2019 අපොස උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන | දිනමිණ

2019 අපොස උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය
බිබිල අධ්‍යාපන කලාපයේ මැදගම ජාතික පාසලේ නිසංසලා

2019 අපොස උසස් පෙළ විභාගය ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය බිබිල අධ්‍යාපන කලාපයේ මැදගම ජාතික පාසලේදී ඩී.එම් නිසංසලා සංජීවනී ශිෂ්‍යාව හිමි කරගෙන තිබේ.

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කර ප්‍රදේශයක්වූ කැන්දවින්න කොස්වත්ත නම් රමණීය ගම් පියසේ ඉපදී ඇති ඇය,කැන්දවින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වී වැඩිදුර අධ්‍යාපනය සඳහා මැදගම ජාතික පාසලට ඇතුලත් විය.

අපොස (සා.පෙ) විභාගයෙන් A සාමාර්ථයන් හතක් සහිතව සමත්වූ ඇය උසස් පෙළ විභාගය සඳහා ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාවෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය,තාක්ෂණවේදය සඳහා විද්‍යාව,කෘෂිකර්ම විද්‍යාව යන විෂයන් හැදෑරීමට තෝරාගන්නා ලදි.

වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන නිසංසලා සංජීවනීගේ පියා ඩී.එම් උභයවර්ධන වෘත්තියෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීයෙකි. මෑණියන් වන ඩී.එම් පුංචි මැණිකා ගෘහණියකි. කුඩා කාලයේ සිටම අධ්‍යාපන කටයුතු වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ඇය පාසලේ බාහිර කටයුතු වලදී කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූවාය.

2019 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත්වූ ඇය කිසිදු උපකාරක පන්තියකට ගොස් නැත. පාසලේදී ඉගැන්වූ ගුරුභවතුන්ගේ අමතර පන්තිවලට පමණක් ඇය සහභාගීවී ඇත.

තේනුක වාසලආරච්චි, අනුෂ්ක පියදිගම ගුරු පියවරුන් දෙදෙනාගේ සහ එච්.එම් චන්ද්‍රාවතී ගුරු මෑණියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාම මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවූ බව පවසන නිසංසලා සංජීවනී පාසලේ විදුහල්පතිතුමිය වන ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මියගේ මඟපෙන්වීම නොවන්නට මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි බව පැවසුවාය.

තවද පාසලේ සියලුම ගුරුභවතුන් තම පංතියේ සහෝදර සහෝදරියන් දැක්වූ සහයෝගය ද තම ජයග්‍රහණයට රුකුලක්වූ බවත් පවසන නිසංසලා සෙවනැල්ලක් මෙන් තමා ළඟින් සිටි ආදරණීය පියාණන් සහ මෑණියන්ද සෙනෙහෙබර සහෝදරයන් දෙදෙනා ද ජයග්‍රහණයේ නියමුවන් බව පවසන්නීය.

විශ්වවිද්‍යාලයට ගොස් උසස් ලෙස විභාගවලින් සමත්වී කථිකාචාර්යවරියක් වී මනුෂ්‍යත්වයෙන් පිරි දහස් සංඛ්‍යාත උගතුන් පිරිසක් දැයට බිහිකිරීම තමාගේ ඒකායන බලාපොරොත්තුව බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

 ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

*******************

උ.පෙළ නව නිර්දේශ ගණිත අංශ ප්‍රථමයා ආනන්දයේ තරූෂ

2019 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ ප්‍රථිඵල අනුව නව විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ෂිහාන් ෆොන්සේකා සිසුවාට හිමිවී තිබේ. ගණිත අංශයේ පැරණි විෂය නිර්දේශයෙන් පින්නවල ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි සිසුවා ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත. ජීව විද්‍යා අංශයේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ශිෂ්‍යාවට හිමිවී ඇත.

වාණිජ විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ බිශොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා ශිෂ්‍යාව සමත් වූවාය. වාණිජ විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ සිසුවාය.

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඔසඳ ගාල්ලගේ විසින් හිමිකර ඇති අතර කලා විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේද එම විද්‍යාලයේම ඉගෙනුම ලැබූ නිපුණ විරාජ් හෙට්ටිආරච්චි සිසුවාටය. කලා විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙෂානි මිලින්දි වැලිගමගේ ශිෂ්‍යාව හිමි කරගත්තාය.

*******************

ගම්පහ බණ්ඩාරනායක විදුහලට ප්‍රථම ස්ථාන දෙකක්

2019 වසරේ අපොස උසස්පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනෙන්ම ප්‍රමුඛ ස්ථාන දෙකක් ලබා සමත්වූ සිසුන් දෙදෙනෙකු ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන් ජයග්‍රහණය ලබා ඇත.

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලැබූ විනුර ඕෂධ ගාල්ලගේ ශිෂ්‍යයා සහ කලා විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ඇත්තේ එච්.ඒ. නිපුන විරාජ් ශිෂ්‍යයාය.

සිය ජයග්‍රහණය ගැන මාධ්‍යයට අදහස් දැක්වූ ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් ප්‍රථමයා වූ විනුර ඕෂධ ගාල්ලගේ ශිෂ්‍යයා පැවසුවේ “ඉහළ සාමාර්ථයක් බලාපොරොත්තු වූ බවය. එසේම තම ජයග්‍රහණයට පසුබිම මගේ දයාබර දෙමාපියන් සහ සොහොයුරාගේද ධෛර්යමත් කරවීමත් හේතුවුණා. විශේෂයෙන් මගේ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලටයේ විශිෂ්ට කැපවීම මගේ ජයට හේතු වුණු බැව් කෘතවේදීව සිහිපත් කරමි.

අප විදුහලේ ගුරු භවතුන් මෙම විභාගය වෙනුවෙන්, අප උනන්දුකරවීමට විශේෂයෙන් සවස් කාලයේ පවා පන්ති පවත්වමින් මනා කැපවීමක් කළා. අපේ ජයග්‍රහණයට එය හේතුවුණා. මගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙක් වී රටට සේවයක් කිරීමයි. අනෙකුත් සොයුරු සිසුන්ගෙන්ද ඉල්ලා සිටින්නේ අධ්‍යාපනය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කිරීමත්, ප්‍රශ්නයක් ගැටලුවක් පැමිණි විට බියේ පැන නොයන ලෙසත්, ගුරුවරු, වැඩිහිටියන්ට ගෞරවයෙන් කටයුතු කර දෙමාපිය හිත් දිනාගෙන තම අධ්‍යාපන කටයුතු කරගෙන යන ලෙසය.

විනුර ඕෂධ ගාල්ලගේ ශිෂ්‍යයාගේ මෑණියන් වූ දමයන්ති ගාල්ලගේ සහ පියාණන් වූ මුදිත ගාල්ලගේ මහතාද පැවසුවේ “තම දරුවාගේ මුල්ම පාසල වූ රන්පොකුණුගම මහා විද්‍යාලයේදී පටන්ම දරුවා දක්ෂතා දැක්වූ දරුවෙක් බවත් උසස්පෙළ හැදෑරීමට දිවයිනේ ප්‍රසිද්ධම විදුහලක් වන ගම්පහ බණ්ඩාරනායක විදුහලට ඇතුළත් කළ බවයි”.

කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලැබූ එච්.ඒ. නිපුන විරාජ් ශිෂ්‍යයා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ ද තම ජයග්‍රහණයට දෙමාපිය ආශිර්වාදය, මඟපෙන්වීම මහෝපාකාරි වූ බව ය. එසේම බණ්ඩාරනායක විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ කැපවීම ජයග්‍රහණයට හේතුවූ බව ය.

“මා පළමු වසරේ සිට පහවසර දක්වා අධ්‍යාපනය ලැබුවේ උඩගහවල්පොල ප්‍රාථමික විද්‍යාලයෙනි. ශිෂ්‍යත්වය සමත්ව ගම්පහ බණ්ඩාරනායක විදුහලට පැමිණීමෙන් පසුවයි මේ උසස්පෙළ විභාග ජයග්‍රහණය ලැබුණේ.

මගේ පියා වෘත්තියෙන් ගුරුවරයෙක් . එතුමාගේ අවවාද, මගේ මෑණියන් මා උනන්දුකරවීම නිරන්තරයෙන් මගේ අධ්‍යාපන කටයුතු දියුණුවට ආශිර්වාදයක් වුණා. විශේෂයෙන් කිවයුත්තේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ’ සිසුන් වෙනුවෙන් කැපවීම විශිෂ්ට බවයි. එවැනි පාසලක ඉගෙනීමට ලැබීම අපේ වාසනාවක්.

මා කුඩා කල සිටම කලා අංශයට ඇල්මක් දැක්වූවා. පාසලේ කලා සංගම් නියෝජනය කළා. විද්‍යා අංශයෙන් ඉදිරියට යන්න කියා මාපියන් කීවත් මගේ ආශාව කලා අංශය නිසා මගේ කැමැත්තට ඉඩ ලැබුණා. මම පුරාවිද්‍යා අංශය කෙරෙහි බලවත් කැමැත්තක් තිබෙනවා. අනාගතයේදී පුරා විද්‍යාඥයෙකු වීම මගේ අරමුණයි. ලංකාවේ නිවැරිදි ඉතිහාසය ලොවට පෙන්වීම මගේ අරමුණයි. මගේ දයාබර සොයුරන්ට දෙන පණිවුඩය නම් ඔබ ඉලක්කයක් ඇතිව අධ්‍යාපනයේ නිරතවන්න. එය ඔබේ ජයග්‍රහණයයි”. විදුහල්පතිවරයා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනියද මෙම ජයග්‍රාහී දරුවන්ගේ ජයග්‍රහණය ගැන සුබපැතූහ. අපේ සුබ පැතුම්ද මෙවන් පුතුන් තවත් තවත් බිහිවී අපේ රට ලෝකයේම විශිෂ්ට රටක් වනු දැක්මයි.

ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

නව අදහස දක්වන්න