20 වැනි සියවසේ විප්ලවවාදියා | දිනමිණ

20 වැනි සියවසේ විප්ලවවාදියා

ඉතිහාසයේ ඔහු හඳුන්වන්නේ ධනවාදී අමෙරිකාවේ එළිපත්තේ දැල්වුණු කියුබාවේ ගිනි සිළුව ලෙසයි. හමුදා කුමන්ත්‍රණයකින් බලය රැකගෙන ධනේශ්වර අමෙරිකාවට වුවමනා විදියට කියුබාව පාලනය කළ බැටිස්ටාගේ ඒකාධිපති ක්‍රියා පිළිවෙතට එරෙහිව ලොව වඩාත්ම කතාබහට ලක්වූ 59 කියුබානු විප්ලවයට පණ දුන් ෆිදෙල් කස්ත්‍රෝ අවුරුදු 90ක් ජීවත් වුණා. ඔහු රෝගාතුරව ජීවිතයෙන් සමුගෙන මේ 25 වැනිදාට අවුරුදු 3යි.

ලෝක ඉතිහාසයේ විප්ලව ගැන කතා කරද්දී කස්ත්‍රෝට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඔහු කියුබාව එහෙම පිටින්ම උඩුයටිකුරු කළා පමණක් නෙවෙයි තවත් දශක ගණනාවක් යනතුරු අමෙරිකාවට දරුණු හිසරදයක් බවටත් පත්වුණා. කිලෝමීටර් සියයක්වත් දුරක් නැති ලෝක ධනවාදයේ බලවත්ම රාජ්‍යය අමෙරිකාවට තම බලපුළුවන්කාරකම් පෙන්වූ මේ අපූරු මිනිසා බැටිස්ටා පාලනය බිඳ දැමුවේ ලතින් අමෙරිකානු රටවලට නිදහස දිනා ගැනීමට ජීවිතයම කැප කළ ලෝක විප්ලව ඉතිහාසයේ ආදරණීය මිනිසා චේ ගුවේරා සමග එක්වයි.

කස්ත්‍රෝ දේශපාලනයත්, විප්ලවයත් කවුරුත් දන්නා ප්‍රකට සිදුවීම් මාලාවක් වුණත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන ඒ කියන්නේ ගැහැනුන්ටත්, හවානා සුරුට්ටුවටත් අතිශය ඇලුම් කළ මිනිසකු බව දන්නේ අතළොස්සක් පමණයි.

අවුරුදු 14දි හෝ 15දි සිය පියා විසින්ම පිරිනමනු ලැබූ ඔහුගේ පළමු සුරුට්ටුව පසුකාලෙක ෆිදෙල් කස්ත්‍රෝට ඔහුගේ විප්ලව ජීවිතයට නැතුවම බැරි කුලුපග සගයකු බවටත් පත් වුණා. විසිවැනි සියවසේ විප්ලවකාරයා විදියට දැවැන්ත ප්‍රතිරූපයක් මවා ගත්තු කස්ත්‍රෝගේ දෙතොලග සුරුට්ටුවක් නොරැඳුණු ඡායාරූපයක් නැති තරම්.

සුරුට්ටුව තරමටම ඔහු ඇලුම් කළ තවත් දෙයක් තිබේ නම් ඒ ස්ත්‍රී පාර්ශ්වයයි. කස්ත්‍රෝට විප්ලවය තරම් උනන්දුවක් ගැහැනුන්ට තිබුණු බව ඒ කාලයේ ඔහු සමග සමීපව ඇසුරු කළ බොහෝ පුද්ගලයන් පසුකාලෙක නිතර නිතර කියන්නට වුණා. ඔහුගේ ලිංගික ජීවිතය ගැන දන්න සමහරු කියන්නේ කස්ත්‍රෝ ගැහැනුන් දහස් ගණනක් සමග යහන්ගත වන්නට ඇති බවයි. පුදුමය කියන්නේ ඒ ගැහැනුන් කිසිවක් ඔහු බලහත්කාරයෙන් යහනට ගෙන්වා නොගැනීමයි. ඔහු සමග පෙමින් බැඳුණු සෑම ගැහැනියකටම කස්ත්‍රෝ තරම් අතිශය ප්‍රේමාන්විත පිරිමියකු නැති තරම්.

වසර 2009දී කස්ත්‍රෝ ගැන පොතක් ලියූ මාධ්‍යවේදිනිය ඈන් ලුයිස් කියන්නේ තමන්ගේ දරුවන් සංඛ්‍යාව කෙතරම් ද කියනවා නම් එය සම්පූර්ණයෙන්ම තවත් එක් පරම්පරාවක් තරම් විශාල බව කස්ත්‍රෝ විසින්ම ඇයට එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළ බවයි. ඒවා අතිශය පෞද්ගලිකයි. කොහොමත් කස්ත්‍රෝ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන වැඩිපුර කතා කළ පුද්ගලයෙක් නෙවෙයි.

‘පෞද්ගලික ජීවිතය මගේ අදහසට අනුව නම් ඒක දේශපාලනයට හෝ ප්‍රසිද්ධියට ආයුධයක් කර ගත යුතු නෑ‘ ඔහුම වතාවක් එසේ කියා තිබුණා.

ඒ කොයි හැටි වෙතත් කස්ත්‍රෝ කියන්නේ සැබැවින්ම විසිවැනි සියවසේ විප්ලවවාදියා පමණක් නොව විසිවැනි සියවසේ ගැහැනුන්ගේ මිනිසා (the ladies' man) බව නොකියාම බෑ. 50 දශකයේ සහ 60 දශකයේ ඔහුගේ පහස ලැබූ ගැහැනුන් අතර ලතින් අමෙරිකානු රටවල රූමතියන් පමණක් නෙවෙයි අමෙරිකාව, ජර්මනිය හා ඉතාලිය වැනි රටවල ගැහැනුත් සිටියා. දේශපාලන ඉතිහාසඥයන් කියන විදියට ගැහැනුන් තුන්දෙනකුට දාව උපන් දරුවන් හතක් ඔහුට සිටිනවා. තවත් රහසිගත සම්බන්ධතා නිසා උපන් හෝ ගබ්සාවට ලක්වූ දරුවන් ප්‍රමාණය තවමත් රහසක්. කැසත්‍රෝට අනුව ඔහු විවාහ වුණේ 1948දී පමණයි. ඇය මිර්ටා ඩයස් නම් ධනවත් පවුලක දර්ශනය හැදෑරු රූමත් සිසුවියක්. ඔහුට දාව උපන් පුත්‍රයා ෆිඩෙලිටෝ වර්තමානය වෙද්දී අවුරුදු 67ක න්‍යෂ්ටික විද්‍යා ඥයෙක්. පසුකාලෙක ඒ කියන්නේ 1954දී පමණ ඔහු මිර්ටාගෙන් දික්කසාද වුණා. 1961දී ඔහුට මුණගැසුණු එක්තරා ගුරුවරියකට ඔහුගෙන් දරුවන් පස් දෙනකුට ලැබුණා.

1952දී නතාලියා රෙවියුල්ටා සමග පෙමින් බැඳුණු කස්ත්‍රෝට දාව ඇය බිහිකළ දියණිය ඇලීනා 1993දී කියුබාවෙන් පලා ගිය අතර වර්තමානය වෙද්දී ජීවත් වෙන්නේ අමෙරිකාවේ මියාමි නුවරයි. සිය දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ මරිටා ලැබෝඩ් මේ අපුරු ආදරවන්තයාට ජෝර්ජ් ඒන්ජල් නමින් තවත් පුත්‍රයකු තෑගි කළ බවත් රහසක්ම වුණා. අසූව දශකයේ ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ ඔහුට වඩා අවුරුදු 15ක් පමණ බාල කොළ පාට ඇස් ඇති ඩේලියා සෝටෝ ඩෙල් වැලේ සමගයි. ඒත් ඔහු ඇය කිසිදිනෙක විවාහ කරගත්තේ නෑ.

ඔහුගේ ජීවිතයට වඩාත්ම බලපෑම් කළ ගැහැනිය වුණේ සීලියා සැන්චෙස්. විශ්වාසය උපරිමයෙන් දිනා සිටි ඔහුගේ විප්ලවයේ පංගුකාරියක වූ මේ සුරූපි ගැහැනිය පසුකලෙක ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය බවටත් පත්වුණා. ඇය 1980දී පිළිකා රෝගයෙන් මියයන තුරුම කස්ත්‍රෝගේ පෙම් පහස විඳින්නට තරම් වාසනාවන්තියක වුණා.

ෆිදෙල් කස්ත්‍රෝ කියන්නේ 60 දශකයේදී ධනවාදයේ ලොකුම ඉලක්කය බවට පත්ව සිටි පුද්ගලයා. ඔහු ඝාතනය කිරිමේ අවස්ථා 600 කට අධික ප්‍රමාණයක් ඒ කාලයේ වාර්තා වුණා. ඒ බොහෝ උත්සාහයන් සිදු කරනු ලැබුවේ අමෙරිකාව විසිනුයි.

කස්ත්‍රෝට තිබුණු සිකුරු දසාව ගැන හොඳම නිදසුන වන්නේ ගැහැනුන් කෙරෙහි කස්ත්‍රෝගේ ඇති ආශක්ත බව නිසාම වතාවක් ඔහු ඝාතනය කිරිමට සී.අයි.ඒ. ඔත්තු සේවාව විසින් කුලියට ගනු ලැබූ ජර්මානු සරාගී කාන්තාව මරිටා ලෝරන්ස් අන්තිමට ඔහුගේ වසඟයට පත්වීමයි. කස්ත්‍රෝ ඝාතනය කිරිම වෙනුවට ඇය කළේ ඒ සඳහා භාවිත කිරීමට නියමිතව තිබුණු වස කැවූ පෙති කිහිපය වැසිකිළියේ සෝදා හැර ඔහු සමග යහන්ගත වීමයි. ඔහුට තිබුණේ මේ 19 හැවිරිදි සුරූපිනිය වසඟයට ගැනීමට තරම් පුදුමාකාර හැකියාවක්.

‘ෆිදෙල් සමග කතා කරද්දී ඔහු එක එල්ලයේම බැලුවේ මගේ දෑස් දිහා. මට දැනුණේ හරියට ගඩොල් කැට ටොන් එකකින් මට දමා ගැසූ බවකුයි. එවැනි හැඟීමක් මට කිසිම පිරිමියෙක් ගැන දැනිලා තිබුණේ නෑ. ඔහුගේ වදන් මෙන්ම පහසත් මිහිරියි. කරුණාවන්තයි. එය ජීවිත කාලය පුරාම නැවත නැවත සිහිපත් කරමින් රස විඳිය හැකි සුන්දර පහසක්.‘ පසුකලෙක ඇය එසේ කියා තිබුණා.

ඇතැමුන්ට කස්ත්‍රෝ කියන්නේ කියුබානු විප්ලවයේ අසහාය වීරයා. රැඩිකල්වාදී තරුණයන්ට ඔහු විප්ලවයේ සලකුණක්. ඒත් ගැහැනුන් වසඟයට ගැනීම අතින් නම් ඔහු තමයි කියුබාවේ රස්පුටින්!

(ෆවුස් මොහොමඩ්)

නව අදහස දක්වන්න