විපක්ෂයත් හොඳ කියයි! | දිනමිණ


 

විපක්ෂයත් හොඳ කියයි!

රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ද, ආර්ථිකය නැංවීම සඳහා ද ජනාධිපතිවරයා ගෙන යන විද්‍යාත්මක වැඩසටහන් ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත. විපක්ෂය පවා ඉහත වැඩසටහන් අගය කරන බවක් ද පෙනෙයි. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වේදිකාවකදී එක්තරා මන්ත්‍රීවරයෙක් කියා සිටියේ එ.ජා.ප. ආණ්ඩුවට බැරිවුණත් ගෝඨාභය මහතා එකවර ලක්ෂයකට රැකියා සපයන වැඩසටහනක් ආරම්භ කර ඇති බව ය. යහපාලන ආණ්ඩුව දසලක්ෂයකට රැකියා සපයන බව කීව ද එය වචනයට පමණක් සීමා විය. අවසන් ලෙස ස්වකීය වැඩසටහන් විවේචනය කරන තැනකට එක්සත් ජාතික පක්ෂය වැටී ඇත. නායකයන්ගේ ස්වාභාවය මෙයින් වටහා ගත හැකි ය.

ආසියාව ද, අප්‍රිකාව ද මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගය වන්නේ දිළිඳුකම තුරන් කිරීම ය. මේ කලාප දෙකෙහි ම ප්‍රමාණවත් භෞතික සම්පත් තිබේ. උතුරා යන ශ්‍රම හමුදාවක් ද සිටිති. එහෙත් ප්‍රායෝගික ආර්ථික වැඩසටහන් නැත. මානව සම්පත කළමනාකරණයට හසු කරන උපායමාර්ග නැත. ශ්‍රී ලංකාව ගතහොත් දිළිඳුකම පිටුදැකීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී ඇත. එහෙත් ඒවායෙහි ප්‍රතිඵලය ගැන සතුටු විය නොහැකි ය. නිදහසින් පසු වසර හැත්තෑ එකක් පුරාවටම සිදුවී ඇත්තේ දුප්පත්කම වර්ධනය වීම පමණි. ඉන් හැ‍ඟෙන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් අසාර්ථක ඒවා බව ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික දැක්ම ගොඩනැඟී ඇත්තේ මිනිසුන් වැදගත්ය යන තේමා පාඨය පදනම් කරගෙන ය. ශ්‍රී ලංකාව සතු මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය කරගතහොත්; ඉතා කෙටි කාලයක් තුළ රටේ නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි බව ජනාධිපතිවරයා විශ්වාස කරයි. මෙතෙක් ඉතිහාසය තුළ සිදුවී ඇත්තේ දිළිඳු ප්‍රජාව කොන් කිරීම මිස; ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම නොවේ. සමස්ත ජනතාවම නිෂ්පාදන ක්‍රියාවලියේ කොටස්කරුවන් විය යුතුය යන්න ආර්ථික විශේෂඥයන්ගේ මතය වෙයි. රටවල් දියුණු වන්නේ ඒ මාර්ගයෙන් පමණි. ආහාරය සඳහා මාළුවකු ඉල්ලා සිටින තැනැත්තාට බිලී පිත්තක් ලබාදීම හොඳම ක්‍රමය වෙයි.

දිළිඳු පවුල්වල තරුණ - තරුණියන් ලක්ෂයක් තෝරාගෙන ඔවුනට පුහුණුවක් ද ලබාදී ස්ථිර රැකියාවන් වෙත යොමු කිරීම දිළිඳුකම පිටුදැකීම සඳහා යොදන සාර්ථක ක්‍රියාවලියක් හැටියට හැඳින්විය හැකි ය. මාර්තු මාසයේ සිට පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට ද ලබන ඔක්තෝබරයේ රැකියා ලබා දීමට ද සැලැසුම් කර ඇත.

මෙහි අධීක්ෂණ කටයුතු කරගෙන යෑම සඳහා කාර්යසාධන බළකායක් ද පිහිටුවීමට යයි. එය ඉතා වැදගත් ය. රැකියා ලක්ෂයක් ලබාදෙමින් පවුල් ලක්ෂයක් දිළිඳුකමින් මුදාගැනීමේ වගකීම රාජ්‍ය ආයතන කිහිපයක් වෙත පැවරී ඇත. එහෙත් මේ ක්‍රියාවලිය අධීක්ෂණයට ද එහි වැඩ කිරීමේ හැකියාව වර්ධනය කිරීමට ද කාර්යසාධන බළකායකින් ලබාගත හැකි සහයෝගය අතිමහත් ය.

ලෝකය තුළ උත්පත්තිය ලබන ඕනෑම මිනිසකුට ස්වකීය දෑතින් හෝ ස්වකීය මොළයෙන් හෝ නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ බද්ධ විය හැකි යැයි මතයක් පවතී. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල වැඩ නොකරන පිරිස වැඩි වෙති. එහි අදහස වන්නේ යැපෙන්නන්ගේ ප්‍රමාණය වැඩි බව ය. යැපෙන්නන්ගේ ප්‍රමාණය වැඩි රටවල් වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගෙන නැත. චීනයේ පාසල් දරුවෝ ද විවිධාකාරයෙන් ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට හවුල් වෙති. ජපානයේ තත්ත්වය ද ඊට වෙනස් නැත. මින් අදහස් කරන්නේ දරුවන් ලවා වැඩ කරගත යුතු බව නොවේ. දරුවන්ට ද පෙරහුරුවක් තිබීම වැදගත් බව එහි සැබෑ අදහස ය. එය අධ්‍යාපනයේ කොටසක් බවට පත්වීම ඉතා වැදගත් ය. රටට අවශ්‍ය අධ්‍යාපනය හා නූතන තාක්ෂණය ඉහත කී වැඩසටහන් ඔස්සේ ලබාගත යුතුව තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට රට ගොඩනැංවීම සඳහා ආර්ථික පුනරුදයක් ඇති කළ යුතු ය. එවැන්නක් ඇති කළ හැක්කේ සමස්තයක් ලෙස මුළු මහත් ජාතියේම දායකත්වය ලබා ගනිමින් ය. දිළිඳුකම පිටුදැකීමේ බරසාර වැඩසටහන් ඉහළ මට්ටමින් සංවාදයට ලක්වීම පමණක් ප්‍රමාණවත් නැත. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් දිළිඳු ප්‍රජාවගේ ආත්මය බවට පත්විය යුතුය. ඊට හොඳ පසුබිමක් රැකියා ලක්ෂයේ වැඩසටහන ලබාදෙයි. වැඩසටහනට අනුව පුහුණු කාලය තුළ ද රැකියා අපේක්ෂිතයාට දීමනාවක් ලැබේ. එය පවුලේ ආදායම වැඩිවීමට ද තරුණයන්ගේ ජීවිතවලට අර්ථයක් සැපයීමට ද සමත් වනු ඇත. තරුණ පරම්පරාව නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ බද්ධ කළ යුත්තේ ප්‍රබෝධවත් හැඟීමක් සහිතවය. එය වටහා ගැනීම ඉතා වැදගත් ය.

සෑම ජීවිතයකටම බලාපොරොත්තු, ඉලක්ක හා සැලැසුම් තිබිය යුතුය. එසේ නොවන ජීවිත අයාලේ යනු ඇත. රටක තරුණ පරපුර අයාලේ යන්නේ නම්; ඊට වගකිවයුත්තෝ එරට පාලකයෝ ය. අප්‍රිකාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ වරක් කියා ඇත්තේ නයිජීරියාවට සම්පත් අතින් කිසි අඩුවක් නැති බව හා එරට නායකයන්ට එකී සම්පත් කළමනාකරණයට කිසි හැඟීමක් නැති බව ය. අචෙබේගේ මව්බිම නයිජීරියාව ය. එහෙත් ඔහු තම මව්බිමේ නායකයන් ගැන දැඩි කලකිරීමකින් පසුවිය. නායකයකු සැබෑ නම්; ඔහු රට ගැනත්; රටේ ජනතාව ගැනත් ගෞරවයකින් යුතුව අර්ථවත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නංවා ඇති සෑම වැඩසටහනක්ම පාහේ එබඳු අර්ථවත් සංවර්ධන ක්‍රියාදාම බව කිව හැකි ය.

 

නව අදහස දක්වන්න