කාර්ය සාධන බළකාය...! | දිනමිණ


 

කාර්ය සාධන බළකාය...!

රජය තරුණ පරම්පරාවට අදාළ ඉතා වැදගත් තීන්දුවක් ගෙන තිබේ. එම තීන්දුවට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ - තරුණියෝ ලක්ෂයකට සෙත සැලසෙති. රටේ තරුණ පරම්පරාවෙන් සැලැකිය යුතු පිරිසක් අරමුණු හා ඉලක්ක නැතිව අයාලේ යමින් සිටිති. මේ අයගෙන් පිරිසක් අයථා වැඩවලට ද යොමු වෙති. අ. පො. ස. සා/පෙළ විභාගයෙන් පසුව අධ්‍යාපනය අතහරින බොහෝ අය මේ පිරිසට ඇතුළත්ය. ඔවුන්ට වෘත්තීය පුහුණුවක් නැත. පිළිගත හැකි අධ්‍යාපන සහතිකයක් ද නැත. එහෙත් මේ අය අතර දක්ෂයෝ සිටිති. ඔවුන්ට කිසියම් පුහුණුවක් ලබා දී රාජ්‍ය ආයතනවල ඇති ඇතැම් පුරප්පාඩු පිරවීම රජයේ ඉලක්කය වී ඇත. මේ සඳහා වෙන ම දෙපාර්තමේන්තුවක් ඇතිකිරීමට ද නියමිතය.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකාය ලෙස ඉහත පුහුණුවට බඳවාගනු ලබන පිරිස හඳුන්වනු ලැබේ. එනමින් ස්ථාපනය වීමට නියමිත රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබන ජනවාරි දහතුන්වනදා සිට සිය රාජකාරි ආරම්භ කරන බව ද ප්‍රකාශ වී තිබේ. රාජ්‍ය ආයතනවල විවිධ වැඩ කොටස ඉටුකරවා ගැනීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන් ලෙස පිරිස් බඳවාගැනීම දැනටත් සිදුකරයි. ඒවා එකිනෙක ආයතන ප්‍රධානීන්ගේ අභිමතයට අනුව අවිධිමත් ලෙස සිදුවේ. අලුත් වැඩසටහන ක්‍රියාත්මක වීම ඔස්සේ එම අවිධිමත් බඳවාගැනීම් ද නතර වනු ඇත.

රටේ අධ්‍යාපනයේ පවතින ඇතැම් ගැටලු නිසා ද තරුණ පරම්පරාව ඉලක්ක කරගත් වැඩසටහන්වල ඌනතා නිසා ද අයාලේ යන පිරිස වැඩි වී ඇත. මෙය දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ ශ්‍රම හමුදාව කෙරෙහි බලපාන අර්බුදයකි. රටේ සංවර්ධනයේ හවුල්කාරයන් බවට ශ්‍රම හමුදාවේ සියලු දෙනා පත්කරගත යුතුය. රටවල් දියුණු වී ඇත්තේ ශ්‍රම බළකායෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමෙන් ය. ආසියාවේ මානව සම්පත ගැන ලෝක ආර්ථික විශේෂඥයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. එක් විශේෂඥ මතයකට අනුව හොඳ ම මානව සම්පත ඇත්තේ ආසියාවට ය. එහි කොටස්කාරයකු වන ශ්‍රී ලංකාව ස්වකීය ශ්‍රම බළකාය ගැන නැවත සිතා බලන්නට යොමුවීම ඉතා වැදගත් ය.

අපේ නූතන ශ්‍රම බළකාය දෙස නැවත හැරී බැලුවහොත් තරුණ ජවය යොමු වී ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියේ වැදගත් ම අංශවලට නොවේ. අ. පො. ස. සා/ පෙළ දක්වා උගත් තරුණයෝ අධ්‍යාපනය අතහැර ත්‍රිරෝද රථයක් මිලට ගනිති. එය කුලී රථයක් ලෙස යොදාගෙන ජීවන වෘත්තිය සලසා ගනිති. මේ තරුණයන් සතු සහජ හැකියාවන් කිසිවකුගේ සැලැකිල්ලට ලක් වී නැත. නිසි පුහුණුවක් ලබා දුනහොත් ඔවුන් විවිධ රැකියාවල ඉහළම තත්ත්වයට ගෙන යා හැකි ය. එබඳු තරුණ - තරුණියෝ ඕනෑ තරම් සිටිති. ත්‍රිරෝද රථයට හා ඇඟලුම් කම්හලට පමණක් තරුණ - තරුණියන් සීමා විය යුතු නැත. එසේ සීමාවීම මානව සම්පතට කරන නිගරුවකි.

අ. පො. ස. සා/පෙළ දක්වා ඉගෙන ගෙන අධ්‍යාපනය අතහරින පිරිස කිසිවකුගේ අවධානයට ලක් නොවන කණ්ඩායමකි. ඒ අයට රැකියාවනට ඉල්ලුම් කිරීමේ හැකියාවක් නැත. රැකියාවකට ඉල්ලුම් කළ ද සුදුසුකම් මඳකම නිසා රැකියාව ලැබෙන්නේ නැත. මේ අනුව තරුණ පරම්පරාව තුළ අසහනයක් පැතිර ගොස් තිබේ. ඔවුන් සමාජයට වෛර කරන පිරිසක් බවට ද පත්විය හැකි ය. ඉහළ ආදායමක් ඇති පවුලක දරුවකු විභාග සමත් නොවුණ ද ඔවුන් පිටරට යවා අධ්‍යාපනයක් ලබාදීමට හැකියාව තිබේ. නැතහොත් ව්‍යාපාරික ලෝකයට ප්‍රවේශ වී ජීවිතය ගොඩනඟා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබේ. දුප්පත් පවුල්වල අයට ඒ කිසිවක් නැත. ඔවුන් සඳහා රජය මැදිහත් වී යමක් කළ යුතුය.

ලෝක රැකියා වෙළෙඳ පොළෙහි ඉල්ලුම ඇත්තේ පුහුණු ශ්‍රමයට හා විශේෂඥ ඥානයට බව කව්රුත් දනිති. ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳ පොළ ගත්ත ද තත්ත්වයෙහි වෙනසක් නැත. අපේ අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර සම්බන්ධයක් ද නැත. මේ අනුව පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පැවැතිය ද ඒවා පුරවාගත නොහැකි ත්ත්වයක් පවතී. එක අතෙකින් විරැකියාව කෙමෙන් වර්ධනය වෙයි. තව අතෙකින් පුහුණු ශ්‍රමය නැතිකම මත පුරප්පාඩු පුරවාගත නොහැකිව ළතැවෙයි. පුහුණු ශ්‍රමයේ ඇති හිඟය නිසා විදේශීය ආයෝජකයන් නව කර්මාන්ත පිහිටුවීම අතහැර ගිය අවස්ථා ද වාර්තා වී ඇත. මෙය හොඳ තත්ත්වයක් නොවේ.

ජපානය මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අස්සන් කළේය. එම ගිවිසුමට අනුව වසර දහයක කාලයක් තුළදී වෘත්තීය පුහුණුව ලබාදෙමින් මෙරට තරුණ පරම්පරාවට රැකියා ලබාදීමට ජපානය එකඟ වී ඇත. ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමය තිබුණේ නම්; කෙළින්ම ජපානයේ පුරප්පාඩු පිරවීමට වෘත්තිකයන් ලෙසින් ඉදිරිපත් වීමට ඉඩ තිබිණි. වෘත්තීය පුහුණුව වැදගත් ය. ආණ්ඩුවේ අවධානය ඒ කෙරෙහි ද යොමු වී ඇත. ඉහත සඳහන් කාර්ය සාධන බළකායට ද පළමුව පුහුණුව ලබා දෙයි. එම පුහුණුව සාර්ථක ව නිමා කරන අයට පුරප්පාඩු ඇති අයුරින් රාජ්‍ය ආයතනවලට ඇතුළත් විය හැකි ය. මෙය පුළුල් වැඩසටහනකි. එකවර තරුණ - තරුණියන් ලක්ෂයක් ‍ර‍ටේ සංවර්ධනයට දායක කර ගැනීම සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවට ය.

ලක්ෂයක් බඳවාගෙන ඔවුන් සඳහා වැටුප් - දීමනා හා පහසුකම් ලබා දෙන්නේ කෙසේදැ’යි කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. එහෙත් එය කළමනාකරණය කරගත හැකි බව ආණ්ඩුව කියයි. ලක්ෂයකගේ සහභාගීත්වය මත රටේ නිෂ්පාදනය ඉහළ යා යුතුය. කාර්යක්ෂමතාව වැඩි විය යුතුය. එලෙසම රටට ලැබෙන ප්‍රතිලාභ ද වැඩි විය යුතු ය.

ඒ අනුසාරයෙන් බලන විට ලක්ෂයක් නොව ලක්ෂ දෙකක් බඳවාගත්ත ද තත්ත්වය කළමනාකරණය කර ගත හැකි ය. වඩාත් වැදගත් වන්නේ තරුණ පරම්පරාවට අයාලේ ගන්නට ඉඩ නො දී ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල්කාරයන් බවට පත් කර ගැනීම ය.

 

නව අදහස දක්වන්න