බොහෝ නාළිකා ප්‍රාථමික තලයේ | දිනමිණ

බොහෝ නාළිකා ප්‍රාථමික තලයේ

ටියුඩර් වීරසිංහ

ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල - 2019 මේ මස 21 වෙනි දින ප.ව. 06.00 ට නෙළුම් පොකුණ රඟහලේ දී උත්සවාකාරයෙන් පැවැත්වේ. එම උළෙල පිළිබඳව රාජ්‍ය රූපවාහිනී උපදේශක සභාවේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ, ආචාර්ය ටියුඩර් වීරසිංහ සමඟ පැවැත් වූ සාකච්ඡාවකි.

රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම්. අපි මුලින්ම එහි පසුබිම පිළිබඳව කතාබහ කරමු ?

මෙවර රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල පැවැත්වෙන්නේ දහතුන් වෙනි වරට. එය ලෝක රූපවාහිනී සැමරුම් දිනය යෙදෙන මේ මාසේ 21වෙනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ලෝක රූපවාහිනී දින අභිමතාර්ථ හා අරමුණු ඉටුවන ආකාරයෙන් ලොව පුරා මෙම දිනය සැමරීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී යම් යම් රූපවාහිනී ක්ෂේත්‍රයේ මර්දනකාරී තත්ත්ව හා ගැටලු පිළිබඳව සාකච්ඡාත් සමකාලීන රූපවාහිනිය ජාතික සංවර්ධනයට හා ජාතික සුරක්ෂතාවයට ඉවහල් කරගත හැකි ආකාරය පිළිබඳව දැනුම හා අත්දැකීම් බෙදා හදා ගැනීමත් මෙහිදී මූලික අරමුණු විදිහට සාකච්ඡාවට ගැනෙනවා.

දේශීයව නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන් හා ඔවුන්ගේ නිර්මාණවලට රාජ්‍ය මට්ටමේ කෙරෙන ඇගයීම් උළෙල වන්නේ මෙයයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර දෙකක් අපගේ අවධානයට ලක්වනවා. එක් අංගයක් ලෙස ප්‍රාසාංගික ටෙලි නාට්‍ය අංශයත්,අනෙක විවිධ වැඩසටහන් අංශයත් ලෙස දෙකොටසකට වෙන්වනවා. විවිධ වැඩසටහන් අතරේ වාර්තා වැඩසටහන්,

ප්‍රවෘත්ති, සගරාමය වැඩසටහන් ආදී විශාල ප්‍රදේශයක් ඇතුළත්. රූපවාහිනි කලාවේ යෙදී සිටින නිර්මාණකරුවන් දිරිමත් කිරීමත් ඔවුන්ගේ වෘත්තීමය භාවය ඇගයීමත් අනාගතයේ ගුණාත්මක නිර්මාණ බිහිකිරීමට අවැසි පසුබිම සකස් කිරීමත් ඒ තුළින් අප බලාපොරොත්තු වනවා.

අපේ රටේ රූපවාහිනී මාධ්‍ය තුළ බිහිවන නිර්මාණ තවමත් ප්‍රාථමික ඌන සංවර්ධිත මට්ටමක පවතින බව මෙහිදී අපට නොකියාම බැහැ. ටෙලිනාට්‍ය නිර්මාණයන් පවා බහුතරයක් ගුණාත්මකභාවයෙන් හා නිසි ප්‍රමිතියෙන් වන අවස්ථා ඉතාමත් සීමා සහිතයි. මෙවර ඉදිරිපත් වූ ටෙලි නාට්‍ය අතර හොඳ ටෙලිනාට්‍ය තුන හතරකට වඩා අප දුටුවේ නැහැ.

විවිධ වැඩසටහන් අංශය ගත්තත් එහි යහපත් වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ.

රූපවාහිනී වැඩසටහන් ක්ෂේත්‍රය ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගැනීම වගේම සංස්කෘතිය හා සදාචාරය අධ්‍යාපනය මෙන්ම බුද්ධි වර්ධනයට පමණක් නොවෙයි ආර්ථික හා සමාජ ආරක්ෂාවට සෘජුවම බලපාන ක්ෂේත්‍රයක්.

එහිදී ගුණාත්මක භාවයක් පවත්වාගෙන යාම අතිශයින්ම කාලීන හා ජාතික අවශ්‍යතාවක් වනවා. අපේ අනාගත නිර්මාණකරුවන් ජන හිතකාමී සමාජ යහපත පිණිස නිර්මාණකරණයේ යෙදීම සඳහා දිරිගැන්වීම හා උත්තේජනයක් ලබා දීමත් මෙම රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙලේ මුඛ්‍ය අරමුණ වෙනවා.

නිර්මාණකරණයේදී ප්‍රමිතිය සහ මිනුම් දඬු සම්බන්ධයෙන් නිර්ණායක සැපයීම බොහෝ විවාදයට තුඩු දෙන කාරණාවක්. මේ ක්‍රියාවලියේදී නිර්ණායක පිළිබඳව තක්සේරුවකට එන්නේ කොහොමද ?

මේ ක්‍රියාවලියේදී විද්වත් විනිශ්චය මණ්ඩලයක සහාය අපට ලබාගන්න කටයුතු කර තිබෙනවා. කලා ක්ෂේත්‍රය පිළිබඳව විවිධ පැතිකඩ තුළින් හැදෑරීමක් ඇති විද්වතුන් එයට එක් වනවා.

විශ්වවිද්‍යාල මට්ටමින් හා උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරන කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රවීනයන් සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍යයට අදාළව ඒ සඳහා එක් වනවා.

ලෝක මට්ටමේ ශානර අධ්‍යනය කරමින් ලෝකයේ පිළිගත් සම්මතයන් හා නිර්නායකය අපි ඒ සඳහා යොදාගන්නවා. මෙහිදී රාජ්‍ය හෝ පෞද්ගලික කිසිදු පුද්ගලයකුගේ බලපෑමකින් තොරව මේ කටයුත්ත ස්වාධීන සිදුවන්නක්. නිර්මාණකරුවාට සහ නිර්මාණයට උපරිම සාධාරණයක් ලබාදීම මෙහිදී සිදුවන බව මෙහිදී පැහැදිලිව කියන්න කැමතියි.

අපේ රටේ රූපවාහිනී ආරම්භක යුගය ගැන සලකා බලන කොට වර්තමානය පිළිබඳව අපට සතුටු විය හැකි තත්ත්වයක අපි ඉන්න බවක් ඔබට වැටහෙනවද ?

අපේ රටේ රාජ්‍ය රූපවාහිනිය ආරම්භ වන්නේ අසූව දශකයේ. තාක්ෂණය අතින් නොදියුණුව පැවැති යුගයක වුණත් ගුණාත්මක හා නිර්මාණාත්මක පාර්ශවයේ වැඩසටහන් නිෂ්පාදනය ඒ යුගයේත් සිදුවුණා.

ලිබරල් තත්ත්වයන් යටතේ රූපවාහිනී මාධ්‍ය පෞද්ගලීකරණය අවකාශය තුළ එය විශාල වශයෙන් වෙළෙඳ පොළක් අත් කරගන්නවා. මේ වන විට රූපවාහිනී නාලිකා ප්‍රධාන වශයෙන් විස්සක් පමණ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වනවා. එමඟින් විශාල වශයෙන් අපේ සමාජයට බලපෑමක් ඇති කළා. අස්සක් මුල්ලක් නෑර ජනතාව අතර අද රූපවාහිනිය ප්‍රචලිතයි. ඒ නිසා ජනතාවට සමීපම මාධ්‍ය විදිහට රූපවාහිනිය පත්වෙලා.

ඒ කාරණය වැඩසටහන්වල ගුණාත්මක තත්ත්වයට හිතකර වුණේ නැහැ. එහි බලපෑම මාරාන්තික තර්ජනයක් බවට අද පත්වෙලා තිබෙනවා.

බොහෝ නාළිකා ප්‍රාථමික තලයට අද ඇද වැටිලා. ඉහළ කලාත්මක බුද්ධිමය හා සදාචාරාත්මක වැඩසටහන්වලට එහි ඉඩක් වෙන් නොවන තරම්. සරල මට්ටමේ බාල බොළඳ නිර්මාණ හා වැඩසටහන් ඉදිරිපත් කරන්න ඒ නිසාම පෙළඹිලා. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම තුළ වෙළඳපල දිනාගැනීමට එකී ව්‍යාපාර අද සමත් වෙලා.

ඒ නිසා වර්තමානයේ රූපවාහිනී වැඩසටහන් වල ප්‍රමිතිය පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්න බැහැ.

සමාජ සම්බන්ධතා, ආකල්ප හා සමස්ත සංස්කෘතියටම තීරණාත්මක බලපෑමක් ඒ තුළින් එල්ල වනවා. ගුණාත්මක තත්ත්වයකට වඩා අයහපත් බලපෑමක් වීම මෙය සැලකිය යුතු තත්ත්වයක්.

අන්තර්ජාල හා සමාජ මාධ්‍ය භාවිතාවන් වඩාත් ප්‍රචලිත වන යුගයක රූපවාහිනියට මෙය කිසියම් ආකාරයක සෘජු බලපෑමක් එල්ල කරනවා නේද ?

රූපවාහිනී යුගය මේ වන විට අවසන් කාර්තුවේ පවතින්නේ.

විසිවන සියවසේ දෙවැනි දශකයේ ආරම්භය ඉතාමත්ම වේගවත්. එක්දහස් නවසිය පනස් ගණන්වල අමෙරිකා එක්සත් ජනපදයේත් ඊට පසුව හැට ගණන්වල යුරෝපයෙත් හැත්තෑව දශකයෙන් පසුව මුළු ලෝකයේත් රූපවාහිනිය ප්‍රචලිත වුණා.

විසි එක් වැනි ශතවර්ෂය වන විට රූපවාහිනී යුගය අවසන් වන බව කීම වරදක් නැහැ. එතෙක් පැවති රූපවාහිනිය සාම්ප්‍රදායික අර්ථයෙන් වෙනස් වනවා. යම් ආකාරයක අන්තර්කාලීන තත්ත්වයක් තුළ එහි ස්වරූපය වෙනසකට පත්වනවා. එය විටෙක හඳුනා ගන්න බැරි තරම් වෙනසක්. ස්මාර්ට් රූපවාහිනී සහ හොලි ග්‍රැෆි වෙනස්ම මාදිලික්. වැඩසටහන් ආකෘතිය හා ශානර ගත්තත් අද වෙනසකට ලක් වෙලා. එකළ ප්‍රේක්ෂකයා භුක්ති විදි ඒකපාර්ශ්වීය සන්නිවේදනය,(one way), වර්තමානය වන විට අන්තර් ක්‍රියාකාරීත්වයක් තුළ වර්ධනය වී තිබෙනවා., (Interactive television) ඕනෑම තැනක ඉඳන් අන්තර්ජාලය හා ජංගම දුරකථන ඔස්සේ ඔවුන්ට ශ්‍රව්‍ය දෘශ්‍ය රූප නැරඹිය හැකියි .

ඕනෑම වැඩසටහනකින් තෝරාගත් කොටසක් ප්‍රේක්ෂකයා විසින් නරඹා එය නැවත සංස්කරණය කර බෙදාහැරීමට පවා ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. ඩිජිටල් තාක්ෂණය වැඩි දියුණු වෙමින් පවතිනවා. පසුගිය වකවානුව තුළ අපට වැදගත් වුණේ රූපවාහිනී මධ්‍යස්ථානය, පසුව රූපවාහිනී නාලිකාව ප්‍රචලිත වුණා. ඊටත් පසුව රූපවාහිනී වැඩසටහන පිළිබඳව අවධානය යොමු වුණා. වර්තමානය වන විට කතාබහට ලක්වන්නේ එකී වැඩ සටහනේ තෝරාගත් එක්තරා කොටසක් පමණයි. එය අන්තර්ජාලයේ කිසියම් platform එකක ප්‍රේක්ෂකයා විසින් නරඹනවා. සමස්ත ටෙලිවිෂන් නාලිකාව වර්තමානයේ වලංගු වන්නේ නැහැ. ඉදිරියට මේ තත්වය තවදුරටත් වෙනස් වෙමින් පවතිනවා. ඓතිහාසික පරිණාමය පිළිබඳ සලකා බලන විට සම්භාව්‍ය අර්ථයෙන් රූපවාහිනිය තමන්ගේ පැවැත්මෙ අවසානය කරා පැමිණ තිබෙන බව අපට පෙනී යනවා.

අවසන් වශයෙන් මෙවර සම්මාන උළෙලේ විශේෂත්වය පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත් ?

විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ වර්ධනය හා ගුණාත්මකභාවය පිළිබඳව අපගේ අවධානය යොමු කරන අතරම රූපවාහිනී සාහිත්‍ය හා සංකල්ප පිළිබඳව උලෙළට සමගාමීව සමීක්ෂා ශාස්ත්‍රීය සංග්‍රහය එළිදක්වන්නට එදින කටයුතු කරනවා.

රූපවාහිනිය පිළිබඳව එහි සාක්ෂරතාව පිළිබඳව න්‍යායාත්මකව මේ කෘතිය තුළ සාකච්ඡා වෙනවා. එහි මෙවර විශේෂත්වය තමයි රූපවාහිනී වාර්තා වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම. ඓතිහාසික පැතිකඩ, බහු විෂයක පැතිකඩ, පරීක්ෂණ හා ශිල්පීය විධි ක්‍රම පිළිබඳ මෙහිදී සාකච්ඡා වෙනවා. රූපවාහිනී මාධ්‍ය කලාවක් විදිහට, කර්මාන්තයක් විදිහට

දැවැන්ත දේශපාලන ක්‍රියාවලියක් විදිහට විවිධ භූමිකා හරහා හඳුන්වා දිය හැකියි. එතනදී සංස්කෘතිය හා කලාත්මක පාර්ශ්වයයි අපට වැදගත් වෙන්නෙ. මෙය පරමාදර්ශ ප්‍රවර්ධනය ක්‍රියාවලියට විශේෂ දායකත්වයක් සපයනවා. රූපවාහිනිය සංස්කෘතිය නිර්මාණය කරන්නට බෙහෙවින් ඉවහල් මාධ්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

 

සංවාදය
ෂර්ලි සමරසිංහ

නව අදහස දක්වන්න