“කොරෝනා” | දිනමිණ

“කොරෝනා”

ගෙවීගිය පැය විසිහතර දෙස ආපසු හැරී බැලුවහොත්; සමස්ත ලෝකය වැඩියෙන්ම කතාබහට ලක් කළ මාතෘකා තුනක් තිබේ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය, තුර්කියේ භූමිකම්පාව හා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය එම මාතෘකා තුනය. මේ අතරින්ද ලෝක ප්‍රජාව බලවත් කම්පනයකට පත්කර ඇත්තේ කොරෝනා වයිරසයේ ‍ලෝක ව්‍යාප්තිය යි. අමෙරිකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙන අන්දමට; වයිරසයේ ව්‍යාප්තිය ශීඝ්‍ර වුවහොත් මේ ඔස්සේ මිලියන හැටපහක මනුෂ්‍ය ප්‍රජාවක් මිය යා හැකි ය. එහෙත් චීනයේ වෛද්‍ය බලධාරීන්ට අනුව නව කොරෝනා වයිරසය සාර්ස් වයිරසය තරම් මාරාන්තික නැත. එබැවින් මේ සම්බන්ධයෙන් බරපතළ තැතිගැන්මක් ඇතිකර ගත යුතු ද නැත.

නව වයිරසය හා එහි අසාත්මිකතා මුලින්ම වාර්තා වූයේ චිනයේ වූහාන් නගරයෙන් ය. ඒ පසුගිය දෙසැම්බර් 31 දාය. මේ වන විට චීනයේ ප්‍රධාන නගර ගණනාවක් වයිරසයට ගොදුරු වී ඇත. අමෙරිකාව, ආසියාව, යුරෝපය හා ඕස්ට්‍රේලියාව රෝග ව්‍යාප්තියේ අවදානමට ලක් වී ඇති කලාප ලෙස හැඳින්වේ. වයිරසය ශරීරගත වීමෙන් මෙය ලියන මොහොත වන විට මියගිය රෝගීන්ගේ ගණන 56ක් ලෙස වාර්තා වෙයි. ලොව පුරා කොරෝනා රෝගීන් 1400ක් හඳුනාගෙන ඇති බවද ප්‍රකාශයට පත් වී ඇත. දකුණු ආසියාවේ ඉන්දියාව, නේපාලය හා පාකිස්තානය අවදානමකට ලක් වී තිබේ. මේ රටවල් තුනෙන් ම රෝගීන් හඳුනාගෙන තිබේ. ඉන්දියාව තුළ ද රෝග ව්‍යාප්තියක් දක්නට ලැබේ. මේ අනුව බලන විට ශ්‍රී ලංකාවට ද අනතුරුදායක තත්ත්වයක් තිබේ යැයි සිතිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ වයිරසය පැතිර යෑමේ අවස්ථා ගණනාවක් තිබේ. චීනය හා ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයන් වන අතර ආර්ථික හා සංස්කෘතික සබඳතා වැඩිය. මේ අනුව දෙරටේම සංචාරකයන් ශ්‍රී ලංකාවට බහුල ලෙසින් පැමිණෙන අතර ශ්‍රී ලාංකිකයන්ද එම රටවල බහුල ලෙසින් සංචාරය කරනු ලැබේ. චීන ජාතිකයෝ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවල යෙදී සිටිති. ඔවුන් වරින් වර චීනයේ සංචාරය කරමින් නැවත ශ්‍රී ලංකාවට පැමිණ රාජකාරිවල යෙදීම සිදුවේ. ශ්‍රී ලාංකිකයෝ සැලකිය යුතු පිරිසක් චීනයේ ව්‍යාපාර කටයුතුවල හා වෙනත් රැකියාවල ද යෙදී සිටිති. මේ හැරෙන්නට උසස් අධ්‍යාපනය සඳහා චීනයට ගිය පිරිසක්ද සිටිති. නිදසුනක් ගතහොත් වූහාන් නගරයේ සරසවිවල ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ තිස් දෙනෙක් ඉගෙනුම ලබති.

මෙරට සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ වයිරසය සංක්‍රමණය වීමට ඉඩ නොදී වළක්වා ගැනීමට ක්‍රමවේද යොදා ඇති බවය. ගුවන්තොටුපළවල ස්කෑන් පරීක්ෂාවන් දිගටම සිදුවේ. වයිරසය ශරීරගත වී ඇති රෝගීන් හඳුනාගත හැකි ප්‍රධාන සාධකය ලෙස සැලකෙන්නේ ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම ය. එබඳු ගුවන් මඟියකු හඳුනාගත හොත් අංගොඩ උණ රෝහලට රැගෙන යාම සඳහා කටයුතු සලසා තිබෙන බව ද වාර්තා වෙයි. පෙරේදා ගුවන් මගින් පැමිණි මෙබඳු රෝගීන් දෙදෙනකු හඳුනාගෙන ඇත. එක රෝගියකු චීන ජාතිකයකු වන අතර අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය චීනයේ සංචාරයක නිරතව සිට නැවත මවුරටට පැමිණ තිබේ. මේ දෙදෙනාගේ ම තත්ත්වය බරපතළ නොවන බව ද ප්‍රකාශ වී ඇත.

කොරෝනා යනු සතුන්ගෙන් මනුෂ්‍ය ප්‍රජාව වෙත බෝවන වයිරසයක් ලෙස හඳුනාගෙන තිබේ. වයිරසය උප ප්‍රභේද ගණනාවක් ඇත. නව වයිරසය හඳුන්වා ඇත්තේ 2019 එන්. කෝ.වී ලෙසය. වයිරසය ඇතිවීමට හා එය මනුෂ්‍ය ‍ ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය වීමට හේතු - සාධක තවම හඳුනාගෙන නැත. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මත කිහිපයක් පවතී. එක මතයකට අනුව මුහුදු ආහාර ඔස්සේ වයිරසය මනුෂ්‍ය ශරීරවලට ඇතුළුවන්නට පුළුවන. වූහාන් නගරයේ මුහුදු ආහාර බහුල බව කියති. තව මතයකට අනුව නාගයන්ගේ මාර්ගයෙන් වයිරසය මනුෂ්‍ය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය වීමට පුළුවන. නාගයන්ගෙන් නිපදවාගනු ලබන ජනප්‍රිය ආහාර වර්ගයක් චීනයේ තිබේ. එම ආහාර වර්ගය ද වූහාන් නගරය තුළ බහුල ලෙසින් භාවිත වන බව කියති. සියල්ල පවතින්නේ පර්යේෂණ මට්ටමේ ය. චිනය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ ගැන දැඩි අවධානය යොමු කර ඇත.

‍ 2002 හා 2003 වසරවල ‘සාර්ස්’ වයිරසය ආසියා‍වට තර්ජනයක් ලෙස පැවැතිණි. එය පැතිර ගියේ ද චීනයේ සිට ය. කැලෑ බළලුන්ගෙන් ‘සාර්ස්’ වයිරසය පැතිර ගොස් ඇති බව පසුව කරන ලද පර්යේෂණවලින් හෙළිදරව් විය. රෝගයෙන් අටසිය ගණනක් මරණයට පත්වුහ. ආරක්ෂිත ක්‍රමවේද ඉතා හොඳින් භාවිත කළ නිසා ‘සාර්ස්’ රෝගය ශ්‍රී ලංකාවට තර්ජනයක් වූයේ නැත. නැවත 2012 වසරේ දී මැද පෙරදිගින් මෙබඳු වයිරසයක් පැතිර ගියේ ය. එය හැඳින්වූයේ ‘මාර්ස්’ යනුවෙන් ය. අදාළ වයිරසය මනුෂ්‍ය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය වූයේ ඔටුවන් වෙතින් ය. ‘මාර්ස්’ වසංගත රෝගය ද ශ්‍රී ලංකාවට තර්ජනයක් වූයේ නැත. මෙවර හටගෙන ඇති 2019 එන්.කෝ.වී. වයිරසයෙන් ද ශ්‍රී ලංකාව ආරක්ෂිත විය යුතුය. ඒ සඳහා අපට හැකියාවක් ඇතැ’යි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළකර ඇත.

වයිරසය ශරීරගත වූ තැනැත්තකු වෙතින් රෝග ලක්ෂණ කිහිපයක් මතුවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. අසාමාන්‍ය ලෙස ශරීර උෂණත්වය ඉහළ යෑම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුව එම රෝග ලක්ෂණ ය. මේ හැරෙන්නට නිව්මෝනියාව හා වකුගඩු අක්‍රීය වීම වැනි තත්ත්වයක් ද මතුවිය හැකි බව වෛද්‍ය උපදේශනය වෙයි. මෙබඳු රෝග තත්ත්වයක් ඇති වුවහොත් එය නොසළකා හැරීම සුදුසු නැත. එලෙසම අත් බෙහෙත් කිරීම ද සුදුසු නැත. කළ යුත්තේ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම ය. රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැලැඳීම නිර්දේශ කර ඇත. බහුලව සෙනඟ ගැවසෙන ස්ථාන මගහැර යෑමත් නිතර දෑත් සෝදා ගැනීමත් වෛද්‍ය නිර්දේශ අතර පවතී. කළ යුත්තේ රෝගයට බියවීම නො ව; ඒ ගැන දැනුවත්ව වෛද්‍ය නිර්දේශ මත ක්‍රියා කිරීම ය.

කොරෝනා වයිරස අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙත පැවරෙන බලවත් වගකීමක් වන්නේ වූහාන් සරසවිවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම ය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත. ගුවන් යානයක් චීනයට යවා ශිෂ්‍ය ප්‍රජාව ආපසු ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ.

 

නව අදහස දක්වන්න