ශ්‍රී ලංකා-සිම්බාබ්වේ දෙවැනි ටෙස්ට් තරගය | දිනමිණ


 

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ දෙවැනි ටෙස්ට් තරගය

සිම්බාබ්වේ පිතිකරුවන්ට ලක්මාල්ගෙන් අභියෝගයක්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර ඊයේ හරාරේ නුවරදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින සිම්බාබ්වේ පිල පස්වරු තේ පානයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 214ක් ලබා සිටියේය.

ඊයේ දිවා ආහාරය වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටි සිම්බාබ්වේ පිල ඉහළට ඔසවා තබමින් තුන්වැනි කඩුල්ලට ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ආරම්භක පිතිකරු කෙවින් කසූසා සහ බ්‍රෙන්ඩන් ටේලර් සමත්වූහ. දිවා ආහාරයෙන් පසුව මේ සම්බන්ධතාව බිඳ දැමීමට සමත්වූයේ දෙවැනි වරට පන්දු යැවීමට කැඳවූ සුරංග ලක්මාල්ය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 114දි කසූසාගේ කඩුල්ල බිඳ දැමූ අතර ලකුණු සංඛ්‍යාව 133ක් වනවිට ටේලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේය. තරමක් වේගයෙන් පන්දුවට පහරදුන් ටේලර් ලකුණු 62ක් රැස් කළේ පන්දු 62කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

එහෙත් ඉන් පසුව නායක ෂෝන් විලියම්ස් සහ සිකන්දර් රාසා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 81ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තේ පානය දක්වා සිම්බාබ්වේ ඉනිම ඇදගෙන යාමට සමත්වූහ. තේ පානයට තරගය නතර කරනවිට විලියම්ස් ලකුණු 57ක් ද, රාසා ලකුණු 30ක් ද රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

මේ තරගයේ දී ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් සිදු කරමින් කසුන් රාජිත වෙනුවට විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබූ අතර සිම්බාබ්වේ පිලට කාල් මුම්බා සහ ටිනෝටොන්ඩා මුටොම්බොඩ්සි එක්වූයේ අයින්ස්ලි එන්ඩ්ලෝ සහ කයිල් ජාවිස් වෙනුවටය. ජාවිස් මේ තරගයෙන් ඉවත්වූයේ ආබාධයකට ලක්වීමෙනි.

ඊයේ උදැසන සිම්බාබ්වේ ඉනිම ආරම්භයේදී දැඩි පීඩනයක් එල්ල කිරිමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත්වූහ. සිම්බාබ්වේ ඉනිමේ පළමු ඕවර 10 නිමාවනවිට ලබා සිටියේ ලකුණු 10ක් පමණි.

 

නව අදහස දක්වන්න