සා.තෝමස්-ගේට්වේ වාර්ෂික පාපන්දු සටන 25 දා | දිනමිණ

සා.තෝමස්-ගේට්වේ වාර්ෂික පාපන්දු සටන 25 දා

කණ්ඩායම් නායකයන් කුසලානය සමග ඡායාරූපය - හර්බට් පෙරේරා

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර දෙවැනි වරට සංවිධාන කරන වාර්ෂික පාපන්දු තරගය මේ 25 වැනිදා පස්වරු 6.00ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

මේ තරගය රාජකීය විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සිය ගමන ආරම්භ කරමින් කොළඹ ඩී.එස්.සේනානායක සහ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආරම්භක විදුහල්පති ලෙස කටයුතු කළ කීර්තිමත් අධ්‍යාපනවේදියකු වූ රැල්ෆ් අලස් සහ සාන්ත තෝමස් විදුහලේ 15 වසරක පාලකවරයා ලෙස සේවය කළ නෙවිල් ද අල්විස් මහත්වරුන් සිහිකරමින් ‘නෙවිල් ද අල්විස්-රැල්ෆ් අලස්’ අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙයි.

විදුහල් දෙකේ අවුරුදු 20න් පහළ කණ්ඩායම් දෙක මේ ප්‍රධාන තරගයට එක්වන අතර අවුරුදු 12, 14 සහ 16න් පහළ දෙවිදුහල් පාපන්දු කණ්ඩායම් එක්වන තරගද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මීට සමගාමීව අවුරුදු 20න් පහළ බාලිකා ප්‍රදර්ශන පාපන්දු තරගයක්ද පැවැත්වෙන අතර ඒ සඳහා එක්වන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ ඕවසීස් ජාත්‍යන්තර පාසලයි.

අවුරුදු 20න් පහළ බාලක තරගයේදී ගේට්වේ කණ්ඩායම අරිත් නියාෂ් විසින්ද, සාන්ත තෝමස් කණ්ඩායම ෂෙවාන් එබනීෂර් විසින්ද මෙහෙයවති. ගේට්වේ පාසලේ අයිෂා ප්‍රෑන්ක් සහ ඕවසීස් පාසලේ ඩිසාරා සමයවර්ධන බාලිකා තරගයේදී කණ්ඩායම් දෙකට නායකත්වය ලබාදෙති.

දෙවිදුහල් අතර පසුගිය වසරේ ආරම්භ වූ මේ තරගයේ ජය ගේට්වේ පාසල සතුවී තිබේ.

මේ තරගාවලියේ පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ දී පැවැති අතර එම අවස්ථාවට අවුරුදු 20න් පහළ කණ්ඩායම් නායක නායිකාවන්, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස්, සාන්ත තෝමස් විදුහලේ විදුහල්පති මාක් බිලිමෝරියා පියතුමන්, ගේට්වේ විදුහලේ විදුහල්පති විනීතා ෂෙනෝයි මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න