නිදහස් සටනේ පුරෝගාමී නායකයා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් | දිනමිණ

නිදහස් සටනේ පුරෝගාමී නායකයා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්

(සිරිලක නිදහස් සටනේ පුරෝගාමී නායකයෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා දිවංගත වී අදට (09) වසර 96ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

වර්තමානයේ ජීවත්වන ඇතැම් අදූරදර්ශී දෙමළ ජාතික දේශපාලකයන් පිරිසක් නිබඳවම කටයුතු කරන්නේ ජාතියක්, රටක්, සමාජයක් වශයෙන් බෙදී වෙන්වී ජීවත්වීමටය. ඒ සඳහා ඔවුන් විවිධ අංශයන්ගෙන් ජනතාවට ගෙන එනු ලබන විවිධ විෂම අදහස් රටේ සංවර්ධනයටත්, සාමයටත්, ජාතික සමඟියටත් සිදු කරන අනිසි බලපෑම හැම අංශයෙන්ම හිතකර නොවේ. නමුත් ගිය සියවසේ මුල් භාගයේ මෙරට ජීවත්වූ සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් එකම රටක් වෙනුවෙන් හිරු නොබසින අධිරාජ්‍ය සමඟ සටන් වැදුණේ ජාතික නිදහස දිනා ගැනීමටය. ඔවුන් සියලු දෙනාම ලංකාවේ පංගුපේරුවක් නොමැතිව නිදහස් සටනේ පුරෝගාමී වීරයන් ලෙස පෙනී සිටියහ.

නමුත් අද විග්නේශ්වරන් වැනි ක්ෂණිකව දේශපාලනයට පත්වූ ජාතිවාදීන් පසුගිය සිය‍වසේ මුල් යුගයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ දෙමළ ජාතික වීරයන්ගේ නාමයට සිදු කරනුයේ බලවත් අවමානයකි. ඒ අවමානයෙන් දෙමළ ජාතියත් ඒ නායකයිනුත් ගලවා ගැනීම අප සැමගේම යුතුකමකි. වගකීමකි. ඒ අනුව මෙර‍ට බිහිවූ ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙක් වන ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 96 වන ගුණ සමරුව නිමිත්තෙන් මා මේ ලිපිය ලියමි.

මීට වසර අනූවකට පෙර එනම් 1930 වස‍රේ අප්‍රේල් මස 03 වැනිදින වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය වන පැරණි පාර්ලිමේන්තු මන්දිර භූමියේ එහි පිහිටුවන ලද පළමු ප්‍රතිමාව විවෘත කරන ලද්දේ එවකට මේ රට පාලනය කළ ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මහතා විසිනි. ප්‍රතිමාවෙන් පිළිබිඹු වූයේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාය.

ප්‍රතිමාව විවෘත කිරීමෙන් පසුව සභාව ඇමතූ ආණ්ඩුකාරවරයා මෙසේ පවසා ඇත.

"සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා සමඟ පෞද්ගලික දැනහැඳුනුම්කමක් ඇති කර ගැනීමට මට අවස්ථාව නොලැබීම ගැන මම කනගාටු වෙමි. එතුමා මෙරට අධ්‍යාපනය දියුණු කිරීමටත් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමටත් පරිශ්‍රම දැරුවේය. ලංකාවේ විශ්වවිද්‍යාලයක් තැනීම සම්බන්ධව බොහෝ අමාරුකම් ඇති බව මම දනිමි. ළඟදීම ලංකාවේ විශ්වවිද්‍යාලයක් තැනීම පිණිස ව්‍යවස්ථාවක් සම්පාදනය කර මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි".

මේ විශ්වවිද්‍යාලය සෑදූ පසු කාලයාත්‍රා කළ සර් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අදහස අපට සම්පුර්ණ කරගන්න පුළුවන. ලාංකිකයන්ගේ දේශපාලන දියුණුව ඇති කර ගත හැක්කේ සෑම ජාතීන්ම එකට එකතුවී සහයෝගීව ක්‍රියා කිරීමෙන් බව සිතූ නිසා සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමය පිහිටුවාලීමට පරිශ්‍රමය දැරුවේය. මේ ආදී වශයෙන් එතුමාගේ ගුණ හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් අගය කර ඇත.

වර්තමාන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැංවූ පසු අරුණාචලම් මහතාගේ මෙහෙවර අගය කළ පාලකයෝ එහි ශාලාවක් අරුණාචලම් ශාලාව ලෙස නම් කර උපහාර දැක්වීම අගය කළ යුත්තකි. සිරිලක නිදහස් සටනේ පුරෝගාමීන්ට සෙවණ දුන් ලංකා ජාතික සංගමය මෙතුමාගේ වෑයමක ප්‍රතිඵලයකි. එහි ප්‍රථම සභාපතිවරයාද වූයේ අරුණාචලම් මහතාය.

වර්ෂ 1853 සැප්තැම්බර් මස 14 වැනිදා යාපනයේ මනිපායිවලදී උපත ලැබූ මෙතුමා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක තුන්වන දරුවා විය. වාසල මුදලි පොන්නම්බලම් මහතා පියා වූ අතර මව වූයේ යාපනයේ ප්‍රභූ පවුලක උපත ලද සෙල්ලච්චි මාතාවය. මේ මාපිය දෙපළගේ වැඩිමහල් පුතණුවන් වූයේ පොන්නම්බලම් කුමාරස්වාමිය. ඔහු 1906දී මියගොස් ඇති අතර දෙවෙනි දරුවා වූයේ කීර්තිමත් නායකයෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාය. තුන්වැන්නා අරුණාචලම් මහතාය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපන ජීවිතය ආරම්භ කළ අරුණාචලම් මහතා වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා එංගලන්තය බලා පිටත්වූයේ ඔහුට ලැබුණු අධ්‍යාපන ශිෂ්‍යත්ව කිහිපයක් නිසාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් සමුගන්නා විට එවකට සිටි විදුහල්පතිවරයා වූ බාර් ක්‍රොප්ට් බෝක් මහතා මෙසේ පවසා ඇත.

'මා විසින් අවුරුදු හතළිහක් පුරා ගුරුවරයෙකු වශයෙන් බොහෝ අයට උගන්වා ඇත. නමුත් අරුණාචලම් වැනි සිසුවෙකු මට හමුවී නොමැත. හැම අතින්ම ඔබ ශ්‍රේෂ්ඨත්වයට ළඟා වන අතර ඒ පිළිබඳව මා සම්පූර්ණයෙන් විශ්වාස කරමි' යනුවෙන් පැවසුවේ බලවත් සතුටිනි. වර්ෂ 1870දී එංගලන්තය බලා පිටත්වූ අරුණාචලම් මහතා ක්‍රේම්බීජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඔහු එංගලන්තයට ගිය විට ලංකාවේ සිටි ආණ්ඩුවේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එරටට දන්වා යවන ලද්දේ විශේෂ දක්ෂතාවන්ගෙන් පිරි බලාපොරොත්තු තැබිය හැකි පෙරදිග තරුණයකු ලංකාවේ සිට තමුන්නාන්සේලා අතරට එවා ඇත්තෙමි. ඔහු ආරක්ෂා කිරීමත් ඔබලා අතර රඳවා ගැනීමටත් ක්‍රියා කරන්න' යනුවෙනි. වසර පහක් සරසවි අධ්‍යාපනය ලද අරුණාචලම් මහතා අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමවා වර්ෂ 1875දී තම මවුබිමට පැමිණියේ තම රටට මහත් කීර්තියක් අත්කර දෙමිනි.

ලංකාවට පැමිණි අරුණාචලම් මහතාගේ පළමු සේවා ස්ථානය වූයේ රජයේ කොළඹ ඒජන්ත කාර්යාලයයි. වසරක් පමණ එහි සේවය කළ අරුණාචලම් මහතා ඉංග්‍රීසි ආණ්ඩු‍ව යොමු කළේ අධිකරණ ක්ෂේත්‍රයටය. ඒ අනුව මහනුවර පොලිස් උසාවියේ මහේස්ත්‍රාත් තනතුරට පත්වූ මෙතුමා එතැන් සිට වසර 13ක්ම ලංකාවේ විවිධ ප්‍රදේශවල විනිශ්චයකාරවරයෙකු ලෙස සේවය කළේය. මඩකලපුවේ දිස්ත්‍රික් විනිශ්චයකාරවරයා වශයෙන් සේවය කරන සමයේ එවකට ලංකාවේ සිටි ඉංග්‍රීසි ජාතික අග්‍රවිනිශ්චයකාරවරයා අරුණාචලම් මහතා හැඳින්වූයේ 'ලංකාවේ විනිශ්චයාසනයකට සුදුසු ස්වදේශිකයන් සිටිනුයේ දෙදෙනෙකු බවත් එයින් එක් අයෙක් මෙතුමා බවත්ය. මේ බව ලංකාණ්ඩුකාරවරයාට පැවසීමටද සර් ජෝන් බඩ්පියර් අග්‍රවිනිශ්චයකාරවරයා ක්‍රියා කළේ නිරහංකාරවය.

වර්ෂ 1890 දී පමණ සර් ආතර් හැමිල්ටන් ගෝඩර්න් ආණ්ඩුකාරවරයා විසින් අරුණාචලම් මහතා නව තනතුරකට පත් කළේය. තනතුර වූයේ රෙජිස්ටර් ජනරාල් පදවියයි. ලාංකිකයෙකු වශයෙන් මේ පදවියට ගෞරවයත්, ආඩම්බරයත් ගෙනදුන් මෙතුමා උප්පැන්න සහ මරණ ලියාපදිංචිය වෙනුවෙන් රටට ගැලපෙන සේ අණ පනත් රාශියක් සකසා සම්මත කර ගත්තේය. පිස්කල් දෙපාර්තමේන්තුව නිර්මාණය කර රජය ලවා සම්මත කර ගත්තේ රටට ගැළපෙන අයුරිනි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විධිමත් කර පවත්වාගෙන ගියේය.

1915 දී ඇතිවූ අවාසනාවන්ත සිංහල මුස්ලිම් අරගලය දැකීම ඒ බිහිසුණු අවස්ථාවයි. එවකට රට පාලනය කළ රොබර්ට් චාමස් ආණ්ඩුකාරවරයා ක්‍රියා කළ අමනෝඥ ආකාරය පිළිබඳව ඔහු දැඩිසේ කළකිරීමට පත් විය. මේ අරගලයේදී සිංහල බෞද්ධ නායකයන් මරා දමමින් ඇතැමුන් සිරගත කරමින් සිදු කළ අවිචාර ක්‍රියා කලාපයට එරෙහිවීමට අරුණාචලම් මහතා දෙවරක් කල්පනා කළේ නැත. ඔහු සිංහලයන් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූයේ තම සහෝදරයා වූ පොන්නම්බලම් රාමනාදන් මහතා සමඟ එකතුවය. ලංකාවට ඉතා ඉක්මණින් නිදහස අවශ්‍ය බව ඔහු ලොවට හඬගා කීය. රොබර්ට් මාටස් ආණ්ඩුකාරවරයා රටින් ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කළේ ජාතික නායකයෙකු ලෙසය. සිරගතව සිටින සිංහල බෞද්ධ නායකයන් වෙනුවෙන් නීතිමය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ගවලට යොමුවූයේ තමා තුළ තිබෙන නීති දැනුම උපයෝගී කර ගනිමිනි. අවසානයේ මෙතුමා සියලු නායකයන් සමඟ එක්වී ලංකා ජාතික සංගමය ගොඩනඟා එහි ප්‍රථම සභාපති පදවියටද පත්විය. ඒ 1919 දෙසැම්බර් 21 වන දින එනම් මීට වසර සියයකට පමණ පෙර සිදුවූ මේ සිදුවීම ලංකා නිදහස් සටනේ තීරණාත්මක සංධිස්ථානයක් විය.

මීට පෙර 1915 ජනවාරි 29 වන දින පිහිටුවාගත් ලංකා සමාජසේවා සංගමයේ සභාපති වූයේද මෙතුමාය. 1917දී ලංකා ප්‍රතිසංස්කරණ සංගමයේ නායකත්වය මෙතුමාට හිමි විය. අභිනවයෙන් විශ්වවිද්‍යාලයක් ගොඩනැඟීමට රජයට නොහැකි නම් කොළඹ රාජකීය විද්‍යාලය හෝ සරසවියක් කරන ලෙස ඉල්ලා සිටීම අරුණාචලම් මහතාගේ සරසවියක අවශ්‍යතාව පිළිබිඹු කරන්නක් විය.

තම පෞද්ගලික ජීවිතයේදී පොන්නම්බලම් මහතා සාර්ථක කුටුම්භයක මූලිකයෙක් විය. වයස අවුරුදු තිහ ගත කරන සමයේ විවාහ ජීවිතයට පත් විය. සිය ප්‍රිය බිරිඳ වූයේ සවර්ණාම් නමසිවායන් මෙනෙවියයි. මෙතුමා දූ දරුවන් සත් දෙනෙකුගේ පියෙකු විය. එම සත් දෙනා අතර පිරිමි දරුවන් තිදෙනෙක් හා දියණියන් සිවු දෙනෙකි.

සිය ජීවිතයේ හැට නව වෙනි විය ගත කරන විට ඔහු පවුලේ අය සමඟ ඉන්දියාවේ සංචාරයක යෙදුණේ සිය ආගමේ හින්දු සිද්ධස්ථාන වන්දනා කර ගැනීම සඳහාය. මෙසේ වන්දනාවේ යෙදී සිටින අතරතුරදී රෝගාතුර වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා මීට වසර 96කට පෙර 1924 ජනවාරි මස 09 වෙනි දින දිවංගත වූයේ ලක්දිව සෝ සයුරක ගිල්වමිනි. ඔහුගේ අභාවයෙන් මුළු රටටම අවංක දේශප්‍රේමියෙක් ජාතික වීරයෙක් ජාතික සමඟිය ගොඩනැඟූ දමිළ නායකයෙක් අහිමි විය. පොන්නම්බලම් අරුණාචලම් ශ්‍රීමතාණන් වැනි උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ දෙමළ නායකයන් අප රටට අවශ්‍ය යුගයක අප ජීවත් වෙමු. එතුමාණන්ගේ ගුණ සැමරීම පිදිය යුත්තෙකු පිදීමකි.

අහුන්ගල්ලේ 
දේ.සු. ද සොයිසා

නව අදහස දක්වන්න