යූ.ඇන්.පිය වළ පල්ලට ද? | දිනමිණ


 

යූ.ඇන්.පිය වළ පල්ලට ද?

එක්සත් ජාතික පක්ෂය වළපල්ලට යමින් සිටින බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. එය සනාථ කරන්නට මෙන් සිරිකොතේ පවත්වන සෑම රැස්වීමක් ම ගාලගෝට්ටියකින් නිමාවට පත්වෙයි. පෙරේදා පැවැති මන්ත්‍රී මණ්ඩල රැස්වීම ද ගාලගෝට්ටියකින් නිමාවට පත් වී ඇත. රැස්වීම ඉදිරියට යමින් සිටිය දී නායකයන් පැනගොස් ඇති බවක් ද වාර්තා වී තිබිණි. සජිත් පිල එක පැත්තකත්, රනිල් පිල තව පැත්තකත් සිටිමින් සටන ආරම්භ කර තිබේ. අගමැති අපේක්ෂකයා මෙන් ම පක්ෂ නායකයා ද සජිත් ‍ප්‍රේමදාස යැයි පිරිසක් කියා සිටිති. පක්ෂ නායකයා වෙනස් කළ නොහැකි යැයි තව පිරිසක් කියා සිටිති. නායකත්ව ගැටලුවට විසැඳුමක් පෙනෙන තෙක් මානයක නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා වරක් කියා සිටියේ එතෙක් ශ්‍රී ලංකාවේ දක්ෂතම ඇමැති මණ්ඩලය තම ආණ්ඩුව සතු වන අතර එහි නායකත්වය තමන් උසුලන බව ය. ඔහු ප්‍රේමදාස මහතා ගැන කියා සිටියේ ය. ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක ගැන ද කියා සිටියේ ය. ඒ සියල්ලන්ගේ ම නායකයා හා මග පෙන්වන්නා තමන් බවද ජේ.ආර්.ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ ය. කිසිවකු ඊට එරෙහි වූයේ නැත. සියල්ලෝ ම එය අනුමත කළහ. ඔහු සිය පක්ෂයට හයෙන් පහක ජන බලයක් ලබා දුන්නේ ය. එදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අභියෝග කරන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු කාලයක සිට එක්සත් ජාතික පක්ෂයට නායකත්වය සපයන අතර ඔහුගේ නායකත්වය යටතේ ලැබූ ජයග්‍රහණවලට වඩා ලැබූ පරාජයන්ගේ ප්‍රමාණය වැඩි ය. වික්‍රමසිංහ මහතා කිසි කලෙක ජනාධිපති ධුරයට පත් වූයේ නැත. ඔහු ඉදිරිපත් වූ ජනාධිපතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ අන්ත පරාජයකි. මේ පරාජයන් හමුවේ පාක්ෂිකයෝ කෝප වූහ. වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ප්‍රබල මතයක් ඉදිරිපත් විය. එහෙත් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වූයේ නැත. ඔහු තාවකාලික පිළියම් යොදමින් උපාය මාර්ගික ලෙස පක්ෂ නායකත්වය රැකගෙන සිටී. අදත් සිදුවන්නේ ඒ ටිකම ය. වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවක් පෙනෙන්නට නැත.

බොහෝ රටවල ප්‍රධාන දේශපාලන පක්ෂ තරුණ නායකත්වයට ඉඩ දෙයි. පොදු ජනතාවට ඇහුම්කන් දෙයි. ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවලට හැඩ ගැසෙයි. ඒ අනුව ආර්ථිකය හසුරවයි. මේ එකක්වත් එක්සත් ජාතික පක්ෂය තුළ නැත. එජාපයෙ ඉහළ නායකත්වය උසුලන්නෝ මහල්ලෝ වෙති. පක්ෂය ජනතාවට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නට නැත. භික්ෂු සංඝයාට ගැරහීම ද, ශාසනයට පහර ගැසීමද දිගින් - දිගටම සිදු වී ඇත. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ යැයි කීමට තරම් ජාතිභ්‍රෂ්ඨ ඇමැතිවරු එ.ජා.ප. ආණ්ඩුවේ සිටියෝ ය. වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දර්ශනය යටතේ රටේ ආර්ථිකය බලවත් සේ පිරිහී ගියේ ය. 6.2% ක් ලෙස පැවැති වාර්ෂික ආර්ථික වෘද්ධිය 1.2% දක්වා පහළ ගියේ වික්‍රමසිංහ පාලනය යටතේ ය.

සජිත් ප්‍රේමදාස මහතා වුව සාර්ථක නායකත්වයක් ප්‍රකට කර නැත. රටේ අති බහුතරය ඔහු විශ්වාස නොකරන බව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දෙස බලන විට පෙනී යයි. නායකයන්ට අනාගත දැක්මක් තිබිය යුතු අතර ඔවුන් අනුකාරකයන් නොවිය යුතුය යන්න බුද්ධිමතුන්ගේ මතය වෙයි. ජේ.ආර්.ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ය. ප්‍රේමදාස මහතා උදාගම් වැඩසටහන, ජනසවිය, ඇඟලුම් කම්හල් 200 වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ ය. ලලිත් ඇතුළත්මුදලි මහතා ‘මහපොළ’ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන්නේ ය. ගාමිණී දිසානායක මහවැලි ව්‍යාපාරය දියුණු කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් කළ හැකි එවැන්නක් නැත. සජිත් ‍ ප්‍රේමදාස මහතා සිය පියාගේ අඩි පාරේ යෑමට වෑයම් කළ ද එය සාර්ථක වූයේ නැත.

ජනතාව මෑත කාලයේ දී එජාපය ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේ තාර්කික හේතු ගණනාවක් පදනම් කරගෙන ය. ඉන් පළමුවන්න ජාතික ආරක්ෂාව නොසලකා හැරීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්නට රටට සිදුවිය. දෙවන්න ජාතික ආර්ථිකය කම්බස් කිරීම ය. මහ බැංකු කොල්ලයෙන් ආරම්භ වූ ආර්ථිකයේ කඩාවැටීම ගිය වසර පුරාවටත් පැවැතිණි. තුන්වන්න අපේ උරුමයන්, සාංස්කෘතික දායාදයන් හා බුද්ධ ශාසනයත් නිගරුවට හා නොසැලකිල්ලට ලක් කිරීම ය. මංගල සමරවීර වැනි අමාත්‍යවරු මේ ක්‍රියාවලියෙහි පෙරමුණ ගත්හ. අවසන් ලෙස මේ පක්ෂය ජනතාව බලවත් සේ ප්‍රතික්ෂේප කරන්නේ රන්ජන් රාමනායකගේ සිද්ධි මාලාව පාදක කරගෙනය. යහපාලනයේ සත්‍ය ස්වභාවය එම සිද්ධි මාලාවෙන් එළියට ඇදෙන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ ඉතා ශක්තිමත් ලෙස පැවැතුණු යුගයක් තිබිණි. ග්‍රාමීය ජනතාව එදා මේ පක්ෂයට ආදරය කරමින් පක්ෂය ශක්තිමත් කළහ. නාගරික ජනතාව මෙන් ම වතු අංශයේ ජනතාව ද එජාපයට සහයෝගය දැක්වූහ. එදා එජාපයේ නායකයන්, ප්‍රතිපත්ති සේම වැඩසටහන්ද ජනතාවගේ පිළිගැනීමට ලක්විය. අද වනවිට එජාපයට හරි නායකත්වයක් නැත. අනාගත ආර්ථික දැක්මක් නැත. අවංක හා කාර්යශූර මන්ත්‍රීවරුන් ද එජාපයට නැත. අලියාගේ වයස්ගත කාලය පැමිණ ඇතැ’යි සිතන්නට පුළුවන. වයස්ගත වීම එක පැත්තක ඇති අතර ලෙඩ - රෝග ද වැලඳී ඇති බවක් පෙනෙයි. දැන් ඉතින් කොයි දොස්තර බෙහෙත් කළත් අලියා ගොඩගැනීම අපහසු ය.

නව අදහස දක්වන්න