.

ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ වර්තමාන විකෘතිය

2018 දී පැවති පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලාංකීය දේශපාලනයේ මහත් විකෘතියකට මග පෑදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය හරහා ජාතික තලයේ ද තමාට බලය අත්පත් කරගත හැකි යයි සිතූ එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ නීති විරෝධී ලෙස අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් ප්‍රයත්නය එම විකෘතියේ කූඨප්‍රාප්තියයි. දින 51 ක සටනකින් පසුව එම ප්‍රයත්නය ආපසු හැරවීමට හැකි වීම, ප්‍රාදේශීය මැතිවරණ ප්‍රතිඵල හරහා ජාතික දේශපාලනය පිළිබඳ නිගමනය කිරීමට ඇති නොහැකියාව පෙන්නුම් කළේය. කෙසේ වුව ද, ළඟ එන 2019 ජනාධිපතිවරණය මුව විට තබා පැවැත් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පිළිබඳව ඉදිරිපත් වන මතවාදයන් ද මෙහිම තවත් පැතිමානයකි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය තුළදී එකුදු ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්තියක් හෝ ඉදිරිපත් නොවූ අතර, එය මුළුමනින්ම පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රාදේශීය මුහුණුවර ලෙස අර්ථකථනය විය. එනම්, එහිදී සිදු වූයේ නැවතත් ප්‍රාදේශීය දේශපාලනය ජාතික දේශපාලනයටත්, එහි දේශපාලන ප්‍රතිරූපවලටත් මුක්කු ගැසීමයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම එම පක්ෂය බලයේ සිටින ප්‍රාදේශීය ආණ්ඩු සියල්ල ගෝඨාභයගේ සහයට නගර ගම් දනවු පුරා කොඩි කණු සිටුවීමටත්, ගෝඨාභය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීමටත් සැදී පැහැදී සිටි බව පෙනී ගියේය. ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මෙම හැසිරීම ශ්‍රී ලංකාව විමධ්‍යගතකරණයෙන් ඈත් කර තව තවත් දැඩි මධ්‍යගත පාලනය වෙත නතු කරමින් තිබේ.

මීට එක් උදාහරණයක් නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග යහපාලන ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ‘ගම්පෙරළිය’ වැඩසටහනයි. ප්‍රාදේශීය බල ප්‍රදේශවල ක්ෂුද්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මධ්‍යම ආණ්ඩුවේ ඍජු මැදිහත්වීමක් මේ හරහා සිදුවිය. ප්‍රාදේශීය ආණ්ඩුවලට මුදල් ලබා නොදී, ප්‍රාදේශීය සංවර්ධනයට ද මධ්‍යම ආණ්ඩුව මැදිහත් වීම හොඳ ප්‍රවණතාවයක් නොවුණත්, ‘ගම්පෙරළිය’ හරහා ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ සංවර්ධන කාර්යයන් පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන් විසින් කරනු ඇතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකි විය. ඊට හේතුව, ඔවුන්ගේ අරමුණ ප්‍රාදේශීය සංවර්ධනය නොව, දූෂිත පුද්ගල සංවර්ධනය වීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනය ජාතික දේශපාලන අරමුණු මත රඳා පැවතීමෙන් ජනතාවට ද, රටට ද වන්නේ අයහපතක් මිස යහපතක් නම් නොවේ. ප්‍රාදේශීය දේශපාලනය කළ යුත්තේ ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා සහ ප්‍රාදේශීය ප්‍රජා අවශ්‍යතා ප්‍රතිපත්ති ක්‍රියාවලියට දායක කිරීමේ අවංක වුමනාවක් සහ දැනුමක් ඇති පිරිසකි. ඛේදවාචකය වන්නේ, එවැන්නන් ප්‍රාදේශීය දේශපාලනයට යොමු වන්නේ ඉතා අල්ප වශයෙන් වීමයි.

නව අදහස දක්වන්න