නව ක්‍රිකට් පුහුණුකරු සමඟ තවත් වැඩකාරයෝ 3ක් | දිනමිණ


 

නව ක්‍රිකට් පුහුණුකරු සමඟ තවත් වැඩකාරයෝ 3ක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා සමඟ පිතිකරු පුහුණුකරු ලෙස ග්‍රාන්ට් ෆ්ලවර්, පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සාර්කර් හා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ෂේන් මැක්ඩර්මෝට් ලබන මාසයේදී වැඩ භාර ගැනීමට නියමිතයි. ප්‍රධාන පුහුණුකරු සමඟ එක්වන මේ සහාය පුහුණුකරුවන් ලෝකයේ අංක එකේ කණ්ඩායම් සමග කටයුතු කළ වඩාත් පළපුරුදු අයවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් මහතා ලබන මස 4 වැනිදා වැඩ භාර ගන්නා අතර පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කරයි. ඒ සමගම අනෙකුත් පුහුණුකරුවන්ද ශ්‍රී ලංකා පිලේ සහායට එක්වනු ඇතැයි පැවැසේ.

පිතිකරු පුහුණුකරු ලෙස පැමිණෙන ග්‍රාන්ට් ෆ්ලවර් මහතා ටෙස්ට් තරග 67කදී හා එක්දින තරග 221කදී සිම්බාබ්වේ පිලට ක්‍රීඩා කළ දක්ෂ පිතිකරුවකුවන අතර ඔහුගේ සහෝදර ඇන්ඩි ෆ්ලවර් පසුගිය කාලයේ එංගලන්ත ක්‍රිකට් පිලේ පුහුණුකරු විය. 48 හැවිරිදි ග්‍රාන්ට් ෆ්ලවර් සිම්බාබ්වේ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පාකිස්තාන පිලේ පිතිකරණ පුහුණුකරු ලෙසද එක්ව සිටියේය.

ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සාර්කර් මහතා පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික පිලට සේවය කළ අයෙකි. මෙල්බර්න් හා වික්ටෝරියා කණ්ඩායම්වල පුහුණුකරු වූ හෙතෙම පළමු පෙළ තරග 72කට ක්‍රීඩා කළේය. වසර 2010දී එංගලන්ත පිලේ වේග පන්දු පුහුණුකරු ලෙස ද වසර 2016දී ඔස්ට්‍රේලියා පිලේ වේග පන්දු පුහුණුකරු ලෙස ද විශාල මෙහෙයක් කළ පුහුණුකරුවෙක් ලෙස ප්‍රකටය.

තස්මේනියා ක්‍රීඩා ඇකඩමියේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් මැක්ඩර්මෝට් මහතා ද ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිලේ අතරු පුහුණුකරුවෙක් ලෙස කෙටි කලක් එක්ව සිටියේය. 38 හැවිරිදි ඒ මහතා ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර තස්මේනියා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නෙකු ලෙස පළමු පෙළ තරගවලට එක්ව ඇත.

ප්‍රධාන පුහුණුකරු හා සහාය පුහුණුකරුවන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ගිවිසුම් අස්සන් කර ඇති අතර මාසික වේතනයට අමතරව සියලු පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබාදී ඇත.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා 2016 වසරේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ පාකිස්තානය අංක එකේ ටෙස්ට් හා විස්සයි 20 කණ්ඩායම බවට පත්විය. අයි. සී. සී චැම්පියන්ස් කුසලානය පාකිස්තානය දිනා ගැනීම ඔහුගේ පුහුණුව යටතේ සිදුවුණි. ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිලේ පසුබැසීමත් සමග පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආතර්ගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට තීරණය කළේය.

 

නව අදහස දක්වන්න