ජනාධිපතිවරණ සටන අපි නිසැකවම ජයගන්නවා | දිනමිණ

ජනාධිපතිවරණ සටන අපි නිසැකවම ජයගන්නවා

විනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපයේ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මේ ජනාධිපතිවරණ සටන නිසැකවම ජයගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කුලියාපිටියේ පෙරේදා (12) පැවති ජනහමුවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

අවුරුදු තුනහමාරක් හොඳම අමාත්‍යාංශ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දී, පළාත් සභා පවා නැතිව, රාජපක්ෂලා හිස්කර ගිය භාණ්ඩාගාරය, විනාශ කර ගිය ආණ්ඩුව, සදාචාරය, ආර්ථිකය, ජාත්‍යන්තරව අපට තිබුණු කීර්තිය ආදී හැමදෙයක්ම නැති කර ගිය රටක් භාර ගෙන අපි කළ දේවල් මදිද කියල මම තමුන්නාසේලගෙන් අහන්න කැමතියි. තමුන්නාන්සෙලා දන්නවා අපි හොඳට කැප වෙලා වැඩ කළා. අපට යන්න පුළුවන් උපරිම වේගයෙන් අපි වැඩ කළා. පක්ෂයක් වශයෙන් සාමූහිකව මුල සිටම කටයුතු කළා. ඒ නිසා මෙවර එක්සත් ජාතික පක්ෂයට විජයග්‍රහණය නියත වශයෙන්ම හිමි වෙනවා.

හුඟක් අය බලාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය කොටස්වලට කැඩෙයි, බේද වෙයි කියලා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඇතුළු අපේ නායකයන් හැම කෙනෙක්ම එකමුතු වෙලා මේ ජනාධිපතිවරණ සටනට එන්න. මම ආඩම්බර වෙනවා මේ යුගයේ පක්ෂයේ මහලේකම් හැටියට මේ සටන මෙහෙයවන්න අපේ උපරිම කැපවීම ලබා දෙන්න හැකිවීම ගැන. අද මේ කුලියාපිටියට පැමිණි ජන ගංගාවෙන්ම පේනවා මේ සටන අපි දිනනවා කියලා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර ඇමැතිවරයා වශයෙන් රටේ දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණය හඳුන්වා දුන්නා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රටපුරා පාසල් ගොඩනැඟිලි අතිවිශාල ප්‍රමාණයක් ඉදිකර දුන්නා. 13 වසරක අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දෙමින් සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ටද වෘත්තීය විෂයයන් ඔස්සේ අනාගතය ශක්තිමත් කරගන්න අවස්ථාව සලසා දුන්නා. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීම වෙනුවෙන් උපරිමයෙන්ම කටයුතු කළ යුතුයි යනුවෙන් ද ඇමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ මැති ඇමැතිවරු රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න