වස දෙන්නන්ගෙන් ආරක්ෂා වන්න | දිනමිණ

වස දෙන්නන්ගෙන් ආරක්ෂා වන්න

ආහාර සඳහා රසකාරක වර්ණක යොදා ගැනීම නිෂ්පාදකයාට අවශ්‍ය ආකාරයට සිදු කළ හැකි නොවේ. ඒ සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු වර්ණක සහ රසකාරක වර්ග පමණක් අන්තර්ගත කළ යුතු අතර එවැනි අන්තර්ගත කිරීම් අනුමත ප්‍රමාණවලින් පමණක් සිදුකළ යුතුය.

 මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එහි පැවැත්ම ඉදිරියට රැගෙන එන්නට මිනිසාට ආහාර අත්‍යවශ්‍ය විය. නිවාස සහ ඇඳුම් මූලික අවශ්‍යතා අතරට එක් වී ඇත්තේ ඉන් අනතුරුවය. ආහාර සපයා ගැනීමේදී ඒවා ජීවිතයට හානිකර නොවන ද්‍රව්‍යයන්ගෙන් සකස් වී ඇත්දැයි සොයා බැලීමට තරම් ආදිමානවයා පවා සැලකිලිමත් වී තිබේ. ජීවිතය පවත්වාගෙන යාමට සහ ශක්තිමත්ව සිටීමට අවැසි ආහාර තෝරා බේරා ගනිමින් අහිතකර ආහාර භාවිතයෙන් බැහැර කිරීමට එවක සිටම මිනිසා සතුව පැහැදිලි ඉවක් පැවතී තිබේ.

මිනිස් ශිෂ්ටාචාරය දියුණුවට පත් වෙමින් වර්තමානය කරා පැමිණි ගමන් මඟ තුළ මිනිසාගේ ජීවන රටාවෙහි සුවිශාල වෙනස්කම් සිදුවී තිබේ. සියල්ල වෙනස්වන විට ආහාර රටාවද වෙනස් වීම සාමාන්‍ය කරුණක් වන නමුත් ආහාර සඳහා භාවිත කරන ද්‍රව්‍ය ශරීරයට අහිතකර ද යන්න සොයා ගැනීමට අතීතයේ තිබූ ඉව වර්තමානයේ මිනිසා සතුව නොමැති සේම ඇස සහ දිව රවටන මායාවන්වලට මිනිසා සිය සෞඛ්‍ය බිලි දෙමින් සිටින්නේ නොදැනුවත්කම හේතුවෙනි.

 

ඇස්බැන්දුම් වැඩ

සුරක්ෂිත ආහාර පිළිවෙතක් අනුගමනය කිරීම සඳහා ආහාරවල ගුණාත්මක භාවය පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීමට මිනිසාට හැකියාවක් නැති තරමටම ආහාර ස්වස්ථතාවය මායාකාරී ඇස් බැන්දුම් අතර බිඳවැටී ඇති හෙයින් ඒ සඳහා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කරන්නට සෑම රජයක්ම බැඳී සිටී.

ආහාර ස්වස්ථතාවය නිවැරැදිව පවත්වා ගෙන නොයාම හේතුවෙන් නීතිය හමුවේ වරදකරුවන් වන ආහාර නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන් පිළිබඳ අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. ආහාර නිෂ්පාදකයන් හෝ බෙදාහරින්නන් තමා විසින් නිෂ්පාදනය කර බෙදාහරින ආහාරය සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් කරන්නට තමා විසින් පිළිපැදිය යුතු නීති රෙගුලාසි පිළිබඳව මනා අවබෝධයකින් සිටීම මඟින් සෞඛ්‍ය සම්පන්න ආහාර භුක්ති විඳින්නට පාරිභෝගිකයාට හැකියාව ලැබේ.

ආහාර ස්වස්ථතාව පිළිබඳ ව සියල්ලම පාලනය වන්නේ 1980 අංක 26 දරන ආහාර පනත මගිනි. 1990 වර්ෂයේදී සංශෝධනය වන ඉහත පනත යටතේ නව රෙගුලාසි පැනවීමක් සිදු වෙයි. මේ යටතේ විවිධාකාර රෙගුලාසි ඇති අතර ඉන් එකක් වන්නේ ලේබල් රෙගුලාසියයි. ලේබල් රෙගුලාසිය යටතේ ආහාර ඇසුරුම්කරණයේ දී භාවිත වන ලේබලයක් අවම වශයෙන් භාෂා දෙකකින් යුක්ත වීම අනිවාර්ය වේ. නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, සහ නිෂ්පාදකයා හෝ බෙදාහරින්නා ගේ නම ඇතුළුව ආහාරයෙහි අඩංගු රසකාරක, වර්ණක ඇතුළු සියලු සංඝටක පිළිබඳව එම ලේබලයෙහි පැහැදිලිව සටහන් විය යුතුය. ආහාර ස්වස්ථතාවය ආරක්ෂා කිරීමේ පනත මගින් මෙම ලේබල් රෙගුලාසියට අයත් වන සාධක මත ලේබලයෙහි සටහන් වී ඇති දේ සත්‍ය දැයි විමසා බලන්නට ආහාර රස පරීක්ෂණය සඳහා භාජනය කරයි. එසේම ලේබලයෙහි අඩංගුව ඇති කිසිදු දිනයක් හෝ වෙනත් සටහනක් වෙනස් කිරීම සඳහා නිෂ්පාදකයාට හෝ බෙදාහරින්නට අයිතියක් නැත. එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව තිබේ.

 

වර්ණක සහ රසකාරක

ලේබල් රෙගුලාසිවලට අමතරව ආහාරයක අන්තර්ගත විය යුතු රසකාරක ආදියෙහි ප්‍රමාණාත්මක බව පිළිබඳව පාරිභෝගිකයාට දැනගැනීමට හැකි ආකාරයෙහි සඳහනක් තැබීමද තවත් රෙගුලාසියකි. උදාහරණයක් වශයෙන් යම්කිසි ආහාරයක හෝ පාන වර්ගයක අඩංගු වී ඇති සීනි ප්‍රතිශතය පාරිභෝගිකයාට දැනගැනීම සඳහා ක්‍රමවේදයක් නියම කොට තිබේ. Traffic lights signs ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය තුළ අධික සීනි ප්‍රමාණයක් අන්තර්ගත වී තිබෙන ආහාරයක හෝ පානයක ඇසුරුමෙහි රතුපැහැ වෘත්තයක් ද සාමාන්‍ය ප්‍රමාණයට සීනි අන්තර්ගත වී තිබේ නම් කහ හෝ තැඹිලි වර්ණය වෘත්තයක්ද, පනත මගින් නිශ්චය කර තිබෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිශතයක් සහිත ආහාර හෝ පාන ඇසුරුමක් මත කොළ පැහැයෙන් වෘත්තයක් ද සටහන් කර තිබිය යුතුය.

ආහාර සඳහා රසකාරක වර්ණක යොදා ගැනීම නිෂ්පාදකයාට අවශ්‍ය ආකාරයට සිදු කළ හැකි නොවේ. ඒ සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු වර්ණක සහ රසකාරක වර්ග පමණක් අන්තර්ගත කළ යුතු අතර එවැනි අන්තර්ගත කිරීම් අනුමත ප්‍රමාණවලින් පමණක් සිදුකළ යුතුය. මේ පිළිබඳවද පනතෙහි රෙගුලාසි මගින් සඳහන් කර තිබේ.

ආහාර ඇසුරුම්කරණය සඳහා ද ආහාරයට කිසිදු අහිතකර ද්‍රව්‍යයක් ඇතුළු විය නොහැකි ආකාරයේ ප්‍රමිතිගත ඇසුරුම් භාවිතා කළ යුතුය. ආහාර සඳහා අනුමත ඇසුරුම් ද්‍රව්‍ය (food grade packaging material) මේ සඳහා භාවිතා කිරීම අනිවාර්යය. පොලිතීන් රෙජිෆෝම් ආදී විවිධ අමුද්‍රව්‍යවලින් සකස් කර ඇති මෙම ඇසුරුම් ආහාර ඇසිරීම සඳහා සුදුසු බවට සහතික කර තිබිය යුතුය. එම අමුද්‍රව්‍ය යෙහි ආහාර ඇසුරුම් කිරීම ආරක්ෂිත බව හැඟවීමේ ලකුණක් වශයෙන් හැන්දක් සහ ගෑරුප්පුවක් අඩංගු ලාංඡනයක් සටහන් කර ඇති අවස්ථා දක්නට ලැබේ.

නිෂ්පාදකයන් හෝ බෙදාහරින්නන් මිනිස් පරිභෝජනයට සුදුසු ලෙස ආහාර පාන සකස් කිරීම සහ බෙදාහැරීම සිදු කරනවා දැයි පරික්ෂා කිරීම සඳහා නිරන්තරයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම විමසිලිමත් වෙති. ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙසින් සකස් කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම සපුරා තහනම්ය. ආහාර සකස් කිරීමට ගන්නා අමුද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යයට අහිතකර නොවන ඒවා විය යුතුය. උදාහරණයක් වශයෙන් නැවුම් පලතුරු බීම සහ පලතුරු සලාද අලෙවිකරන ස්ථානයක ඒවා සකස් කිරීම සඳහා කුණු වූ හෝ පුස් බැඳුණු පලතුරු භාවිතා කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදකි. ආහාර සකස් කරන පුද්ගලයා ද සෞඛ්‍ය සම්පන්නව සහ පිරිසිඳුව එම කටයුත්තෙහි නිරත විය යුතුය.

කාර්යබහුල ජීවන රටාව මත බොහෝ දෙනෙක් හෝටලයක හෝ පිටත ස්ථානයක සකස් කරන ලද ආහාර ගැනීමට හුරු වී සිටිති. හෝටල් පිළිබඳව නිරන්තරයෙන්ම විවිධ පැමිණිලි ඉදිරිපත් වන බව අසන්නට ලැබේ. එම හේතුව නිසාම හෝටලයක් පවත්වාගෙන යාමේ දී පාරිභෝගිකයාට අහිතකර නොවන ආහාර ලබා දෙනවාද යන්න පිළිබඳ නිරන්තර පරීක්ෂාවක යෙදීම බලධාරීන් විසින් සිදු කරනු ලැබේ. H 800 නමින් හඳුන්වන්නේ ආහාර පරිහරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ ලේඛනයයි. මෙම ලේඛනය මගින් අදාළ ආහාර පරිහරණ ආයතනය A,B,C,D වශයෙන් ශ්‍රේණිගත කරයි. ලකුණු 75 කට වැඩියෙන් ලබාගන්නා ආයතන A ශ්‍රේණියට නම්කරන අතර 50 ට වැඩි ආයතන B ශේණියට ඇතුළත් වේ ලකුණු පනහේ සිට 25 දක්වා සහ ඊට පහළින් ඇති ආයතන පිළිවෙළින් C , D ලෙස නම් වන අතර ඒවා අසතුටුදායක සහ ඉතා අසතුටුදායක යන ශ්‍රේණිවලට අයත් වේ.

 

ලකුණු දීම

 

ලකුණු ලබා දීම සඳහා H 800 ලේඛනයෙහි ඇතුළත් වන කොටස් දහයකින් යුක්තරික්ෂා කිරීම්වලදී ඒවාට යහපත් ප්‍රතිචාර හිමි කරගත යුතුය. ආයතනයක් ශ්‍රේණිගත කිරීම සඳහා එහි පිහිටීම හා පරිසරය, ආහාර පරිහරණ ආයතනයක් පවත්වාගෙන යාම සඳහා ඇති යෝග්‍යතාවය, පිරිසුදු බව, අලංකාරය සහ දූෂිත බවින් තොර වීම ආදී විවිධ පැතිකඩ ඔස්සේ පරික්ෂා කිරීම් සිදුකරයි. පිහිටීම සහ පරිසරයට ලකුණු පහක්, ගොඩනැඟිල්ලෙහි ස්වභාවය, ආලෝකය වාතාශ්‍රය ඇතුළුවන ආකාරය සඳහා ලකුණු දහයක්, ආහාර සකස් කරන පිරිනමන සහ ප්‍රදර්ශනය කරන ආකාරය ඇතුළුව ගබඩා කරන ප්‍රදේශයෙහි පවිත්‍රතාවය සඳහා ලකුණු තිහක්, ආහාර පරිහරණය කිරීමට භාවිතා කරන උපකරණ සහ භාණ්ඩ නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ලකුණු 10 ක්, ආහාර ගබඩා කිරීම සඳහා නියමිත ක්‍රමවේද භාවිත කිරීම සඳහා ලකුණු 10ක්, ජලය ගබඩා කිරීම ක්‍රමවත් සහ ප්‍රමාණවත් ජල බෙදාහැරීම ආදී ජල සැපයුම සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා ලකුණු පහක්, ආයතනයෙහි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ලකුණු දහයක්, ආහාර ද්‍රව්‍යවල තත්ත්වය ප්‍රමිතිය සහ පවිත්‍රතාවය වෙනුවෙන් ලකුණු පහක්, ආහාර පරිහරණය කරන්නන් ගේ සෞඛ්‍ය තත්ත්වය සහ පුහුණුව සඳහා ලකුණු දහයක් සහ සෞඛ්‍ය පණිවුඩ ප්‍රදර්ශනය කිරීම වාර්තා තබා ගැනීම, සහතිකකරණය සඳහා ලකුණු පහක් වශයෙන් ශ්‍රේණිගත කිරීම් සඳහා ලකුණු ලබාදීම සිදු කෙරේ.

 

අධීක්ෂණ ක්‍රියාවලිය

 

මෙම ශ්‍රේණිගත කිරීම් පරීක්ෂණයට භාජනය නොවී හෝටලයක් පවත්වාගෙන යාමට නොහැකි අතර සෑම වසරකට වරක්ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මෙම පරීක්ෂණය සිදු කරනු ලැබේ. ආයතනය පවත්වාගෙන යාම සඳහා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීමේදී මෙම ලේඛනයෙහි ශ්‍රේණිගත කිරීම් ලකුණු අනිවාර්යයෙන්ම පනහ ඉක්මවා තිබිය යුතුය. නොඑසේනම් වෙළෙඳ බලපත්‍රයක් නිකුත් කිරීම සිදු නොකරන අතර තිබෙන වෙළෙඳ බලපත්‍රය ද අහෝසි වී යයි.

මෙම ශ්‍රේණිගත කිරීම්වලින් ලකුණු ලබා ගැනීම අවම මට්ටමක තිබීම හේතුවෙන් වෙළෙඳ බලපත්‍රයකින් තොරව හෝටලයක් පවත්වාගෙන යාම නීති මගින් දඬුවම් ලබාදිය හැකි වරදකි.

යම්කිසි හෝටලයක හෝ ආහාර පරිහරණ අලෙවිකරණ ස්ථානයක පරිභෝජනයට නුසුදුසු ආහාරයක් තිබේ නම් ඒ පිළිබඳව මධ්‍යම ආහාර පාලන ඒකකයට පැමිණිලි කිරීම සඳහා පාරිභෝගිකයන්ට අවකාශය තිබේ. 26766161 දුරකථන අංකයෙන් එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එවැනි පැමිණිල්ලක් ලැබුණු සැනින් ක්‍රියාත්මක වී අදාළ ස්ථානය පරීක්ෂා කිරීම මධ්‍යම ආහාර පාලන ඒකකයට අනුබද්ධ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. එසේ පරික්ෂා කිරීමෙන් අනතුරුව ලබාගන්නා ආහාර සාම්පල සහ ජල සාම්පල නාගරික අනු ජීවක රසායනාගාරයට සහ නාගරික විශ්ලේෂක රසායනාගාරයට යොමු කොට පරීක්ෂා කරනු ලැබේ.

අනු ජීවක රසායනාගාරය තුළ දී එම ආහාර සාම්පල තුළ බැක්ටීරියා හෝ වෛරස එසේත් නැතිනම් මළපහ වැනි ‍ද්‍රව්‍ය අඩංගු වී තිබේදැයි පරීක්ෂාකර එවැනි අහිතකර ද්‍රව්‍යයක් අඩංගු වුවහොත් නඩු දැමීම සිදුකරයි. විශ්ලේෂක රසායනාගාරයට ලබාදෙන ආහාර තුළ ආහාරයක නොතිබිය යුතු ද්‍රව්‍ය වර්ණක රස කාරක ආදිය තිබේ දැයි පරික්ෂා කර බැලේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් අවම වශයෙන් මසකට ආහාර සාම්පල හතරක් ලබාගත යුතු අතර ඉන් දෙකක් අනු ජීවක රසායනාගාරයටත් ඉතිරි දෙක විශ්ලේෂක රසායනාගාරයට ලබාදී පරීක්ෂා කෙරේ.

සෑම වසරකම මිනිසුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම සම්බන්ධව සිය ගණනක් ආයතන සහ පුද්ගලයින්ට විරුද්ධව නඩු පැවරෙන අතර ලක්ෂ ගණනක මුදල් දඩ වශයෙන් අයකර ගන්නට රජය කටයුතු කරයි. ඇතැම්විට බොහෝ අපහසුවෙන් ගොඩනඟාගත් ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටෙන්නට අපරික්ෂාකාරීව කටයුතු කරන ඉතා කුඩා අවස්ථාවක් වුවද සෑහේ. පුද්ගල පරිභෝජනය සඳහා ආහාර අලෙවි කිරීම ඉතා ඉතා උසස් සේවාවක් වන අතර එම ආහාර මිනිස් පරිභෝජනයට අතිශයින්ම සුදුසු තත්ත්වයක පවතිනවා දැයි පරීක්ෂාකාරීව කටයුතු කිරීම ආයතනය වශයෙන් දිගුකාලීන පැවැත්මකට සහ විශ්වාසය දිනාගැනීම මතින් ආයතනමය දියුණුව වැඩි කරගැනීමට හේතුවකි.

 

දිල්රූ ජයසේකර

ඡායාරූප

ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලයෙනි

නව අදහස දක්වන්න