ගින්නයි වතුරයි ලෝකය වනසයි | දිනමිණ


 

ගින්නයි වතුරයි ලෝකය වනසයි

ධම්මික සෙනෙවිරත්න

ඔස්ට්‍රේලියාව ගිනි නිවීමට වෙහෙස වනවිට වැනීසියට සිදුව ඇත්තේ ගංවතුර ආපදාවට මුහුණදීමටය. වැනීසියේ ඓතිහාසික ස්ථානද ඇතුළුව නගරය වතුරින් යට වී තිබේ. ඉතාලියේ වැනිසි නගරය සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයකි. ගංවතුර තත්ත්වයක් තිබියදී පවා සංචාරකයෝ එහි ඇදී එති. ඔවුන් වෙනුවෙන් විශේෂිත ආරක්ෂක උපදෙස් පවා නිකුත් කර තිබේ.

ඇමසන් ගින්නේ උණුසුම නිවී යන්නටත් පෙර ඔස්ට්‍රේලියාව පුරා තැන තැන ගිනිදැල් නැ‍ඟෙමින් තිබේ. ඔස්ට්‍රේලියාව ගින්නෙන් පීඩා විඳිද්දී සෝමාලියාවත්, වැනීසියත් ඇති - නැති පරතරය ගැන කිසිවක් නොතකාම ගංවතුරට යටවී ගොසිනි. දේශගුණික විපර්යාස නූතන ලෝකයට කරමින් ඇති විනාශයේ තරම කියන්නට මේ නිදසුන් වුව ප්‍රමාණවත්ය. පසුගියදා පැය 24 ක් තුළ දකුණු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ලැව්ගිනි සංඛ්‍යාව 65 කි. නොවැම්බර් මාසයේදී එම ප්‍රදේශවලින් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 - 47 මට්ටමක විය. ගිනි ඇතිවීමත් සමඟ ගිනි දැල්වීමෙන් වළකින ලෙසට උපදෙස් ලැබී ඇත. බටහිර ඔස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ නිවාස 80,000 ක පමණ වැසියෝ ප්‍රදේශයෙන් ඉවත්ව සිටිති. මෙල්බර්න් නුවර ඉහළම උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් 40.9 ක් වශයෙනි. එය 1984 දී, මේ දිනවල වාර්තාවන උෂ්ණත්වයට සමානය. වි‍ක්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් 44.3 කි. මේ නගර දූවිලි බ්ලැන්කට්ටුවකින් වසා දැමුවා වැනි තත්ත්වයක් දිස්වේ. ලැව්ගිනි විශාල ලෙස පැතිරයාමට පැ.කි.මී.100ක පමණ වේගයකින් හමාගිය සුළං තත්ත්වයද හේතු වී තිබේ.

ලැව්ගිනි හේතුවෙන් සිදු වූ දේපළ හානි තවමත් නිශ්චිතව ගණන් බලා නොමැත. ඇතැම් ප්‍රාන්තවල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත. කාලගුණ බලධාරීහු වරින්වර අනතුරු ඇඟවීම් කරමින් සිටිති. සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට තරම් දේශගුණික විපර්යාස පිළිබඳ කාරණය බරපතළ බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා ඇමැතිනිය, ලීසා නෙවිල් දරුණුම ව්‍යසනකාරී තත්ත්ව පෙබරවාරි හෝ මාර්තු මාසයේදී දිස්වනු ඇති බවට නගරවාසීන්ට අනතුරු අඟවා සිටී. එබැවින් හදිසි සේවා කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පුහුණුව මෙන්ම උපකරණද ලබා දී ඇතැයි ඇය කියා සිටී.

ලැව්ගිනි හේතුවෙන් ‘කොආලා’ සතුන් 350 කගේ පමණ ජීවිතවලට තර්ජන එල්ල වී ඇති බවටද පරිසරවේදීහු අනතුරු ඇඟවූහ. කොආලා,යනු දැඩි ලෙස සංරක්ෂණය කිරීමට සිදුව ඇති සත්වයෙකි.

ඔස්ට්‍රේලියාවෙන් මෙතරම් දරුණු ලැව්ගිනි තත්ත්වයක් වාර්තා වන්නේ ගිම්හාන සමය ඇරැඹීමටත් පෙරාතුවය. ගිම්හානය ඇරැඹීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 1 වැනිදා සිටය. මේ වනවිට,ජීවිත හානි 4ක් වාර්තා වී ඇති අතර නිවාස සිය ගණනක්ද වැනසී අවසන්ය.

වැනීසිය යටවෙයි

ඔස්ට්‍රේලියාව ගිනි නිවීමට වෙහෙස වනවිට වැනීසියට සිදුව ඇත්තේ ගංවතුර ආපදාවට මුහුණදීමටය. වැනීසියේ ඓතිහාසික ස්ථානද ඇතුළුව නගරය වතුරින් යට වී තිබේ. ඉතාලියේ වැනිසි නගරය සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයකි. ගංවතුර තත්ත්වයක් තිබියදී පවා සංචාරකයෝ එහි ඇදී එති. ඔවුන් වෙනුවෙන් විශේෂිත ආරක්ෂක උපදෙස් පවා නිකුත් කර තිබේ. වැනීසිය සංචාරක කර්මාන්තයෙන් උපයන සාමාන්‍ය වාර්ෂික ආදායම ඇ.ඩො.බිලියන 3.3 ක් පමණ වේ. උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් හෝටල් වෙන්කිරීම් යම් ප්‍රමාණයක් අවලංගු කරගෙන ඇත.

නගරයේ ජල මට්ටම දණක් දක්වා පවතින බව පසුගිය දිනවල වාර්තා විය. මේ හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමටද පුරපතිවරයා පියවර ගත්තේ ය. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදී හා ගිම්හාන සමයේදී මුහුදු මට්ටම අඩි 2 කින් පමණ ඉහළ යාම සිදුවේ.

උද්ගතව ඇති ගංවතුර තත්ත්වය 1966 වසරෙන් පසුව වැනීසියට බලපෑ බරපතළම ස්වභාවික ආපදා තත්ත්වය බව නිරීක්ෂණය කර තිබේ. මුහුදු මට්ටමේ සිට බලන විට ඇතැම් ස්ථානවල අඩි 6 ක පමණ ජල මට්ටමක් තිබිණි. වැනීසියේ පුරපති ලුයිජි බෘග්නාරෝ පවසන පරිදි මෙය දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම නිසා උද්ගත වූ ආපදාවකි.

මීට දශක කිහිපයකට ඉහතදී සංචාරක සමය නොවැම්බර්යේදී නිමාවට පත්විය. එය යළි ඇරැඹෙන්නේ කානිවල් සමඟය. වැනීසිය යනු කලපු ආශ්‍රිත නගරයකි. එම පිහිටීමද මෙම ආපදා තත්ත්වයන්ට බලපාන්නා වූ හේතුවකි.

දශක කිහිපයකට පසුව බලපෑ මෙම දරුණු ගංවතුර තත්ත්වය ඓතිහාසික ස්ථානවල ඇති සිතුවම් ආදියට හානි පමුණුවා ඇති බවද වාර්තා විය. එම සිතුවම් මෙන්ම සියවස් ගණනාවක් පැරැණි මෙම ඓතිහාසික උරුමය සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආධාර කරන ලෙසට ඉතාලි රජය ජනතාවට ආයාචනයක්ද කර තිබේ. යුරෝ 2 බැගින් කෙටි පණිවිඩයක් ඔස්සේ යොමු කිරීමට ජනතාවට අවකාශ සලසා ඇත. නිතර ජල ගැලීම්වලට ගොදුරුවන පසුබිමක ලෝක උරුම නගරයක් වන වැනීසිය වසර 2100 දී නොපෙනී යනු ඇතිබවටද මත පළ වේ. මෙවර නගරයේ 80% ක්ම ජලයෙන් යට විය.

දේශගුණික විපර්යාස අර්බුදයට මුහුණදීම වෙනුවෙන් පිළියෙළ කළ සැලැස්ම නාගරික කවුන්සිලයේදී ප්‍රතික්ෂේප වී විනාඩි ගණනකට පසුව නගරය ජලයෙන් යටවීම ද විශේෂය. කවුන්සිලයේ පරිසර කමිටුවේ සාමාජිකයකු වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි ඇන්ඩ්‍රියා සනෝනි තැබූ ටිවිටර් පණිවිඩයක සටහන් වූයේ, සිය පක්ෂය දේශගුණික විපර්යාස අභියෝගය ජයගැනීමට රැගෙන ආ යෝජනාව බහුතර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර විනාඩි ගණනක් යද්දී පුරසබයද ජලයෙන් යටවූ බවය. එසේ වූයේ ඉතිහාසයේ පළමු වතාවටය. එම කළමනාකරණ සැලැස්මට පුනර්ජනනීය බලශක්තිය, ඩීසල් මඟින් ධාවනය වන බස් රථ ඉවත් කිරීම, ප්ලාස්ටික් භාවිතය අඩුකිරීම වැනි යෝජනා ඇතුළත් විය. ඉතාලි අගමැති ගියුසෙප් කොන්ත් වැනීසියට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එමගින් ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වේගවත් වනු ඇත.

නිරන්තර යුද ගැටුම් හේතුවෙන් පීඩා විඳින සෝමාලියාවද ගංවතුරට යටවිය. 370,000 ක් පමණ දෙනා ආපදාවට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇතැම් අයට ඉතිරි වූයේ ඇඳිවත පමණි. අන් සියලු සේසත වතුරට ගසාගෙන ගොසිණි. ආපදාවට ලක්ව සිටින ජනයාට සහන සැලසීම පවා අසීරු වී ඇති බව වාර්තා වේ. ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලායි මොහොමඩ් විපතට පත් ප්‍රදේශවල සංචාරයක ද නිරත විය. සිදුව ඇති විනාශයෙන් ගොඩඒම තනිව කළ නොහැකි යැයි පැවසූ ඔහු ආධාර අවශ්‍යව ඇතැයි කියා සිටියේය.

මධ්‍යම සෝමාලියාවේ මෙම ප්‍රදේශ ගංවතුරට යටවී ඇත්තේ රාත්‍රි කාලයේදී බැවින් වැඩිදෙනකුට කිසිවක් කර කියාගත නොහැකි වී තිබේ. ඔවුන් සිය දරු මල්ලන්ද කැටුව ආරක්ෂිත ස්ථාන කරා ඇදුණේ බඩුබාහිරාදිය කිසිවක්ම නොගෙනය. මධ්‍යම සහ දකුණු සෝමාලියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටිති. මෙම ගංවතුර ආපදාව මෑත ඉතිහාසයේ සෝමාලියා වැසියන් මුහුණදුන් දරුණුම ස්වභාවික ආපදාවය. ඉන් 22 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීහු විශ්වාස කරති. 10 දෙනකුවත් අතුරුදන්ය. 

ආහාර හිඟයක්

වර්ෂාව අධිකවීමත් සමඟ ආපදාවේ ස්වභාවයද තවදුරටත් පීඩාකාරී වනු ඇත. නිවාස වතුරට යටවීම නිසා ගස් යටට හෝ කූඩාරම් තුළට වී සිටීමට ඔවුන්ට සිදුව ඇත. ගොවිබිම්, සත්ත්ව ගොවිපළ ආදිය ජලයෙන් යට වී පවතින අතර මංමාවත්ද යටවී තිබේ. වගාබිම්වලට සිදුව ඇති හානිය ඉදිරියේදී ආහාර අහේනියකටද මුල්වනු ඇති බවට විශ්වාස කෙරේ. සෑම වසර 2 -5 කට වරක්ම සෝමාලියාවට ගංවතුර හෝ නියං ආපදාවකට මුහුණ දීමට සිදුව ඇත. එරට රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව කාලගුණ නිරීක්ෂණ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 10ක ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

ගංවතුර ආපදාව හේතුවෙන් ළමයින් 100,000 ක් පමණ ද අවතැන්ව සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මකය.

ගංවතුර, නියඟ වැනි ස්වභාවික ව්‍යසන මෙතරම් විනාශකාරී වීමට හා නිරන්තරයෙන් ඇතිවීමට දේශගුණික විපර්යාස බලපා ඇති බව පැහැදිලි වෙමින් තිබේ. විනාශය අවම කරගැනීමට නම් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කරා යොමුවිය යුතුය. ඒ සමඟම උද්ගතව ඇති තත්ත්ව යටතේ වුවද යම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත හැකිදැයි විමසා බැලිය යුතුය. නිදසුනක් ලෙස වැනීසියට මෙතරම් ප්‍රබල විපතක් සිදු වීමට දේශගුණික විපර්යාස බලපාන්නට ඇතත්, නගරය 2/3 කටත් වඩා ජලයෙන් යටව තිබියදී එම ජලය ඉක්මනින් බැසයාමට විධික්‍රම නොයොදා තිබීම ගැන පුරපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවට මත පළවේ.

දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් පෙන්වා දෙන පරිදි මුහුදු ජල මට්ටම ඉහළ නැඟීමට ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම ඍජුවම සම්බන්ධය. ඒ, ධ්‍රැව ප්‍රදේශවල දියවන අයිස් මුහුදට හේතුවන බැවිනි. ඉහළ නඟින මුහුදු රළ මෙන්ම ප්‍රබල සුළං ප්‍රවාහ ගංවතුර ආපදා වඩාත් බරපතළ කිරීමට හේතුවන බවද ඔවුහු පෙන්වා දෙති. එසේ බලන කල හේතුව පැහැදිලිය. පිළියම් කළ යුත්තේ හේතුව වැළැක්වීමෙනි. එසේ නැතිව ඵලය වැළැක්විය නොහැකි බව පමා වී හෝ ලෝකය තේරුම් ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. කරවටක් දියේ ගිලී සිටින නමුත් නාසයට ඉහළින් ජල මට්ටම නැඟෙන්නට පෙර කළහැකි යමක් ඇති බව පෙනී යා යුතුය.

නව අදහස දක්වන්න