සුනිල් සාන්තයන් මෙරටට අනන්‍ය සංගීතයක් ගොඩ නැඟුවා | දිනමිණ

සුනිල් සාන්තයන් මෙරටට අනන්‍ය සංගීතයක් ගොඩ නැඟුවා

ලංකා සාන්ත

හෙළ සංගීත මංපෙත එකලු කළ ගුරුදේව සුනිල් ශාන්තයන්ගේ එකසිය හතර වන ජන්ම ශත සංවත්සර දේශනය මෙම මස 07 වන දින සවස 2.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මේ සම්බන්ධයෙන් ඔහුගේ පුත් ලංකා සාන්ත සමඟ කළ සුහද පිළිසඳරයි මේ.

ගුරුදේව සුනිල් සාන්තයන් තැබූ සංගීත ලකුණ දේශීය සංගීතයේ පුරෝගාමී මෙහෙවරක් සනිටුහන් කරනවා. සුනිල් සාන්තයන්ගේ සංගීත ආගමනය සිදුවන්නේ කොහොමද?

සුනිල් සාන්තයන් මගේ දයාබර පියාණන්. එතුමා දේශීය සංගීතයට විශාල මෙහෙවරක් ඉටු කළ යුග පුරුෂයෙක් කිව්වොත් නිවැරදියි. එතුමා සංගීත ආචාර්යවරයෙකු ලෙස ගාල්ල මවුන්ට් කල්වරි පාසලෙහි ගුරුවරයෙකු ලෙස සේවය කළා . එතනදී දක්ෂිණ ලංකා සංගීත තරගයෙන් වසර තුනක් තම පාසලට විශිෂ්ට ජයග්‍රහණ ලබා දුන්නා.

පසුව ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයේ වසරක අධ්‍යාපනයත් පසුව ශාන්ති නිකේතනයට ඇතුළත්ව. වසර හතරකින් සංගීත උපාධිය සම්පූර්ණ කර ලංකාවට පැමිණෙනවා.

සුනිල් සාන්තයන් ලංකාවට පැමිණි මුල් යුගය ඔහුට මිහිරි අත්දැකීමක් ගෙන දෙන නැහැ?

එතුමා තමයි ඉන්දියාවෙන් උසස්ම අයුරින් අධ්‍යාපන සුදුසුකම් ලබාගත් පළමුවැන්නා. ඒ නිසාම එතුමාට විවිධ බාධක පැමිණියා. එවකට සංගීත විද්‍යලයේ දොරටු පවා ඔහුට විවර වන්නේ නැහැ. ලංකා ගුවන් විදුලිය එතුමාට සලකන්නේත් හොඳ හිතකින් නොවේ. නමුත් එතුමා අධිෂ්ඨානශීලී පුද්ගලයෙක්. ඔහුගේ ගමන ඔහු නතර කළේ නෑ. ඔහු විසින් ගායනා කළ ඕලු පිපීලා ගීත සහ හදපානේ ගීතය ගුවන්විදුලියට ගෙනා පළමු තැටිගත කිරීම යන්ත්‍රයෙන් තැටි ගත වෙනවා. එකල ගීතය ගායනා කරන අතරතුර තැටි ගත වීම සිදුවනවා. සජීවී ගායනයේදී කිසියම් වැරදීමක් සිදුවුවහොත් එම තැටිය ඉවතලන්නට සිදුවනවා.

සුනිල් සාන්තයන් කිසිවිටෙක ගීත ගැනීමේදී එවැනි අත්වැරදීමක් සිදුකර නැහැ. එකල සංස්කරණ ක්‍රමවේදයක් පැවතියේ නැති තරම්. මේ පිළිබඳව එතුමා සමග කළ සම්මුඛ සාකච්ඡා වල නිවැරදිව සඳහන් වනවා. එතුමා සිදු කළ පර්යේෂණය සිංහල සංගීතයට සුවිශේෂ බලපෑමක් සිදු කළා. ඔස්ට්‍රේලියානු ජාතික ටෝනි ඩෙනෙෂන් ලංකාවේ දළදා මාලිගාව ආශ්‍රිත කවිකාර මඩුව පිළිබඳ කළ විමර්ශනයේදී එහි ගායනා සුනිල් සාන්තයන්ගේ සංගීත සංරචනා සමඟ ගැළපෙන බව අධ්‍යයනය කර තිබෙනවා. නමුත් දේශීය වශයෙන් සුනිල් සාන්තයන්ගේ සංගීත භාවිතය ගැන නිසි ඇගයීමක් තවම සිදු වී නැහැ. ලංකා ලංකා, මිහිකත නලවාලා, වැනි ගීත තුළින් එකල අගනගරය ජීවත්වූ ඉංග්‍රීසි භාවිතා කළ පිරිස පවා සිංහල ගීතයට නැඹුරු වුණේ එතුමා නිසයි.

සුනිල් සාන්තයන්ව එවකට ගුවන් විදුලිය විවිධ ආකාරයෙන් පරීක්ෂාවට ලක් කරනවා?

සුනිල් සාන්තයන්ගේ ගුරුවරයකු රත්න ජංකර් ලංකාවේ ගුවන්විදුලියට එවකට කැඳවා ගෙන එනු ලබනවා. ශිල්පීන් පරීක්ෂණය සඳහා එතුමා කටයුතු කරනවා. පෞද්ගලිකව මගේ අධ්‍යයන ක්ෂේත්‍රය ඉංජිනේරු වෘත්තිය මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කරන්නේ. උපාධිය ලබාගත් මාව කාර්මික ශිල්පීන්, වඩු කාර්මිකයින් සමග එකම විභාගයකට කැඳවීම මොනතරම් අසාධාරණයක් ද? එවැනි සිදුවීමක් ගුවන්විදුලියෙන් සුනිල් සාන්තයන්ට සිදුවුණා.. එතුමා එම පරීක්ෂණය ප්‍රතික්ෂේප කරනවා. පසුව අවුරුදු පහළොවක් ගුවන් විදුලිය එතුමා හැර යනවා.එක්දහස් නවසීය හැට එකෙදි ගුවන් විදුලිය විසින් එතුමාගේ නිවසට පැමිණ නැවතත් එතුමාට ආරාධනා කරනවා රත්න ජංකර් සංගීතඥයා සිදුකල කාර්ය සුනිල් සාන්තයන්ට භාරගන්න ලෙස. එතනදී එතුමා ප්‍රධානියා ලෙස කටයුතු කළත් ඩබ්ලිව්. ඩී. අමරදේව සහ රූපසිංහ මාස්ටර් සහයට ගෙන කටයුතු කරනවා.

සුනිල් සාන්තයන්ට එල්ල කළ චෝදනා වුණේ, එතුමගේ සංගීතය වඩාත් සරල බවයි. ගුවන් විදුලිය තුළ ඉන්දියානු වද්‍ය භාණ්ඩවලට මුල් තැන ලැබුණු එකල බටහිර සංගීත භාණ්ඩ තහනමට ලක් වුණා. නමුත් වර්තමානයේ බටහිර සංගීත භාණ්ඩ නැති සංගීතයක් හොයාගන්නවත් නෑ. එතුමා දැරූ අදහස් මොන තරම් නූතන ද? එය වටහා ගැනීමට තරම් නිර්මාණශීලීත්වයක් එකල මේ අකුල් හෙලන්නන්ට පැවතියේ නැහැ. එතුමාගේ අදහස වුණේ සංගීත දැල ප්‍රථමයෙන් නූල්වලින් ගෙතිය යුතු බවයි. පසුව ලණුවලින් ඉදිරියටත් එයින් පසු කඹ මට මේ විශාල කරනයටත් එතුමා තුළ අදහස් පැවතියා.

ඒ බව ඔහු සඳහන් කර තිබෙනවා. ඕලු පිපීලා, හදපානේ වැනි ගීත දරුවන්ටත් ගායනා කරන්න පහසු ආකාරයටයි එතුමා නිර්මාණය කළේ. එය පියානෝව වාදනයකින් වර්ණවත් කළ හැකි ගීතයි. ලංකාවේ සිටි ඇතමුන් එකල වැඩ කටයුතු කළේ අපි ඉන්දියාවේ කොටසක් කියලා හිතාගෙනයි. ඉන්දියාවේ අනන්‍යතාවය සුනිල් සාන්ත හඳුනගෙන තිබුණා.ඔහුට අවශ්‍ය වුණේ අපටම අනන්‍ය සංගීතයක් ගොඩ නගන්න. ලංකාවේ සංගීතය ඉන්දියාවේ සංගීතය නොවිය යුතු බව ඔහු ගේ අදහස වුණා. ලංකාවෙන් ඉන්දියාවට ගිය එතුමා ලංකාවේ ජාතික ඇඳුම ඇඳි කෙනෙක්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය ලාංකේය සිනමාවේ සංධිස්ථානයක්. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා සුනිල් ශාන්තයන්?

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය සහ සංදේශය චිත්‍රපටය සංගීතවත් කරන්නේ එතුමා විසිනුයි. මේ චිත්‍රපටවල සංගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. මර්සලින් ජයකොඩි පියතුමා නිර්මාණය කළ පද රචනා ඇතැම්විට සංස්කරණයට පවා සුනිල් ශාන්තයන් මැදිහත් වී තිබෙනවා. ඒ සඳහා පියතුමා ඉඩකඩ ලබාදුන් බව මා අසා තිබෙනවා. සංස්කෘතිකමය වශයෙන් රේඛාව චිත්‍රපටය සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක්වෙනවා.

සුනිල් සාන්තයන්ගේ ගී පද මාලා අපූර්වත්වයක් ගෙන දෙන ආකෘතියකයි ලියවෙන්නේ ?

බොහෝ ගී පද මාලා එතුමා අතින් ලියවුනා. ඇතැම් ගීත හියුබත් දිසානායක විසින් එතුමා රචනා කර ගත් බව පෙනී යනවා. මොකද එතුමා ලියූ අනෙකුත් ගීත මේ ආරයෙන් නොවන නිසා. ඒ සියලු ගීත සුනිල් සාන්තයන් තමන් සතු කර ගත්තා කර්තෘ භාග ලෙස රුපියල් පහක් ගෙවිය යුතු අවස්ථාවක රුපියල් පනහක් ගෙවීමක් කර ගීතයේ සම්පූර්ණ අයිතිය ලබාගත් බව සියලුම හිමිකම් ඇවිරිණි යනුවෙන් ගීත පොත් වල එතුමා සඳහන් කර තිබෙනවා. එතුමා සිංහල ගීතයේ නැවුම් ආරක අත්හදා බැලීම් සිදු කළ සංගීතඥයෙක්. තෙල්ගාලා හිස පීරන් නෑනෝ, එම්බා ගංඟා, වලාකුලෙන් බැස, දකුණ නැඟෙනහිර වැනි ගීත ඒ සඳහා නිදසුන් සපයනවා. සංගීතඥයකු ලෙස ග්‍රන්ථකරණයට ආ පළමුවැන්න ඔහුයි. ඔහු පොතපත ප්‍රකාශනයට මූලික වුණා. එතුමාගේ සමීපතම මිතුරෙකු වූ සූර්යශංකර් මොල්ලිගොඩ වයස තිස් ගණනකදී මිය යනවා. ඒ පිළිබඳව ඔහු බොහෝ කනගාටුවට පත් වනවා. සමාජයේ ඇතිවන පීඩාවන් නිසා එතුමා කලකිරීමට පත් වනවා. දරුවන් හා බිරියත් සමඟ සියල්ල අතහැර ගමට ගොස් ජීවත් වන්න ඔහු හිත හදා ගන්නවා.

එතුමා අප අතරින් වියෝවත් දේශීය සංගීතය සහ සුනිල් සාන්ත ජන විඥානයෙන් කිසිදා වියැකී යන්නේ නැහැ. එතුමා මේ මස හත් වැනිදා පදනම් ආයතනයේදී අනුස්මරණයට ලක්වෙනවා?

සුනිල් සාන්තයන් ගේ සංගීතය අනාගත පරපුරට දායාද කිරීම අපගේ යුතුකමක්. මෑතකදී පේරාදෙණිය සරසවියේ එතුමාගේ ගීත සම්භාෂණයක් පැවතියා. රසිකගාරය ඉතාමත් ආදරෙන් මේ ගීත වළැඳ ගත්තා. ජාතික ගුවන්විදුලියෙන් හැර පෞද්ගලික නාලිකාවලින් මෙම විශිෂ්ඨ ගීත ප්‍රචාරය නොවීම ජාතියේ අවාසනාවක්. එතුමාගේ එකසීය හතරවන උපන්දිනය සමරමින් වසර අවසානයේ සමරු දේශනයක් පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙනවා. මේ මස නොවැම්බර් මස හත් වන දින සවස තුනයි තිහට පදනම් ආයතනයේදී එය පැවැත්වෙනවා. මෙහි ප්‍රධාන දේශනය අජිත් කුමාරසිරි සංගීතවේදියා විසින් පවත්වනු ලබනවා. එදින දේශන පිටපත සුනිල් සාන්තයන්ගේ හෙළ රිදී වලා ගී පොත සහ දේශීය සංගීතය ග්‍රන්ථයන් නොමිලේ ලබාදීමට අදහස් කරගෙන සිටිනවා. සුනිල් ශාන්ත ගී නිර්මාණවලට පෙම්බඳින සැමට මේ සඳහා විවෘතව ආරාධනා කරනවා.

සංවාදය ෂර්ලි

නව අදහස දක්වන්න