එහෙත් හඬපට මෙහෙත් හඬපට | දිනමිණ


 

එහෙත් හඬපට මෙහෙත් හඬපට

ධම්මික සෙනෙවිරත්න
වෝටර්ගේට් ගොඩනැගිල්ලේ රහසිගත හඬ පටිගත කිරීම් කෙරුණු කාමරය

‘වොෂින්ටන් පෝස්ට්’ හෙළිදරව් කිරීම් ඔස්සේ විමර්ශනයක් දියත් විය. එහිදී ධවල මන්දිර ඕවල් කාර්යාලයේ සුරක්ෂිතව තබා තිබූ දුරකතන සංවාද ඇතුළත් ටේප් පට බාරදීමට ජනාධිපතිවරයාට සිදුවිය. එහෙත්, ඒ සියල්ලම නොවේ. කෙසේ වුවද, මේ සිද්ධිය සනාථ කෙරෙන ප්‍රබල සාක්ෂියක් ලෙස ඒවා ඉදිරිපත් කෙරිණි. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත්වීමට පෙර ඔහු අගෝස්තු 8 වැනිදා ධු‍රයෙන් ඉල්ලා අස්විය.

අනවසරයෙන් දුරකතන සංවාද පටිගත කිරීම හා එහි ප්‍රතිවිපාක දැක්වෙන ලෝක දේශපාලන ඉතිහාසයේ ප්‍රකටම උදාහරණය “වෝටර්ගේට් අපවාදයයි”. දැඩි ආන්දෝලනයක් මෙන්ම කැළැඹීමක් ඇති කළ අමෙරිකාවේ බලයට පත් කීර්තිමත් ජනාධිපතිවරයකු ලෙස සැලකෙන රිචඩ් නික්සන්ට ගෙදර යාමට සිදුවි ඊට දශක පහක් ගතවීමට ආසන්න ය. කෙසේ වුවද මේ සිදුවීමෙන් අමෙරිකාව හා සෙසු ලෝකය පාඩම් ඉගෙනගත් බවක් පෙනෙන්නේ නැත. ගත වූ කාලය තුළ මේ දක්වාම එවැනි ආන්දෝලනාත්මක සිදුවීම් ලොව නන් දෙසින් වාර්තා විය. ඒ බොහොමයක් දේශපාලනය හා සම්බන්ධය. මෙකී දුරකතන සංවාද ‍හේතුවෙන් පටලැවිලි ඇතිකරගත් දේශපාලන හා රාජ්‍ය නායකයන් ගණනාවකි. මේ ලැයිස්තුවේ වත්මන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිටී.

වෝටර්ගේට් සිද්ධිය

වෝටර්ගේට් අපවාදය දිගහැරෙන්නේ 1972 ජුනි 17 වැනිදා සිටය. ඒ වනවිට අමෙරිකා ජනාධිපතිවරණය ආසන්නව තිබිණි. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාර මූලස්ථානය පිහිටා තිබුණේ වෝටර්ගේට් ගොඩනැඟිල්ලේ ය. එදින උදෑසන එම පරිශ්‍රයේදී ගෙවල් බිඳින මංකොල්ලකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. ඒ මොහොතේ අනාවරණ නොකෙරුණද එය එසේ මෙසේ මංකොල්ලයක් නොවේ. මේ මංකොල්ලකරුවන් කර තිබුණේ ඩිමොක්‍රටික් පක්ෂ කාර්යාලයේ දුරකතනවලට රහසේ සවන්දීමට හැකි පරිදි උපාංග සවිකිරීම සහ අතිශය රහස්‍ය ලිපි ලේඛන කිහිපයක් සොරාගැනීම ය. මංකොල්ලකරුවන්ගෙන් එක් අයකු වූයේ ජනාධිපති නික්සන් දෙවැනි වරට බලයට පත්කිරීම වෙනුවෙන් පිහිටුවාගත් කමිටුවේ (CREEP) ප්‍රධානී ජේම්ස් ඩබ් මැක්වර්ඩ්(කනිෂ්ඨ) ය. සෙසු අය අතර හිටපු CIA ඒජන්තයන්ද විය.

සිදුවූ හරිය හෙළිදරව් වීම යනු නික්සන්ගේ දෙවැනි ධුර කාලය සිහිනයක් වීම බව පැහැදිළි කාරණයකි. ඔහු කළේ, මේ සිදුවීම යටපත් කිරීමයි. එය තවත් මංකොල්ලයක් පමණක් විය. ජනාධිපතිවරණයේදී 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ රිපබ්ලිකන් අපේක්ෂක නික්සන් දෙවැනිවරටද තේරීපත් වූයේ ය. 

ජනාධිපති නික්සන් අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කළ නායකයෙකි. වියට්නාම යුද්ධය නිමාවට පත්වූයේ ඔහුගේ මැදිහත්වීමෙනි. න්‍යෂ්ටික අවි පිළිබඳ සම්මුතිය, චීනය හා රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ගොඩනඟාගැනීම පමණක් නොව ඔහු දියත් කළ “පිළිකා මර්දන සටන” නිසාද ජනාධිපති නික්සන් බොහෝ දෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට ලක්ව සිටියේය. එසේ වුවද, වියට්නාම යුද්ධය නිමාකිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග වැනි පියවර හේතුවෙන් දෙවැනිවරට බලයට පත්වීමේදී අවාසිදායක තත්ත්වයන් ඇතිවේය යන දෙගිඩියාව තිබිණි. CREEP පිහිටුවා ගැනුණේ ඊට පිළියමක් වශයෙනි. ඔවුන් අනුගමනය කළ ඇතැම් ක්‍රම අමෙරිකාව ලෝකයට පෙන් වූ ප්‍රතිරූපයට හානිකර විය. ප්‍රතිවාදී අපේක්ෂකයාගේ දුරකතන ටැප් කිරිම එවැනි එක් උපක්‍රමයකි. එමඟින් ඩිමොක්‍රටික් පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ රහස් දැනගැනීම අරමුණ වූයේ ය. මේ උපක්‍රමය ශිෂ්ට සම්මත ක්‍රමවේද හා කිසිසේත් ගැළපෙන්නේ නැත. එහෙත් රිපබ්ලිකන් පක්ෂය එවැනි උපායමාර්ගද භාවිත කළේය. ඩිමොක්‍රටික් කාර්යාලයේ සවිකළ දුරකතන සංවාද රහසිගතව පටිගත කිරීමේ උපාංග නිසියාකාර ක්‍රියාත්මක නොවීම නිසා අලුත් මයික්‍රෆෝනයක් සවි කිරීම පස්දෙනාගේ කණ්ඩායමේ වෑයම විය. එහෙත් එය එම පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරියකුගේ අතටම හසු වූ අතර ඔහු වහා පොලීසිය කැඳවීය. කොල්ලකරුවන් හා ජනාධිපතිවරයා අතර තිබූ සම්බන්ධය ඒ අවස්ථාවේ හෙළිදරව් නොවීය. පසුව ඒ ගැන රාවයක් පැතිර යද්දී ජනාධිපති නික්සන් කියා සිටියේ මේ සිදුවීමට ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ සම්බන්ධයක් නැති බවය. බොහෝ දෙනා ඔහු විශ්වාස කළහ. එහෙත් පස් දෙනාගේ කල්ලියට ඩොලර් මලු ලබාදීමටද ඔහු කටයුතු සැලැස් වූ බව පසුව හෙළිදරව් විය.

වැඩිකලක් මේ සිද්ධිය යටපත් කර තැබීමට ජනාධිපති නික්සන්ට හැකිවූයේ නැත. “වොෂින්ටන් පෝස්ට්” පුවත්පතේ වාර්තාකරුවන් දෙදෙනකු වූ බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බන්ස්ටයින්, වෝටර්ගේට් අපවාදය දිගහැරියහ. එම වාර්තාකරණය පුලිට්සර් ත්‍යාගයෙන් ඔවුන් පිදුම් ලැබීමටද හේතුවිණි. මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව වාර්තා තබමින් අලෙවි වූ ඔවුන් දෙදෙනා එක්ව රචනා කළ ‘ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්’ කෘතියටද පසුබිම් විය. බොබ් සහ කාල් හෙළිදරව් කළ බොහෝ තොරතුරු ඔවුන් වෙත සපයා තිබුණේ ‘ඩීප් ත්‍රෝට්’ යනුවෙන් ඔවුන් හැඳින් වූ මූලාශ්‍රයකි. ‘ඩීප් ත්‍රෝට්’ යනු කවුරුන්දැයි ඔවුන් කිසිදා හෙළිදරව් නොකළ අතර වෝටර්ගේට් අපවාදයෙන් වසර 33 කට පසු 2005 දී ‘ඩීප් ත්‍රෝට්’ යනු තමා බව ඩබ්.මාර්ක් ෆෙල්ට් නම් අයකු හෙළිදරව් කළේය. ඔහු FBI හි හිටපු සම අධ්‍යක්ෂවරයෙකි.

මැලේසියාවේ නීතිය

‘වොෂින්ටන් පෝස්ට්’ හෙළිදරව් කිරීම් ඔස්සේ විමර්ශනයක් දියත් විය. එහිදී ධවල මන්දිර ඕවල් කාර්යාලයේ සුරක්ෂිතව තබා තිබූ දුරකතන සංවාද ඇතුළත් ටේප් පට බාරදීමට ජනාධිපතිවරයාට සිදුවිය. එහෙත්, ඒ සියල්ලම නොවේ. කෙසේ වුවද, මේ සිද්ධිය සනාථ කෙරෙන ප්‍රබල සාක්ෂියක් ලෙස ඒවා ඉදිරිපත් කෙරිණි. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත්වීමට පෙර ඔහු අගෝස්තු 8 වැනිදා ධු‍රයෙන් ඉල්ලා අස්විය. මීට වසර කිහිපයකට පෙර පෝලන්තයේ WPROST නමැති සඟරාව රජයේ ඉහළ පෙළේ ඇමැතිවරු සහ නිලධාරින් අතර අවන්හල් තුලදී සිදු වූ සංවාද කිහිපයක හඬපට ප්‍රසිද්ධියට පත් කළේ ය. පෝලන්තයේ මහබැංකුව දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන ආයතනයක් වුවද ඊට බලපෑම් එල්ල වූ ආකාරය මෙන්ම ඇමරිකාව සහ පෝලන්තය අතර සම්බන්ධතාවන්ට අදාලව ඇතැම් කාරණා ද හෙළිදරව් කෙරිණි. අගමැති ඩොනල්ඩ් ටස්ක් ආණ්ඩුවට තර්ජනයක් එල්ලවන තරමටම එම හෙළිදරව් බලසම්පන්න විය.

මැලේසියාවේ හිටපු අගමැති අබ්දුල් රසාක් ට එරෙහිව එරට දූෂණ විරෝධී කොමිෂම පසුගියදා ඉදිරිපත් කළ පටිගත කළ දුරකතන සංවාද ඇතුළත් හඬපට මඟින් පැහැදිළි වූයේ එවක අගමැති වූ රසාක්ගේ දුරකතනය ද ටැප්කර තිබූ බවය. මේ සංවාද ඔහු සහ බිරිය මෙන්ම තවත් නිලධාරීන් කිහිප දෙනකු අතර සිදු වූ ඒවාය. රසාක් බලයේ සිටියදී, 2012 වසරේදී අදාළ අංශවලට දුරකතන සංවාද පටිගත කිරීමට අවශ්‍ය නෛතික බලය ලබා දෙමින් නීති සම්මත කර තිබිණි. එම අවසරය ඔහුට එරෙහිවද ක්‍රියාත්මක වී ඇති අයුරු මින් පිළිබිඹු වේ. ඒ සමඟ තම පෞද්ගලිකත්වයට කුමක් සිදුවී තිබේද යන්න අරඹයා ජනතාව තුළ සංවාදයක් ඇති වී තිබේ. 

මීට දෙවසරකට පමණ පෙර නවසීලන්ත අගමැති බිල් ඉංග්ලිෂ්ද මැතිවරණයට මාස කිහිපයක් තිබියදී රහසිගතව සංවාද පටිගත කිරීමේ සිද්ධියක් හේතුවෙන් ආන්දෝලනයට ලක්විය. 2016 පෙබරවාරි සිදුවූ බව කියන මේ පටිගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ටොඩ් බාර්ත්ලේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්විණි. ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම හේතුවෙන් එම විමර්ශන නතර වුවද මාධ්‍ය ඔස්සේ මේ සිද්ධිය මතු කෙරිණි. නවසීලන්ත අගමැතිවරයා මුහුණ දුන් ප්‍රබල දේශපාලන අභියෝගයක් බවට එය පත්විණි. සෙසු පුද්ගලයන් අතර සිදුවන සංවාද රහසිගතව පටිගත කිරීම නවසීලන්තයේ නීතියෙන් තහනම්ය. අදාළ මන්ත්‍රිවරයා එලෙස පටිගත කර තිබුණේ නිලධාරියකුගේ සංවාදයකි. මේ පිළිබඳ අගමැතිවරයා කියා සිටියේ, එය තමා දැනුවත්ව සිදුවූවක් නොවන බවය. බාර්ත්ලේ මුලින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කළද පසුව එය පිළිගත් අතර මැතිවරණයට තරග නොකරන බව කියා සිටියේය. එම සංවාද ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇති කළ බව පෙනිණි. අගමැතිවරයාගේ ආවරණය යටතේ එය සිදු වූ බවට මත පළ විය.

තුර්කි අගමැතිගේ ප්‍රශ්නය

ඉන්දීය ව්‍යවස්ථාව අනුව අවසරලත් අධිකාරීන්ට දුරකතනවලට රහසිගතව සවන්දීමට හා සංවාද පටිගත කිරීමට බලය තිබේ. එසේ වුවද අවසර නොලත් පාර්ශ්ව එය සිදුකිරීම නීති විරෝධීය. එමෙන්ම එරට වැසියන්ට පුද්ගලිකත්වය සම්බන්ධයෙන් ඇති නිදහසද ව්‍යවස්ථාවෙන් පිළිගැනේ. දුරකතන සංවාදවලට සවන්දීම හා පටිගත කිරීම පැහැදිලි මාර්ගෝපදේශ සපයා තිබේ. ඉන් කියැවෙන්නේ ඊට පටහැනිව නොයා යුතු බවය. මේ සම්බන්ධයෙන් නඩු තීන්දු ගණනාවක්ම ඇත. රජිව් ගාන්ධි හා චන්ද්‍රශේඛර් වැනි හිටපු අගමැතිවරු ගැන වඩා අවධානයට ලක්වේ. ඇතැම් ඒවා ආන්දෝලනයට තුඩු දුන්නේය. ඇතැම් අවස්ථාවල දික්කසාද නඩු වැනි සිවිල් නඩු කටයුතුවලදීද පටිගත කළ සංවාද ඉදිරිපත් වී තිබේ.

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයන්ට ගැඹුරින් අවධානය යොමු කරන අතරම එක්සත් ජනපදයද මෙවැනි සංවාද නීතියේ ඉදිරියේදී සාක්ෂි වශයෙන් පිළිගනී. 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මේ පිළිබඳ නව නීති සම්මත වීමද සිදුවිය. පසුගිය ඔබාමා පාලන සමයේදී අමෙරිකානුවන්ගේ දුරකතන සංවාදවල පටිගත කිරීම් මිලියන ගණනක් තබාගැනීම ගැන දැඩි ආන්දෝලනයක් ඇතිවිණි. එය ජාතික ආරක්ෂාව යටතේ සිදුකළ දෙයක් බව රජයේ ප්‍රතිචාරය විය. කැනඩාවේ දුරකතන සංවාද අධිකරණ වරෙන්තුවකින් තොරව රහසිගතව පටිගත කිරීම නීති විරෝධීය. කැනඩා අගමැති ජස්ටින් ටු ඩොට්ගේ රහසිගත දුරකතන සංවාදයක හඩපට හිටපු නීතිපතිවරයා විසින් හෙළිදරව් කිරීමත් සමඟ ඔහුද අර්බුදයට ලක් විය.

මීට වසර කිහිපයකට පෙර තුර්කි අගමැති ටයිප් එර්ඩොගාන් ද පටිගත කළ දුරකතන සංවාද හේතුවෙන් ආන්දෝලනයට ලක්විය. එම සංවාද ඉදිරිපත් වූයේ ඔහු සහ පුතු අතර සිදු වූ බව පවසමිනි. එහිදී කිසියම් විශාල මුදලක් පොලිස් පරීක්ෂණවලට පෙර සැඟවීමට අගමැතිවරයා පුතාට උපදෙස් දෙන බවත් දැක්වේ. කෙසේ වුවද මේ සංවාද ව්‍යාජ ඒවා බවද තමාට එරෙහි දේශපාලන සතුරන්ගේ නිර්මාණයක් බවද අගමැති එර්ඩොගාන් කියා සිටියේ ය. එම හඬපටය විනාඩි 11 කින් යුතුය. පාර්ලිමේන්තුව හමුවේ එය ප්‍රතික්ෂේප කළ අගමැතිවරයා මෙවැනි බොරු ජනතාව පිළිනොගන්නා බවද කියා සිටියේය. කෙසේ වුවද මේ සිදුවීම මඟින් ඔහුගේ ජනප්‍රියත්වය වරක් පහත වැටුණු බව මත විමසුම්වලින් පෙනිණි. එම හඬපටය ඉදිරිපත් කිරීම සඳහා අගමැතිවරයාගේද ඇමැතිවරුන්ගේද තවත් අයගේද දුරකතනවලට 18 මාසයක් තිස්සේ රහසිගතව සවන්දී ඇති බවද අවසානයේදී විනාඩි කිහිපයක සංවාදයක් ලෙස මෙය ඉදිරිපත් කර තිබූ බවද ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබිණි.

2018 වර්ෂයේදී, අයිස්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනකු අතර අවන්හලකදී ඇති වූ බව කියන සංවාදයක හඬපට හේතුවෙන් ඔවුන්ට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් හඬ නැඟිණි. මේ ඔවුන් ආබාධිත හිටපු මන්ත්‍රිවරියක වන ෆ්‍රීජා හැරඩ්ස් ඩොටීර් අපහසුවට පත්කරන අන්දමේ ප්‍රකාශ කළ බව පැවසිණි. අයිස්ලන්තය කාන්තා අයිතීන් පිළිබඳ ඉතා සැලකිලිමත් වූ මෙන්ම ඒ වනවිට අගමැතිනියක පාලනය කළ රටක් විය. තමන් එහිදී භාවිත කළ පහත් පෙළේ භාෂාව පිළිබඳ මේ මන්ත්‍රිවරු පසුව සමාව අයැද සිටියහ. අදාළ මන්ත්‍රිවරිය කීවේ සමාව ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවය. මේ සිද්ධිය යම් සමාජමය කම්පනයක්ද ඇති කළ බව පෙනිණි. ඊට එරෙහිව විරෝධතාද ඇතිවිය.

හඬපට නිසා ඇති වූ මෙවැනි අර්බුද මෙන්ම පෙරළි කොතෙකුත් තිබේ. ඒවායේ ඉතිහාසය විමසනවිට පෙනෙන්නේ දුරකතන සංවාදවලට රහසිගතව සවන්දීමද දුරකතනයේ ඉතිහාසය තරමටම පැරැණි විය හැකි බවය. කෙසේ වුවද, නෛතික රාමුවක් තුළ මෙන්ම ඉන් බැහැරවද අදටත් එය සිදුවෙමින් පවතින්නේ ඇතැම් සමාජ දේශපාලන ස්ථර උඩු - යටිකුරු කරමින්ය. ඇතැම් අවස්ථාවලදී සදාචාර සම්මතයන් සුණු විසුණු කර දමමින්ය.

නව අදහස දක්වන්න