‘මරු කතර’ රිදී තිරයට | දිනමිණ


 

‘මරු කතර’ රිදී තිරයට

අනුර ප්‍රේමලාල්

‘මරුකතර‘ සිනමා පටය ප්‍රදර්ශනය සඳහා රැඟුම්පාලක මණ්ඩලයෙන් පසුගියදා අවසරය හිමි විය. මෙරට ඇතිවු අපරාධ සිදුවීම් කිහිපයක් ගොනු කරගනිමින් ඉන් නිර්මාණය කර ගත් මරුකතර සිනමා පටය ඔබ කවුරුත් දන්නා රංගන ශිල්පි සරත් දික්කුඹුරගේ කුලුඳුල් සිනමා නිර්මාණය වේ.

වසර තිස්පහක පමණ කාලයක් කලා ලෝකයේ කටයුතු කරමින් රංගන ශිල්පියකු ලෙස වගේම දුර්ගාත්මා හා සඳකුමරි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණ කොට සාර්ථක නිර්මාණ චාරිකාවක පැමිණි දික්කුඹුර සිය පළමු සිනමා නිර්මාණය ප්‍රේක්ෂක ජනතාව වෙත ගෙන ඒමට සියල්ල සූදානම් කර ඇත.

මරුසිරා, පොඩිවිජේ, හිතුමතේ ජීවිතේ, කැලැත්තෑවේ සොයිසා, කතරගම මනම්පේරි තරුණිය යන කතා ඇසුරින් මරුකතර චිත්‍රපටය නිර්මාණය කර තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන ‘හැරි‘ ගමේ ඉතා යහපත්ව ජීවත් වන තරුණයෙකි. සිය නැගණියට සිදුවන අමානුෂික අසාධාරණයට එරෙහිව වහාම ක්‍රියාත්මක වන ඔහු එය සිදුකළ දේශපාලනඥයකු, විශ්‍රාමික පොලිස් නිලධාරියකු පසුපස පළිගැනීම සඳහා ලුහුබඳිමින් සිටියි.

සමාජය විසින් හැරිට සිදුකරන අවහිර කරදර බාධක හමුවේ ඔහු සමාජය සමඟ දැඩි ගැටුම් ඇති කරගනියි. එහිදි හැරි අතින් නංගිට අපරාධය සිදුකළ අයෙක් පරලොව යයි. ඉන් පසු නීතියේ රැහැනට අසුවෙන හැරි එහිදි සිය නැගණියට සිදුවු අපරාධයට සම්බන්ධ තව අය සිටින බව දැනගෙන සිරගෙදරින් පැන ගොස් වලහා මුදලාලි නම් සිය හිතවතෙකුගේ රැකවරණය පතා ඔහුගේ නිවසේ සිටියි. මෙහිදි වලහා මුදලාලිගේ අනියම් බිරිය වූ සුද්දි හැරිට ආදරය කරයි.

මේ සිනමා පටයේදි ඔබට හමුවන සෙසු චරිත නම් කම්මල් බාස්, කළු අල්බට් චරිත ඔස්සේ රසවත් කතාන්දරයක් ගලායයි. වරෙක අහිංසක ප්‍රේමය, මිනිස්කම අගයන මිනිසෙකු හා තවත් වරෙක තම නැගණියට වූ අමානුෂික අපරාධයට එරෙහිවන සහෝදරයකු, සමාජයේ සිදුවන බාධක හිරිහැර හමුවේ යදම් දෙකඩ කරමින් නැගි සිටින ප්‍රතාපවත් මිනිසෙකුගේ (හැරී) කතාව මරු කතර සිනමා පටයෙන් කියැවේ.

කතාව, දෙබස්, තිරරචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සරත් දික්කුඹුරගෙනි. සම නිෂ්පාදනය ආචාර්ය ඉන්දික වජේරත්න, සිරාජ් මොහොමඩ්, වින්ධ්‍යා විජේසිංහ, පාලිත ගමගේ, සඳමාලි රුහුණගේ හා ජීවානන්ද රාජසිංහගෙනි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනය වන හැරිගේ චරිත සරත් දික්කුඹුර විසින් රඟපානු ඇත. අනෙක් රඟපෑම් උදයන්ති කුලතුංග‍, රත්නා සුමනපාල, පාලිත සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, මාර්ක් සැම්සන්, අජිත් ලොකුගේ, නිමල් පල්ලේවත්ත, නිරෝෂන් ඉලේපෙරුම, ෂෙරින් එදිරිසිංහ, තුෂාරි වේහැල්ල, රුක්ෂානා දිසානායක, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, වින්ධ්‍යා විජේසිංහ, මංජුල කෝනාර, කීර්ති රංජිත්, ජීවානන්ද රාජසිංහ, නයනා හේමන්තිගෙනි.

සංගීත අධ්‍යක්ෂණය සරත් වික්‍රම, ගීපද රචනය හේම ශ්‍රී ද අල්විස්, පසුබිම් ගායනා එච්.ආර්. ජෝතිපාලයන් (ගීතයේ අයිතිය ජයනන්දන රෙකෝඩ්බාර් අධිපති ජයනන්දන අල්විස්), කැමරා අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රදීප්, අංග රචනය ගාමිණි කොස්තා, කලා අධ්‍යක්ෂණය සිරිනාථ වික්‍රමසිංහ, සංස්කරණය නිශාන්ත ප්‍රදීප් හා අමිල කරුණානායක, සහය අධ්‍යක්ෂණය එරංග තිලකරත්න, නිෂ්පාදන කළමනාකරු චමින්ද දෑලගෙනි. මරුකතර සිනමාපටය දික්කුඹුර ෆිල්ම්ස් ඉදිරිපත් කරයි.

නව අදහස දක්වන්න